2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

අතීතය නූතනය යාකළ මලබාර් නෑයෝ

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 340

ප්‍රේමකීර්ති රණතුංගගේ අලුත්ම නවකතාව මලබාර් නෑයෝ දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක් ලෙස නිකුත් වී තිබේ. එය ඔහුගේ 12 වැනි නවකතාවයි. තම ලේඛන දිවියේ මුල් කාලයේ බටිති ගීතය, නිපොන්මාරැ, සකුරා වැනි ප්‍රේම කතාවලට ඇල්මක් දැක්වූ ප්‍රේමකීර්ති මෑතක සිට සාහිත්‍යමය නැඹුරුවකින් යුත් නවකතා රචනයට එළැඹීම සතුටට කරුණකි. දෝලි සහ අවසන් නින්දගම ඔහුගේ පසුගිය නවකතා අතර කැපී පෙනේ. එම නවකතා දෙකම උඩරට රාජධානියේ සහ ඒ ආශ්‍රිත සිදුවීම් ඇසුරෙන් ලියැවුණු කෘති වේ.

මලබාර් නෑයෝ පොතෙන් ද ඔහු උත්සාහ කරන්නේ 1815දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන් අතට පත්වූ පසු අවසන් සිංහල රජුගේ මලබාර් නෑ පරපුරට අත්වන ඉරණම පිළිබඳ කතා පුවතකි. ප්‍රේමකීර්ති මෙම නවකතාව සඳහා ඓතිහාසික තොරතුරු සහ ජනප්‍රවාද ඔස්සේ පන්නාගොස් කතාව ගොඩනගා තිබේ. ඔහුට නවකතාව සඳහා තේමාව ලැබී තිබෙන්නේ මහනුවර ටැංකිවත්ත ප්‍රදේශයේ ඇළ අසල ජීවත් වන රෙදි ඇපිල්ලීම ජීවිකා වෘත්තිය කරගත් තෙලිඟු ජන පිරිසගෙන් අසන්නට ලැබුණු ජනශ්‍රැතියකි.
ශ්‍රී වික්‍රම රාජසිංහ සමඟ මහවාසලෙන් පලා යන මොහොතේ කරකියාගත හැකි දෙයක් නොවූ වෙන්කත රෙංගජෙම්මාල් බිසොව තම ඥාතීන් ඒ මොහොතේ මාලිගාවේ කිලිටි වස්ත්‍ර ගෙන යාමට පැමිණ සිටි සිංහල මිනිසුන් කිහිපදෙනකුට බාරදුන් බවත් තමන් පැවත එන්නේ මහ බිසොවගේ ඥාතීන්ගෙන් බවත් රාධා ක්‍රිෂ්ණන්  පවසයි. (මලබාර් නෑයෝ - හැඳින්වීම)

මහා වාසලට රෙදි ඇපිල්ලීමේ රාජකාරිය කරන හේනේ පිරිසගේ ගම්මානය පිහිටා තිබෙන්නේ හන්තාන කඳු අතර පිහිටි තැනිතලාවකය. අවට වනයෙන් ගැවසුණු මේ ගම්මානය දුප්පත්කමේ ගිලී පවතී. හීන් අප්පු නම් ගැටවරයා මේ ගමේ ප්‍රධානියා වූ සුදු හවඩියාගේ පුතාය. ඔහුට කඳු නැග එන ආගන්තුක සෙබළ පිරිසක් නෙත ගැටේ. ඔහු ගසක් මත සිටින අතරදී දුටු එම සිද්ධිය නිසා පුදුමයට පත්ව පියාට එය පවසා සිටී. පසුව එය රජ වාසලට දැනුම් දෙයි. නවකතාව පාඨකයා තුළ කුතුහලය දනවන අයුරින් එලෙස ආරම්භ කිරීමට කතුවරයා සමත් වී ඇත. උඩරටට ඉංග්‍රීසින්ගේ ආගමනයත් සමඟ රජු හා බිසොව පලා යන අතර අනෙක් මලබාර් ඥාතීන් සුදු හවඩියාගේ රැකවරණයට පත්කෙරේ. හන්තාන කන්දේ ගම්මානයේ රහසිගතව ඔවුන් තබාගැනීමට සුදු හවඩියා උත්සාහ ගනී.

රජ බිසවගේ ඥාතීන්ට අත්වූ ඉරණම ඔවුන් බාරගැනීමට සූදානම් නැති වුවද දෛවයට ඉඩ දීමට සිදුවේ. ඔවුන් සාමාන්‍ය ජනයාගෙන් සඟවා තබා ගැනීමට හේන කුලයට අයත් සෑම කෙනෙක්ම උත්සාහ ගනිති. මහ වාසලේදී උඩඟුකමින් බලය පෙන්වූ පිරිස බල හුවමාරුවත් සමඟ අන්ත අසරණ තත්ත්වයට පත්වේ. එය වර්තමානයට ද ගලපා ගත හැකි බව මේ පොත කියවන විට මට සිතුණි. දෙයියන්නාන්සේ කොළොම්තොටට අල්ලාගෙන ගිහින්. අපි දැන් තනිවෙලා බංගසාර සාමි කීවේ ඔවුන්ගේ භාෂාවෙනි. එතැන් පටන් මහලු බිසවුන් වහන්සේලා හඬන්නට පටන්ගත්තේ ලවක් දෙවක් නැතුවයි (77 පිට.)

මෙහි සුදු හවඩියා නම් කුල නායක චරිතය රාජකාරියටම කැපවුණු දැඩි ගතිපැවතුම් ඇති චරිතයක් ලෙස නිරූපිතය. රජුගේ බලය අහිමි වූවත් ඇපිල්ලීමට ගෙනා රාජකීය ඇඳුම් ඔහු සන්තකයේ තිබේ. එම රාජකීය වස්ත්‍ර ඇඳීමට ආරච්චිලට මෙන්ම සිදා නම් හේන කුලයේ රෙදි අපුල්ලන්නාට ද අවශ්‍ය වුවත් ඔහු ඒවා ලබා නොදෙන්නේ රජුගේ ගෞරවය ආරක්ෂා කරමිනි.

මේ අතර ගැටවර වියට පත්වන හීන් අප්පු සහ රාජකීය පිරිසේ රංගම්මා නම් කුමරිය අතර බැඳීමක් හටගනී. එය සොඳුරැ අත්දැකීම් ලබාදෙන වෘතාන්තයක් ලෙස ගලා යයි. හීන් අප්පු රංගම්මා මෙන්ම ඇගේ ඥාතීන් ද දිවිහිමියෙන් ආරක්ෂා කිරීමට කැපව සිටී.
ක්‍රමයෙන් අපුල්ලන ජන කොටස අතර ආරවුල් හටගන්නේ රාජකීය පිරිස නඩත්තු කිරීම ඔවුන්ට ප්‍රශ්නයක් වන විටදීය. එහෙත් සුදු හවඩියා මහ බිසොවට වූ පොරොන්දුව ඉටු කිරීමට අඛණ්ඩව කැපවී සිටී. ඉංග්‍රීසි පාලනයත් සමඟ මහනුවර නගරයේ වෙනස්වීම් මෙන්ම පාලන තන්ත්‍රයේ වෙනස්වීම්ද කතුවරයාගේ අවධානයට ලක්ව ඇත. රජුට බලය අහිමි වූ පසු ඔහුගෙන් ලත් පීඩාව නිදහසේ කියාපෑමට ජනතාවට අවස්ථාව ලැබේ. කතුවරයා ඒ බව වඩිග හටනේ කවි කියනා කවිකාරයෙක් මඟින් ඉදිරිපත් කරයි.

වඩිග හැත්තට කන්ට වම්බොටු
කෙසෙල් පොල් හදනා මෙහේ
සෙනඟ හට කළ කේඩු මගෙ එක
මුවෙන් වන කෙළෙසිනේ (140 පිට.)

පාඨකයා තුළ කුතුහලය දනවන අයුරින් කෘතිය රචනා කිරීමට කතුවරයා උත්සාහ ගෙන තිබේ. හීන් අප්පු නම් ගැටවරයාගේ හැසිරීම, රංගම්මාගේ ආදරණීය හැසිරීම්, බංගසාර සාමි ඇතුළු පිරිස තම ඉරණම බාරගැනීම, සිදා කුලයෙන් පිටමං වී යාම ඇතුළු අවස්ථා තම පරිකල්පනය ඔස්සේ මවා පෙන්වීමට කතුවර ප්‍රේමකීර්ති සමත්කම් දක්වා ඇත. මෙහි ගලායෑමට මඳක් බාධා වන්නේ කෘතියේ ඇති අලි ගාල් කිරීමේ අවස්ථාවයි. 

ඉතිහාසය හාරා අවුස්සමින් නවකතා රචනයට ඇති බුහුටිකම මලබාර් නෑයෝ තුළින් කතුවරයා පෙන්වයි. ඒ අතරම බලයේ සිටියදී තේජසින් වැජඹෙන පිරිසම බලය අහිමිව ගියවිට අන්ත අසරණ බවට පත්වන අන්දම ද ඔහු යටි පෙළක් ලෙස මතුකරයි.

පාඨක