මෙම කෙටි සටහන පෙළගස්වන්නට පෙර, සුප්‍රකට කෙන්යානු කවියකු වූ ජාරෙඩ් ඇන්ගිරා කවිය පිළිබඳ පළකළ අදහසක් මෙසේ දක්වමි.
“කවිය යනු හුදෙක් කඩදාසි මත අපූර්ව ආකාරයට වදන් පෙළගැස්වීම නොවේ... අන්තර්ගතයට ද අවධානය යොමුකළ යුතුය. කවිය යනු සදහටම සමාජය වෙනස් කිරීමේ මෙහෙවරකි. සමාජයේ ආත්මය පිළිබිඹු කිරීමට හේතුව වන්නේ ශල්‍ය වෛද්‍යවරයාගේ සැත්කම් පිහිය යොමුවිය යුතු දිශාව පිළිබඳ මූලයන් හඳුනාගැනීමය.”
කොත්මලේ සිරිසේන කවියාගේ “මඟහැරැණු රාත්‍රිය” කියවූ විට එම පොත තුළින් ඔහු ශල්‍ය වෛද්‍යවරයාගේ කාර්යයට යම් පමණකට සමාන යමක් කරන්නට උත්සාහ ගෙන තිබේදැයි මා තවදුරටත් සිතන්නට පෙළඹවිය. සියල්ලෙන්ම නොවුවද මෙහි ඇති නිර්මාණ අසූඅටෙන් වැඩි කොටසකින් ඔහු යම් ශල්‍යකර්මයකට යොමුව ඇතිබව කිවයුතුය. රෝගියා ජීවත් වන සමාජයේ අඩුලුහුඩුකම් මඳකින් හෝ පෙන්වීමට ඔහු උත්සාහ දරා ඇතිබව පෙනේ.
මේ කවි ඉතාම සංක්ෂිප්තය. ළඟක සිට කෙටි කවි නිර්මාණය කරන්නට උත්සාහ දරන ඔහු එයට හේතුව මෙසේ පිඩුකොට දක්වා ඇත.
“අද ඇත්තේ වේගවත්ව දිවයන සමාජයකි. ඔවුන්ට දිගු නිර්මාණ කියවීමට කාලවේලාව හිඟය. ඒ නිසා අදට උචිත වන්නේ කෙටි නිර්මාණයන්ය.” කෙටියෙන් යමක් විඳීමට අවකාශ සලසා දීමක් වශයෙන් ඔහු පවසා ඇත්තේ කාර්යබහුල පාඨක සමාජයට කියවීම සඳහා දීර්ඝ කාලයක් මිඩංගු කිරීමට නුපුළුවන් බවය. ඒ නිසා අදට උචිත වන්නේ කෙටි නිර්මාණ බව ඔහු කියයි. එය එක් අතකට සත්‍යයක් විය හැකිය. එහෙත් වචන සමූහයකින් ධ්වනිත අදහස අක්ෂර කිහිපයකින් සකල සම්පූර්ණව ඉදිරිපත් කළ හැකිනම් ලේඛකයා මෙන්ම පාඨකයාද සුවිශේෂ පුද්ගලයන් විය යුතුයැයි මම අදහස් කරමි. එහි ධනාත්මක හා ඍණාත්මක ප්‍රතිඵල තිබිය හැකිය. එහෙත් කවියක් කෙටියැයි කියා හෝ දිගුයැයි කියා හෝ වර්ග කළ යුතු නොවේ. ඇතැම්විට කවි පන්ති සමූහයකින් දෙන අර්ථය පේළි දෙක තුනක කෙටි කවියකින් ඉදිරිපත් කළ හැකිය. එසේම කවිපද කිහිපයකින් ධ්වනිත වන අර්ථයට වඩා ගැඹුරු පණිවුඩයක් කවි පන්තියකින් දෙන අවස්ථාද තිබෙන බව අමතක කළ නොහැකිය.
මේ ඔහුගේ කවි කිහිපයකි.
‘අබලන් වනතුරුම
කුණුම අදී
කුණු ලොරි’
‘වියපත් වූ ගස්ද
මඟ බලාසිටී
එනතුරු වසන්තය’
‘ආදරය මුදුනටම
ඔසවා තබා
ජය පැන් බීවේය
රාගය’
‘රෝහලක එක් කොණක සමුගැන්මකි
අනෙක් කොණේ පිළිගැනුමකි’
‘බණපොත නිදිකිරයි රාක්කයේ
චෙක්පොත
අවදියෙන්
සේප්පුවේ’
‘දුක ලජ්ජාව එකට කැලතී
ගුවනින් වැස්සෙන උණු උණු කොත්තු’
මෙම කෙටි කවිවලින් මහා ලොකු කවිපොතකින් කළ නොහැකි හපන්කමක් කර ඇතිබවක් පෙනෙන්නට තිබේ. සමාජයේ ඉස්මතු කළ යුතු අඩුපාඩුකම් පිළිබඳ යම් පමණකට හෝ ගවේෂණයක යෙදෙන්නට ඔහු ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීයයි. සමාජය නැමැති කසළගොඩ අවුස්සන කපුටන් ජරාව බුදින්නේ තමන්ට නොසරිලන දේ ඉවත දමමිනි. එහෙත් ඒ අතර තවකෙකුට කොතරම් වැදගත් දේ තිබිය හැකිද? කොත්මලේ කවියා උත්සාහ කරනුයේ වැඩිදෙනාට නොපෙනෙන එවැනි අපද්‍රව්‍ය උපයෝගී කරගෙන සමාජය දැනුවත් කිරීමටය.
මෙම නිර්මාණ කියවා අවසන් කළ විට මට සිතුණේ ඔහුට කවි ලියන්නට තරමක හදිසියක් තිබී ඇති බවය. ඒ ඇතැම්විට අදහස් වේගයෙන් ගලායාම නිසා විය හැකිය. එසේ වුවද මෙයට වඩා සංයමයක් ඇතිකරගත්තා නම් වඩාත් සාර්ථක නිර්මාණ ඔහුගෙන් බිහිවන්නට ඉඩ තිබුණැයි මට සිතේ.
►යසවර්ධන රුද්රිගු