රූමස්සල කියන්නේ ලෝකයේ සුන්දරම වෙරළ තීරයන් හත අතරට අයත් වන අපූරු තැනක්. මේ නිසාම සුළු මුදලක් අතැති සංචාරකයන් වගේම ධනවත් සංචාරකයෝත් කිසිම භේදයක් නැතිව උණවටුනේ සුන්දරත්වය විඳගන්න පැමිණෙනවා. විශේෂයෙන්ම රූමස්සල කන්ද නිසා මේ වෙරළට තවත් අලංකාරයක් එක්වෙනවා. අනෙක් අතට රූමස්සල කන්ද වගේම උණවටුන මුහුදත් ජෛව විවිධත්වයෙන් පොහොසත් කලාපයක් විදිහට ප්‍රකටයි. එනිසාම රූමස්සල කන්දත් අවට කොරල් පර සහ මුහුදු වෙරළත් මේ වෙද්දි අභය භූමියක් ලෙස ප්‍රකාශිතයි.
‘Thaproban Pavilion Resort and Spa’ සහ Thaproban Pavilion Wave’ කියන සොඳුරු නවාතැන් දෙක පිහිටා ඇත්තේ මෙවන් පරිසරයකයි.
තම්බපණ්ණි ලෙෂර් සමූහයෙන් පටන් ගත් පළමුවැනි පැවිලියන් ව්‍යාපෘතිය ලෙස ‘Thaproban Pavilion Resort and Spa’ හඳුන්වන්න පුළුවන්. ඒ 2012 වසරේදීයි. ඉන්පසුව 2015 වසරේදී Thaproban Pavilion Wave ඉදිකිරීමත් සමඟ මෙහි මුළු කාමර සංඛ්‍යාව 43ක් දක්වා වැඩිවුණා.
රෝම සහ ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාසය ඇතුව මේ හෝටලය ඉදිකර තිබෙන්නේ පසුබිමේ පිහිටි උණවටුන මුහුදු තීරයේ ස්වභාවික ආකර්ෂණය ඉස්මතු කරගනිමිනුයි.
රූපවාහිනී, මිනි බාර්, තේ සහ කෝපි සාදාගැනීමේ පහසුකම්, බට්ලර් සේවාව වගේම පැය 24 පුරා ක්‍රියාත්මක කාමර සේවාව ආදී නවීන හෝටලයක දකින්න ලැබෙන බොහෝ පහසුකම් මෙහි අඩංගුයි. ඒ වගේම මෙහි විශාල ප්‍රමාණයේ පිහිනුම් තටාක දෙකක් දක්නට ලැබීමත් විශේෂත්වයක්. ඒ වගේම ගලින් තැනූ වෙරළේ පිහිටි පෞද්ගලික නාන ස්ථානයත් ගොඩක් සංචාරකයන් අතර ප්‍රසිද්ධයි.
සුඛෝපභෝගීත්වයට මුල් තැන දෙන හෝටලයක් වන නිසාම මෙතැන ආහාර පාන අත්දැකීමත් විවිධත්වයක් ගන්නවා. බටහිර, පෙරදිග, ඈත පෙරදිග, ඉතාලි, මෙක්සිකානු සහ චීන වගේ විවිධ ආහාර රටාවන්ට අයත් කෑමබීම අවන්හලේදී රසවිඳිය හැකියි. කොහොම නමුත් වැඩිම අවධානයක් යොමුවෙන්නේ දේශීය ආහාරවලට තමයි.
ප්‍රධාන අවන්හල සහ එහි ආසන පැණවීම සිදුකරලා තියෙන්නේත් මුහුදේ සුන්දරත්වය විඳිනා අතරේදී ආහාර ගැනීමට අවස්ථාව සලසන අයුරිනුයි. ඒ වගේම විශේෂ අවස්ථාවන්හිදී එළිමහන් ස්ථානවල පවා ආහාර ගැනීමට පහසුකම් සැපයෙනවා.
මෙහි සිට මුහුදේ කිමිදීම, ස්නෝක්ලින් වගේ ක්‍රියාකරකම් කරන්න පුළුවන් වගේම ජන්ගල් බීච්, මිරිස්සේ තල්මසුන් නැරඹීමට යාම වගේ කටයුතු සඳහාත් යොමුවිය හැකියි. ඊට අමතරව කොට්ටව රක්ෂිතය, කුරුඳු සහ තේ වගා නැරඹීම, මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය, කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානය, මඩොල් දූව, රිටි පන්නන්, හුම්මානය, යටගල වෙහෙර, රූමස්සල වගේ ස්ථාන රැසක් නරඹන්න යා හැකියි.
- සනත් වීරසූරිය
සේයා - ශාන් බන්දු වීරසිංහ