2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

ඇඟට යකඩ දෙන කොත්තමල්ලි කොළ

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 1141

කොරියන්ඩ්‍රම් සැටිවුම් (Coriandrum Sativum) නම් උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කොත්තමල්ලි ඉතා ගුණවත් පැලෑටියක් මෙන්ම ඖෂධයක් ලෙසින් ද හැඳින්විය හැක. විශේෂයෙන් කොත්තමල්ලි බීජය ඉතා ගුණවත් ඖෂධයකි.

කොත්තමල්ලි බීජය මෙන්ම කොත්තමල්ලි කොළය ද ඉතා ගුණදායක වුවත් මෙය බොහෝ දෙනකු නොදන්න කරුණකි. බොහෝ රෝග සුවපත් කරගැනීමට කොත්තමල්ලි කොළවලින් ප්‍රබල ශක්තියක් ලැබෙන අතර යකඩ වැඩි ප්‍රමාණයක් බහුල පළා වර්ගයකි. අත්‍යවශ්‍ය මේද අම්ල, ඔලෙයින්, ෆාම්ටික් වැනි මේද අම්ලවලින් බහුල කොත්තමල්ලි කොළවල මැග්නීසියම්, පොස්පරස් අන්තර්ගත වේ. එමෙන්ම තන්තු බහුල පළා වර්ගයක් වන මෙය කැල්සියම් බහුලව පවතී. එය ඔස්ටියෝ පොරෝසිස් රෝගයට ඉතා ගුණදායක වේ.

ආතරයිටීස් සහ වෙනස් සන්ධි රෝග සඳහාත් රක්තහීනතාවය වළක්වා ගැනීම සඳහාත් උපකාරී වේ. කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසුව ඇතිවන සන්ධි රෝගවලදී කොත්තමල්ලි ඉතා ගුණදායක පළා වර්ගයකි. එමෙන්ම කාන්තාවන්ගේ ආර්තවහරණයේදී රුධිරය අඩුවෙන් පිටවීමටත්, එම රුධිරය පිටවීමේදී ඇතිවන වේදනාව නැතිකර ගැනීමටත් කොත්තමල්ලිවල ප්‍රබල හැකියාවක් පවතී.

කොත්තමල්ලි කොළවල විටමින් සී සුලබව පවතින නිසා කොලොස්ටරෝල් පාලනයට ඉතා වැදගත් වන HDL කොලොස්ටරෝල් සංයුතිය වැඩි කරයි. රුධිර නාළ තුළ කොලොස්ටරෝල් තැම්පත් වීම අඩුකර හෘදයාබාධ අඩු කරයි.

අධික රුධිර පීඩනය පාලනයට උදවු වේ. එමෙන්ම කොත්තමල්ලි කොළ දියවැඩියාවට ඉතා ගුණදායක වේ. අගන්‍යාසයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගනිමින් ඉන්සියුලින් නිපදවීම ක්‍රමවත් කරයි. ඒ නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කරයි. මෙය දියවැඩියාවට ගුණදායක වේ.

ස්නායු පද්ධතිය ආශ්‍රිත බොහෝ රෝගවලට කොත්තමල්ලි ගුණදායක වේ. මොළය ආශ්‍රිතව ඇති රසායනික ද්‍රව්‍යවල සමතුලිත බව පවත්වා ගැනීමට කොත්තමල්ලි කොළ ඉතා ගුණදායක වේ. මොළයේ රසායනික ද්‍රව්‍ය වෙනස් වීම නිසා මොළයට ඇතිවිය හැකි ආබාධ වළකාලයි. නොසන්සුන් බව දුරලයි.

ආහාර දිරවීම සඳහා කොත්තමල්ලි කොළ උපකාරී වේ. මෙය ඉතා හොඳ ප්‍රතිශක්තිකාරකයකි. අක්මාවේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීම ද හොඳින් පිත නිපදවීම ද සිදු කරයි. මෙමඟින් ආහාර හොඳින් දිරවීම සිදුවේ.

වමනය, බඩ පුරවා දැමීම, දියර සහිත මළ වැඩි වාර ගණනාවක් පිටවීම වැනි අවස්ථාවලදී කොත්තමල්ලි කොළ ඉතා ගුණදායක වේ. තුවාල ඉතා ඉක්මනින් සුව කරගැනීමේ හැකියාවක් පවතී. විශේෂයෙන් මහා අන්ත්‍රයේ තුවාල සුව කිරීම සඳහා කොත්තමල්ලි කොළ යොදා ගනී. සමේ ඇතිවන රෝග බොහෝමයක් සුව කර ගැනීමට උපකාරී වේ. මුත්‍රා මාර්ගයේ අසාදනය සමනය කර හොඳින් මුත්‍රා පිටකිරීමට උදවු වේ.

මුඛයේ ඇතිවන තුවාල සඳහා කොත්තමල්ලි ඉතා ගුණදායක වේ. මුඛයේ තුවාල සාදන බැක්ටීරියා විනාශ කිරීමේ ප්‍රබල හැකියාවක් කොත්තමල්ලි සතුව පවතී. පීනසවලට මෙන්ම සෙම ගතිය ඇති අයට සෙම පිටකිරීමට ද කොත්තමල්ලි කොළ උපකාරී වේ.

කොත්තමල්ලි කොළ ගැබිණි මව්වරැන් මුල් මාස තුනේදී ආහාරයට එක්කර ගන්න එපා. ඒ හැර කොත්තමල්ලි කොළ සලාද, සුප් එකක් සාදද්දී එක්කර ගැනීම, කොළ කැඳ සාදනවිට එක්කකර ගැනීම වැනි විවිධ ක්‍රම මඟින් ආහාරයට ගතහැකි ඉතා ගුණදායක ඖෂධයක් වේ.