- ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
ඔබට පසුගියදා රුහුණු විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලැබුණනේ. ඒක ගැන සතුටුද?
ඇත්තටම ඔය ප්‍රශ්නය නම් ඇහුවෙ නැතත් කමක් නෑ. (සිනහවෙමින්)
එය ඉතින් ඔබේ සාහිත්‍ය කලා ජීවිතයට ලැබුණු ඇගැයීමක්නේ?
ඇත්තටම මම ඒ ගැන සතුටුවෙනවා. මම අවුරුදු පනහකට ආසන්න කාලයක් සාහිත්‍ය සමඟ බැඳීසිට තිබෙනවා. නොයෙක් ශාස්ත්‍රීය කටයුතුත් කර තිබෙනවා. දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු, රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍යවලට සම්පත් දායකත්වයෙන්, පුවත්පත්වල කවිපිටු සංස්කරණය වගේ අංශ කීපයකින්ම දායකත්වය දක්වා තිබෙනවා. ඒ සියල්ලටම ලැබුණු ඇගැයීමක් ලෙස මෙය සලකන්න පුළුවන්. මේක මගේ ඉදිරි වැඩකටයුතුවලට ලැබුණු උත්තේජනයක් විදිහට සලකනවා.
ඔබේ නිර්මාණ ජීවිතය දෙස ආපසු හැරී බැලුවොත් තෘප්තිමත්ද?
තෘප්තිමත් කියන්න අමාරුයි. අතෘප්තිය තමයි අපි ඉදිරියට ගෙනියන්නේ. මේ වනවිට මම කවිපොත් 9ක් සහ ගීතපොත් 8ක් පළකර තිබෙනවා. තවත් විවිධ කෘති 8ක් පමණ පළවී තිබෙනවා. ළමා සාහිත්‍ය කෘති 14ක් ලියා තිබෙනවා.
මේ අතරින් පොත් රැසකට රාජ්‍ය සාහිත්‍ය ඇතුළු සම්මාන ලැබුණා නේද?
ඔව්. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබී තිබෙනවා. ඒ අතරින් ගීතපොත් 5කට සහ කවිපොත් 2කටත් ළමා සාහිත්‍ය පොත් 2කටත් සම්මාන ලැබී තිබෙනවා. ඒ හැරුණුවිට විද්‍යෝදය සම්මාන 2 වරක් සහ ගොඩගේ සම්මාන 2 වරක් ලැබී තිබෙනවා. ගීත රචනයට සරසවි සම්මානය සහ සුමති සම්මානයත් ලැබී තිබෙනවා. රාජ්‍ය ටෙලි සම්මාන 2 වරක් සහ බුන්කා සම්මානයත් හිමිවී තිබෙනවා.
ඔබ තරුණ අවදියේදී යෞවන සම්මාන රාශියක් හිමිකරගත්තා නේද?
ඔව්. යෞවන සම්මාන පටන්ගත්තේ 1976 දී. ආරම්භයේ ඉඳන් අවුරුදු 29 පිරෙන 1983 දක්වා යෞවන සම්මාන 34ක් හිමිවුණා, කවි, ගීත සහ කෙටිකතාවලට.
ප්‍රවීණ කවියෙක් ලෙස අද බහුලව පළවෙන කවිපොත් ගැන ඔබේ අදහස කුමක්ද?
කවිපොත් වැඩිපුර පළවෙනවා කියන්නේ සාධනීය කාරණයක්. කවිය තමයි, මාකට් කරන්න බැරිම කලාව විදිහට සලකන්නේ. කව්සිළුමිණි කවියන් කිව්වෙ පෙදෙහි රසනව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ කියලනේ. මගේ මුල්ම කවිපොත ‘බියනොවන් අයියණ්ඩි’ 1979දී මුද්‍රණය කළේ මිතුරෙක්ගේ උදව්වෙන්. පොතක් රු.6.50යි. පොත් සාප්පුවලින් පසුව මුදල් ලබාගැනීමට හෝ පොත ගත්තේ නැහැ. නමුත් පසුව පොත කතාබහට ලක්වුණා. අලෙවි වුණා. අද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කවිපොත් සල්පිල ඉතා ජනප්‍රිය ස්ථානයක් වෙලා. ආධුනික කවියකුගේ මුල්ම පොත පවා එහි හොඳට අලෙවි වෙනවා. ඒක ඉතා හොඳ ලක්ෂණයක්.
බොහෝ තරුණ කවීන් බහුලව පොත් පළකළාට ඔවුන් සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු කරමින් ඔපමට්ටම් කරගත් කවි ආරක් සොයායන බව පේන්නෙ නෑ නේද?
ඒක නම් හොඳ කාරණයක් නොවේ. සිසෙරෝ කියන ක්‍රි.පූ. 1 සියවසේ හිටපු දාර්ශනිකයා කියනවා තමාට කලින් ඉතිහාසයේ සිදුවූ දේ නොදැනීම හැමදාම ළමාවියක ඉඳීමක් වගේ කියලා. මේ නිසා අපි කලින් තිබුණු සාහිත්‍යය, මූලධර්ම හදාරන්නෙ නැති කෙනෙකුටත් අපට කියන්න වෙන්නෙ හැමදාම ළමා සාහිත්‍යයේම ඉන්න වන බවයි. සම්ප්‍රදාය හදාරන්නේ එය රකින්නම නොවේ. අවශ්‍ය විට සම්ප්‍රදාය අත්හරින්නත් එය දැනසිටීම අවශ්‍යයි. සමහර විචාරක ගුරුකුල කණ්ඩායම් කියනවා පැරණි දේවල් අත්හැර අලුත් තරුණයන් ඉදිරියට ගතයුතු බව. අලුත් වුණු පමණින් හොඳ වන්නේ නැහැනේ. අප එය අවබෝධ කරගත යුතුයි.
තරුණ කවීන්ට කවිපොතක් පළකර ගැනීමේ හදිසියක් තිබෙනවා. ප්‍රවීණයෙක් ලෙස ඔබ එය දකින්නේ කෙසේද?
ඉස්සර ඉඳන් කවි ලියන අය අත්පිටපත් හදාගෙන මම හමුවන්න එනවා. මම ඔවුන්ට කියන දෙයක් තමයි මේ පොත පළවූ පසුව කවුරුවත් ගණන් ගත්තේ නැතිවුණොත් ඔබ ජීවිත කාලයටම කවි නොලියාවි. ඒ නිසා ඉවසන්න කියලා. මගේ ඒ අවවාදය පිළිගත් අය ඉන්නවා. ඇහුම්කන් නොදුන් අයත් ඉන්නවා. ඒ අවවාදය පිළිගෙන පසුව හොඳ නිර්මාණ බිහිකළ අයත් ඉන්නවා. සාහිත්‍යයේදී ඉවසීම හරි වැදගත්.
අද ෆේස්බුක් එක කවිවලින් පිරිලා.මේක කවියේ වර්ධනයට ඉවහල් වෙන දෙයක්ද?
මමත් අවස්ථාව ලැබෙන විදිහට ඒ කවි කියවනවා. ඉස්සර කැටපත් පවුරේ කවි ලිව්වා වගේ අද නිදහස් මාධ්‍ය ලෙස තිබෙන්නේ මුහුණුපොත. එහි වැඩිදෙනා අදහස් පළකිරීමට යොදාගෙන ඇත්තේ කවියයි. හැබැයි එහිදී ලැබෙන ප්‍රතිචාර ගැන සැලකිලිමත් විය යුතුයි. තමන්ගේ නිර්මාණය ගැන, එහි තත්ත්වය ගැන තමන් තේරුම්ගෙන සිටිය යුතුයි. ඇත්තටම ෆේස්බුක් කියන්නේ හොඳ වැඩබිමක්.
අපේ කවි ජාත්‍යන්තරය හා සැසඳුවොත්?
සිංහල භාෂාව කතා කරන්නේ රටේ ජනගහණයෙන් 70%ක් වගේ පිරිසක්. ඒක ලෝක ජනගහණය එක්ක සැසඳුවාම ඉතා සුළුයි. ඉස්සර ඉන්දියාවේ මහා කවීන් සමඟ එකට තැබිය හැකි මහා කවියෙක් හිටියා. ජානකීහරණය සංස්කෘතයෙන් ලියූ කුමාරදාස. ඒක අපට ලැබුණේ සංස්කෘත භාෂාව හරහා. ඉංග්‍රීසියෙන් ලියන කවීන් ටිකදෙනයි අපට ඉන්නේ. සිංහල කවි විධිමත් විදිහට පරිවර්තනය කර ලෝක මට්ටමට ගෙන යා හැකි නම් ඒක ඉතා හොඳ වැඩක්. එහෙම ලෝක මට්ටමට ගෙන යා හැකි කවි අපට තිබෙන බවට මගේ ලොකු විශ්වාසයක් තිබෙනවා. ආසියා කලාපයේ අපේ කවිය හොඳ මට්ටමක තිබෙනවා. නමුත් සිංහල භාවිත කරන එකම රට ලංකාව නිසා ලෝක සාහිත්‍යයට යන්නෙ නැති එකයි ප්‍රශ්නේ. නවකතා සහ කෙටිකතාවලට වඩා ඉහළින්ම තිබෙන්නේ කවි බවයි මගේ විශ්වාසය.
70 – 80 දශක හා සසඳනවිට අද කවිය ඔබ දකින්නේ කෙසේද?
එහෙම සංසන්දනය කිරීම වැරදියි. අද බහුලව කවි ලියන්නේ 1977ට පසු ඉපදුණු අය. ඔවුන්ට ඊට පෙර තිබුණු ආර්ථික ක්‍රමය ගැන, අපි දුටු ගම ගැන අත්දැකීම් නැහැ. 70 දශකයේ අපේ නිර්මාණ ලොකු පිම්මකින් ඉදිරියට ආවා. පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ වගේ අය කවියත් සමඟත් ධර්මසේන පතිරාජ සිනමාවේත්, සුනිල් ආරියරත්න ගීත ක්ෂේත්‍රයේ කළ දේවල්, සුගතපාල ද සිල්වා නාට්‍ය ක්ෂේත්‍රයේ කළ දේවල් එකිනෙකට සම්බන්ධයි. 80 දශකය වනවිට හා 90 දශකය වනවිට අනෙක් නිර්මාණ මෙන්ම කවිය ද වෙනස් වෙනවා ලිබරල් ආර්ථිකයට අනුව. නමුත් එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒ ඒ යුගවලට සාපේක්ෂවයි කවිය ඇගැයීම් කළ හැක්කේ. ඒ ඒ යුගවල හොඳ වගේම නරකත් තිබෙනවා.
►කුසුම්සිරි