2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

වැඩි දෙනෙක් ටියුෂන් මහාචාර්යවරු

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 141

මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස

ජාත්‍යන්තරව කීර්තියක් දිනූ ඉතිහාසඥ මහාචාර්ය කේ.එම්. ද සිල්වා ඉංග්‍රීසියෙන් ලියූ ඩී.එස්. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය චරිතාපදාන කෘතිය සම්මානිත මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස විසින් සිංහලයට පරිවර්තනය කර සරසවි ප්‍රකාශනයක් ලෙස පළවිය. කතුවරයා ඉංග්‍රීසියෙන් පොත ලියන අතරම එහි සිංහල පරිවර්තනය මහාචාර්ය ධර්මදාසට පැවරීම මෙහි විශේෂත්වයකි.

මෙම කෘතියේ කාලීන වැදගත්කම කුමක්ද?

මෙහි වැදගත්කම ඉස්මතුවන කාරණා දෙකක් තිබෙනවා. ඩී.එස්. සේනානායක මහත්තයාගේ චරිතය ගැන අද පරම්පරාවලට දැනුමක් නෑ. දැන් අපට නිදහස ලැබිලා අවුරුදු 70ක් වෙනවා. ඔහුගේ චරිතයේ ප්‍රධානම කාරණා දෙක තමයි, නිදහස ලබාගැනීම සහ ගොවි ජනපද පිහිටුවීම, ගොවි ජනපද ඩී.එස්. පිහිටෙව්වේ නැත්නම් අද ජනතාවට දුර්භික්ෂයෙන් මැරෙන්න සිදුවෙනවා. නමුත් ඒක ජනතාවට එතරම් දැනෙන්නෙ නෑ. ගල්ඔය, මින්නේරිය, කන්තලේ, අල්ලෙයි වගේ ප්‍රදේශ රාශියක ගොවි ජනපද පිහිටෙව්වා.

ඩී.එස්. චරිතය අදට ගැලපෙන්නෙ කොහොමද?

නියම ජනතා සේවකයෙක් කියන්නේ කොයි විදිහේ නායකයෙක්ද කියන එක ඔහුගේ චරිතය අධ්‍යයනය කිරීමෙන් වටහාගත හැකියි. ලංකාවේ ජනජීවිතය රඳාපැවතී තිබෙන්නේ ගොවිතැන මත බව ඩී.එස්. වටහාගත්තා. ඔහුත් ගොවිතැන් කිරීම ගැන ප්‍රායෝගික අත්දැකීම් සහිත කෙනෙක්. මම ඩී.එස්. දැකලා තිබෙනවා. සම්පූර්ණ ගැමිගතිය තිබුණු පුද්ගලයෙක්. බණ්ඩාරනායක ජාතික ඇඳුම ඇඳ සිටියත් කලිසම් කෝට් හැඳ සිටි ඩී.එස්. තමයි නියම ගැමියා. ඔහුගේ චරිතය ගැන විශ්ලේෂණයක් කිරීමට මහාචාර්ය කේ.එම්. ද සිල්වා උත්සාහ ගෙන තිබෙනවා. කොටස් හයක් යටතේ මේ කෘතිය සංග්‍රහ කර තිබෙනවා.

මෙම කෘතිය ගොඩනැගීමට මහාචාර්ය කේ.එම්. ද සිල්වා විදේශීය මූලාශ්‍ර පවා භාවිත කළ බව පැවසෙනවා?

ඔව්. මහාචාර්යතුමාට ලන්ඩනයේ තිබෙන රහසිගත යටත්විජිත ලේඛන පවා විමර්ශනය කිරීමට ඉඩ ලැබුණා. ඒ තොරතුරැත් ඔහු ඩී.එස්. පොත ලිවීමට යොදාගත්තා.

අද බහුලව චරිත කතා ලියැවෙන බව පේනවා. නමුත් නිරීක්ෂණය කරනවිට පේන්නේ ඒවා බහුතරයක් හුදු වාර්තා පමණක් බවයි?

ඒක ඇත්ත. හුඟ දෙනෙක් මතුපිටින් අතගාලා වාර්තාවක් විදියට තමයි ලියන්නේ. ඒ නිසා තමයි ඉතිහාසඥයෙක් විදිහට කේ.එම්. ද සිල්වාගේ ශ්‍රේෂ්ඨත්වය මතුවන්නේ. මේ වගේ පොතක් අධ්‍යයනය කරනවිට එය හොඳට පේනවා. චරිතයේ මතුකළ යුතු ගුණාංග අරගෙන ඒවා විශ්ලේෂණය කිරීමක් තමයි, මෙහිදී සිදුවී තිබෙන්නේ. දේශපාලන ජීවිතයට සහ ජනජීවිතයට අදාළ කරුණු පමණක් අරගෙන තමයි, මේ පොත ලියලා තිබෙන්නේ. වෙන අනංමනං නෑ. අද ඉන්න ඉතිහාසඥයන්ට වුණත් මේ පොත ආදර්ශයක් සපයනවා. පියා වූ ස්පේටර් සේනානායක ක්‍රමක්‍රමයෙන් තම දරැවන් විවිධ ක්ෂේත්‍රවලට යොමුකර ප්‍රභූ තත්ත්වයට පත්කළේ කෙසේද යන සමාජ විශ්ලේෂණය මෙම කෘතියෙන් විස්තර වෙනවා.

මෙම කෘතිය ඔබ විසින් කළ පරිවර්තනයක්නේ. අද බිහිවන පරිවර්තන දෙස බලනවිට පේන්නේ සිංහල භාෂාව භාවිත කිරීමේ වැරදි රාශියක් තිබෙන බවයි?

අපොයි ඔව්. ඒක සහතික ඇත්ත. මටත් විනිශ්චය කිරීමට පොත් ලැබෙනවානේ. ඒවායේ පේළියක් පේළියක් පාසා වැරදි. ව්‍යාකරණ වැරදි, අක්ෂර වින්‍යාස වැරදි පිරිලා. මිනිස්සු මේ වගේ භාෂාව වරද්දන්නේ ඇයි කියලා හිතාගන්න බෑ. භාෂාවේ මූලික කරැණු ටික ඉගෙනගන්න එක මහලොකු වැඩක් නොවෙයි. ඒවාට ඕනෑතරම් පොතපත තිබෙනවා. මම හිතන්නේ මිනිසුන් අපේ භාෂාව කෙරෙහි ඇති නොසැලකිල්ල සහ නිගරැව ඒකට බලපානවා. සමහරැ භාෂාව ගණං ගන්නෙ නෑ. ඕක ඉංග්‍රීසියට නෑ. ඉංග්‍රීසි ලියනවා නම් හරියට ලියන්න ඕනෑ. නැත්නම් ලජ්ජයි. නමුත් සිංහලෙන් ඕනෑම කබල් පරිවර්තනයක් කරලා මහා ලොකු පරිවර්තනයක් කියලා පත්තරේ දාගන්නවා.

මම මේ පොත පරිවර්තනය කරනවිට බොහොම පරිස්සමින් තමයි භාෂාව පාවිච්චි කළේ.

අද අපේ විශ්වවිද්‍යාලවලින් මෙවැනි පර්යේෙෂණ කෘති බිහිවන්නේ අඩුවෙන් නේද?

ඔව්. බොහොම අඩුයි. ඒකට ප්‍රධාන හේතුවක් තමයි, මේ අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු. පසුගිය අවුරුදු 30-40 කාලයක සිට විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රමයෙන් පිරිහුණා. ඒකට හේතුව අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම්. 1970 දශකයේ විශ්වවිද්‍යාල ප්‍රතිසංවිධානය නමින් සිංහල, පාලි, සංස්කෘත ඉගෙනගැනීම අධෛර්යමත් කළා. දෙවැනි කාරණය ඉංග්‍රීසි භාෂාව නොදැනීම. ඉංග්‍රීසි දැනුම නැතිව අපිට ලෝකයට යන්න බැහැ.

අද විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු බහුතරයක්  කලකට පෙර සිටි බැබළෙන ආචාර්යවරු අතර දකින්න නැහැ?

ඔව්. මේ සියලු දෙනා ටියුෂන් සිස්ටම් එකෙන් බිහිවෙලානෙ විශ්වවිද්‍යාලවලට එන්නේ. ඔවුන්ට අලුතින් දෙයක් හිතලා විශ්ලේෂණය කිරීමට බුද්ධිය වැඩ කරන්නෙ නැහැ. ටියුෂන් මාස්ටර් කියන දේ වැමෑරීම තමයි කරන්නේ. මේක හරිම අපරාධයක්.

ඒ කියන්නේ අලුත් පරම්පරාවේ සාහිත්‍ය රුචිකත්වය අඩුවීමටත් ටියුෂන් අධ්‍යාපනය බලපානවා?

ඔව්. ඒක බිහිවන පොත්වලින් පේනවනේ. අදටත් සාහිත්‍ය සම්මාන වැඩිපුර ලබන්නේ පරණ පරම්පරාවේ වියපත් ලේඛකයොනේ. ඔවුන් ටියුෂන් බිහිවීමට පෙර අධ්‍යාපනය ලැබූ පරපුරට අයත් පිරිසක්. අද කලාතුරකින් තමයි තරුණ පරපුරේ අය අතර නිර්මාණශීලී චින්තනයක් ඇති අය ඉන්නේ. අද විශ්වවිද්‍යාලවල පවා ඉතිහාසඥයො කියලා කැපීපෙනෙන චරිත ඉන්නවද? නෑනේ...

ලංකාව ගැන ශාස්ත්‍රීය කෘති අපේ විද්වතුන් වගේම විදේශිකයොත් ලියලා තිබෙනවා. නමුත් ඒවා සිංහලට පරිවර්තනය වෙන්නෙ කලාතුරකින් නේද?

ඔව්. ඒක ඇත්ත. මේවා පරිවර්තනය කිරීමට සුදුසු අයත් අද නෑනේ. ඉතිහාසය පමණක් නොවෙයි, අනෙක් විෂයයන් ගැන පවා එහෙමයි. මහාචාර්යවරු කියල නම් ඉන්නවා. නමුත් ඉතින් හොඳ පොතපත ලියන්න, පරිවර්තනය කිරීමට ඉන්නේ ඉතාම සුළු පිරිසයි.

මටත් කෘති පරිවර්තනය කිරීමට ආරාධනා එනවා. නමුත් ඒවා බාරගත්තොත් මගේ ශාස්ත්‍රීය වැඩ අතපසු වන නිසා බාරගත්තේ නැහැ.

මෙවර ගොඩගේ සාහිත්‍ය උත්සවයේදී හොඳම ශාස්ත්‍රීය කෘතියක් නැහැ කියලා සම්මාන දුන්නෙ නැහැ?

හරියට හරි. ඇත්තෙන්ම හොඳ පොතක් නැත්නම් සම්මාන නොදී හිටියට කමක් නැහැ. ගතයුත්තක් නැත්නම් බොරැවට හුවාදක්වන එක වැරදියි.

 කුසුම්සිරි
සේයාරුව: සුමුදු හේවාපතිරණ