ආකාර්මීකරණය හා නාගරීකරණය නිසා අද දවසේ මිනිස් ජීවන රටාව අතිශයින්ම සංකීර්ණ වී ඇත. ආහාර රටාව මෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් කෙරෙහිද එහි බලපෑම් ඇතිවී තිබේ. මේ නිසා දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, පිළිකා ආදී බෝනොවන රෝග සුලභ වී පවතී.
අද මුළු මහත් සමාජයේම පිළිලයක් සේ පැතිරයන ප්‍රමේහ රෝග පිළිබඳව ඉතා පැහැදිලි විවරණයක් මීට අවුරුදු දහස් ගණනකට පෙර පුරාණ පොත්පත්වල සඳහන් වේ.
බෝනොවන රෝග වැළඳුණු පසු සුවකිරීම එතරම් ලේසි පහසු නොවේ. මේ නිසා අප විසින් කළ යුත්තේ රෝගය ඇතිවීමෙන් වැළකීමත්, රෝගය වැළඳී ඇති අයෙක් නම් සංකූලතා ඇතිවිය හැකි උපද්‍රව හැකිතාක් අවම කරගැනීමත්ය.
දියවැඩියා රෝග තත්ත්වයේදී රෝගියාගේ රුධිරගත සීනි මට්ටම සාමාන්‍ය පැවතිය යුතු අගයට වඩා ඉහළ අගයක් ගනී. මෙය දීර්ඝකාලීනව පාලනය නොකළහොත් විවිධ සංකූලතා හටගනී. මෙය ඉතාමත් බරපතළ ලෙස බලපෑම් ඇතිකරයි.
සිරුරේ සෛලවලට ඇතුළු නොවී රුධිරගතව ග්ලූකෝස් පැවතීම නිසා කෙතරම් ආහාර ලබාගත්තද, සෛලවලට අවශ්‍ය තරම් ශක්තිය නිපදවීම සිදුනොවීම මත සිරුරේ බර අඩුවේ. ඉක්මනින් වෙහෙසට පත්වේ. පසුකාලීනව ඇස්, වකුගඩු, හෘදය, ස්නායු ආදී ඉන්ද්‍රියන්ට හානි සිදුවිය හැක.
දියවැඩියාව නිසා ඇතිවන අක්ෂි ආබාධ පිළිබඳව අවධානය යොමුකළහොත් වර්තමානයේ එය diabetic retinopathy ලෙස දක්වයි. දියවැඩියාව වැළඳීමෙන් ශරීරය පුරාම රුධිරයේ යම් යම් බලපෑම් ඇතිවිය හැක. ඇස සම්බන්ධයෙන්ද එසේය. ඇසට රුධිරය ගෙන යන්නේ එක් රුධිරවාහිනියකිනි. එය කේශනාළිකා ලෙස ඇස තුළදී බෙදීයයි. ඇසෙහි රුධිර කේශනාළිකා අවහිර වීමක් සිදුවුවහොත් එය භයානක ඵලවිපාක ඇතිකරවන්නකි.
මෙහිදී සිදුවන්නේ ඇසෙහි සියුම් රුධිර නාළ අවහිරවීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇසට ගලන ලේ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩුවේ. එහිදී ශරීරය යම්කිසි හැඩගැසීමකට ලක්වේ. මෙහිදී සිදුවන්නේ සියුම් විකල්ප රුධිර නාළ අලුතින් නිර්මාණය වීමයි. ඒ හැරුණුවිට ඇසට හානිකර වන්නාවූ රසායනයක් උත්පාදනය වීමද සිදුවේ.
ඇසේ මේ ආකාරයෙන් අලුතින් හටගන්නා රුධිර නාළ ඇසේ පෙනීම වැඩිකිරීමට උදව් වන්නේ නැත. සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වන ආකාරයෙන් ‘ඇසේ සිවිය’ හැකිලීමටද ලක්වේ. මෙහිදී ඇසේ සිවියට ලේ ගැලීමක් ඇතිවිය හැකි අතර ඒ ආකාරයට ඇස අභ්‍යන්තරයේ ලේ ගැලීමක් සිදුවුවහොත් එය ඉතා භයානකය. අන්ධභාවයෙන් කෙළවර වීමට ද පුළුවන.
මේ තත්ත්වය ඇතිවීමේ අභියෝගය හමුවේ වැදගත්ම උපදේශය වන්නේ තමන්ගේ දියවැඩියා තත්ත්වය පාලනය කරගැනීමයි. දියවැඩියා රෝගීන් සෑම වසරකටම අවම වශයෙන් එක් වතාවක් හෝ ඇස් පරීක්ෂා කිරීම සිදුකළ යුතුය. එමගින් මෙවැනි බරපතළ සංකූලතා ඇතිවීම වළක්වාගත හැක.
දියවැඩියා රෝගය නිසි ආකාරයෙන් පාලනය කිරීම සිදුනොකළහොත් රෝගියා බරපතළ උපද්‍රවයන්ට ලක්විය හැක. ඇතැමෙක් මේ රෝගය තිබෙන බවට දැනගන්නේ එවන් සංකූලතාවයක් ඇතිවූ විටය.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන අරමුණු දෙකකි. එනම් නිරෝගී පුද්ගලයකුගේ නිරෝගී බව ආරක්ෂා කිරීම මෙන්ම රෝගියාගේ රෝගී බව දුරුකිරීමයි. රෝගයක් ඇතිවීමට පෙර ඉන් ආරක්ෂා වීමට පියවර ගැනීම සම්බන්ධ සංකල්පය (prerenition) දැන් වසර ගණනාවකටත් වඩා පැරැණිය.
රෝගයක් ඇතිවීමට පෙර එය පාලනය කිරීමට පියවර ගැනීමට වඩා අප වැඩි අවධානයක් යොමුකළ යුත්තේ රෝගයෙන් වැළකීමටය. සරල ජීවන රටාවක් තුළින් යහපත් පෝෂණ සිරිත් ඇතිකරගැනීම, ව්‍යායාමය හා විවේකය ආදී කරුණු දියවැඩියාව මර්දනයට අතිශයින්ම ඉවහල් වේ. ළමා කාලයේදී ගන්නා වැරදි ආහාර, වැරදි විහරණ නිසා ඇතැමෙක් ළමා කාලයේදී ද, තවත් අය තරැණ හා වැඩිහිටි අවදියේදී ද දියවැඩියාවට ගොදුරුවෙති. එබැවින් කුඩා කාලයේ සිටම නිවැරදි ආහාර ගැනීමටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අනුගත වීමටත් සිතාගත යුතුය.
►කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල