පසුගිය සමයේ පැවතුණු දේශපාලන අස්ථාවරභාවය මේ වනවිට උච්ඡ තත්ත්වයට පත්ව තිබේ. හෙට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ පුරෝකතනයක් කිරීමට බොහෝ දෙසා අසමත්වන බවක් පෙනෙන්නට ඇත. දෙපැත්තේ දේශපාලනඥයන් විවිධ ප්‍රතිවිරුද්ධ කතා පැවැත්වුවද ඒවා කුමන පදනමක් මත පිහිටා තිබේද යන්න අවිනිශ්චිතය. මෙම ලිපිය කියවන පාඨකයා පමණක් නොව රටේ පොදු ජනතාව අනාගතය පිළිබඳ දෑස් දල්වාගෙන බලා සිටිනවා මිස අනාවැකියක් කියන්නට අසමත් බවක් පෙනෙන්නට තිබේ.
රටේ පවතින අවිනිශ්චිත දේශපාලන වාතාවරණය නිසා රාජ්‍ය සේවය අකර්මන්‍ය බවට පත්වෙමින් තිබේ. සමහර ඇමැතිවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරැන් පත්කර තිබුණද බොහෝ අමාත්‍යංශවල අයිතිකරුවන් නොමැති තත්ත්වයක් උද්ගතව ඇත. මෙලෙස රාජ්‍ය පරිපාලනය අස්ථාවරවීම නිසාම අමාත්‍යංශවලින් සිදුවන කාර්යයන්ද කඩාවැටීමකට ලක්ව තිබෙන බව පැවසිය යුතුය. බොහෝ උසස් නිලධාරීන් තීරණ ගැනීමට පසුගාමී වී ඇති අතර මධ්‍ය මට්ටමේ කළමනාකරණය මෙයට පෙර ගත් තීරණ පවා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරමින් සිටින බවක් දක්නට ඇත. එයට හේතුව ඊළඟට බලයට පත්වන කණ්ඩායමේ තීරණ මෙයට වෙනස් වුවහොත් ඒවා ක්‍රියාත්මක කිරීමෙන් තමන්ට වගඋත්තර කියන්නට සිදුවේදැයි යන බියයි.
අද වනවිට අමාත්‍යංශ ලේකම්වරයාගේ පටන් පහළම මට්ටමේ කළමනාකරණ සහකාරවරයා දක්වා ක්‍රියාත්මක වීමට පසුබාන තත්ත්වයක් උදාවෙමින් පවතී. පරිපාලන තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවට අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු පවා ඇතැම් රාජ්‍ය ආයතනවලින් ඉටුවන බවක් පෙනෙන්නට නැත. දිසාපති කාර්යාලයක උසස් නිලධාරියකු ලියුම්කරු සමග පැවසුවේ එදිනෙදා කටයුතුවල ප්‍රශ්නයක් ඇතිවූ විට පවා ඒවා නිරාකරණය කර ගැනීම ගැටලුකාරී වන අවස්ථා උද්ගතව ඇති බවය. රාජ්‍ය නිලධාරීන් පවතින වාතාවරණය පිළිබඳ තැන් තැන්වල කතාබස් කරමින් සිටිනු දැකගත හැකි අතර ඒ පිළිබඳ පියවර ගැනීමට පවා තමන්ට යහපත් පරිසරයක් උදා වී නොමැති බව ද ඔහු කීය.
සමහර නිලධාරීන් පවතින දේශපාලන වෙනස මත තම තනතුරු අහිමි වේ යැයි බියෙන් පසුවන අතර ඇතැමුන් තම තනතුර ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ දේශපාලනඥයන් පසුපස යන බවක්ද පෙනෙන්නට තිබේ. මෙම තත්ත්වය යහපත් රාජ්‍ය කළමනාකරණයක් ඇති කිරීමට බාධාවක්ව පවතී. මේ වනවිටද රාජ්‍ය අංශය දේශපාලන බලපෑම් නිසා අපවිත්‍ර වී ඇති පරිසරයක පවතින තත්ත්වය එය තීව්‍ර කරන්නක් බවට ද මත පළවේ. ලබන 16 වනදා පාර්ලිමේන්තුව රැස්කරන අවස්ථාව දක්වා දිනෙන් දින සිදුවෙමින් පවතින දේශපාලන විපර්යාස රටේ ආර්ථිකයට අහිතකරව බලපාන්නට පටන්ගෙන ඇත. රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට බාධා පැමිණ ඇති අතර පෞද්ගලික අංශයට පවා මෙය දැඩිව දැනෙන්නට පටන්ගෙන තිබේ. ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ පවතින වාතාවරණය තම ව්‍යාපාර පවත්වාගෙන යාමට පවා දැඩිව බලපෑමක් සිදුකරමින් පවතින බවය. මෙම තත්ත්වය ඉක්මනින් සමථයකට පත්වීමේ අවශ්‍යතාව ඔවුහු පෙන්වා දෙති.
රටේ පවතින කලබලකාරී තත්ත්වය නිසා මෙරට සංචාරය කිරීමට අපේක්ෂිත සංචාරකයන්ට තම ගමන් පිළිබඳ යළි සලකා බලන ලෙස ඇතැම් බටහිර රටවල් තම වැසියන්ට නිවේදනය කර තිබේ. ඒ අනුව මෙම තත්ත්වය දිගටම පැවතීම අපේ සංචාරක ව්‍යාපාරයට ද අහිතකරව බලපාන බව පෙනෙන්නට ඇත.
ඕනෑම රටක දේශපාලන ස්ථාවර භාවය ආයෝජකයන්ට විශේෂයෙන් බලපායි. දේශපාලන හා ආර්ථික අස්ථාවරභාවය හේතුවෙන් මෙරට ආයෝජනයට අදහස් කරගෙන ඇති අයට තම ක්‍රියාමාර්ග කල්දැමීමට හෝ නැවැත්වීමට හේතු වී තිබේ. එම තත්ත්වය රටේ ජාතික නිෂ්පාදනය වර්ධනය කර ගැනීමට අයහපත් වේ. ඒ නිසා පවතින දේශපාලන අස්ථාවරභාවය ඉතා ඉක්මණින් වෙනස් කර ගත යුතුව තිබේ. ආයෝජකයන්ට රට පිළිබඳ විශ්වාසවන්ත භාවයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වාතාවරණය සකස් විය යුතුය.
එසේම රටේ දේශපාලන අස්ථාවරභාවයක් දිගුකලක් පවත්වාගෙන යාමට සිදුවුවහොත් ජාත්‍යන්තර වශයෙන් අපට ලැබෙන විවිධ සහන පිළිබඳ ගැටලු නිර්මාණය වනු ඇත. රට ගමන් කරන්නේ කොයි අතටද යන්න පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන විමසිලිමත්ව පසුවන බව පෙනේ. ඉන්දියාවද මේ ගැන පවසා ඇත. රටට ලැබෙන ජාත්‍යන්තර ආධාර ණය සහ ප්‍රදානයන් දිගටම ලබාදීම පිළිබඳ එම රටවල් දෙවරක් සිතනු ඇත. අප වැනි දුප්පත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ජාත්‍යන්තර සහය අත්‍යවශ්‍ය වේ. එයට සුදුසු පරිසරයක් නොමැති නම් ඒ රටවල් අප කෙරේ සැකයෙන් බලනවා ඇත. ඒ නිසා මෙම හානිය පිළිබඳවද සලකා බලා වර්තමාන තත්ත්වය වෙනස් කිරීමට ප්‍රමුඛතාව දිය යුතුය.
එසේම ජනතාව අතර කටකතා පැතිරීම නිසාද සිදුවන හානිය විශාල වේ. දැනටමත් විවිධ සමාජජාලා වෙබ් අඩවිවලද දූෂමාන ආරංචි වැරදි ලෙස ප්‍රචාරය වේ. මෙයින් රටේ සත්‍ය තත්ත්වය විකෘති වනවා ඇත.
රටේ පවතින දේශපාලන වාතාවරණය ආර්ථිකයට බලපාන අන්දම පිළිබඳ අදහස් ප්‍රකාශ කරන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න:
“පසුගිය කාලයේ අපේ රටේ ආර්ථිකයේ මූලික ප්‍රතිසංස්කරණයක් පවා ආරම්භ කර තිබුණේ නැහැ. මෑත වකවානුවේ සුළු ඇළවේලි, පාරවල්, බෝක්කු ප්‍රතිසංස්කරණය, රබර්වලට සහනාධාර දීම, කෘෂිකර්මයට සහනාධාර දීම ආදී කුඩා ප්‍රමාණයේ ආර්ථික කටයුතු සිදුකළද ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුවූවේ නැහැ. එදාවේල සරිකර ගන්නා ආර්ථික වැඩපිළිවෙළක තමා ආණ්ඩුව නිරත වී සිටියේ. ඒ නිසා රටේ ආර්ථික වර්ධනය පහළ වැටුණා. රටේ පැවැති දේශපාලන අස්ථාවරභාවය නිසා සමස්ත ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවූයේ නැහැ. ආණ්ඩුවට ආර්ථික සැලසුමක් නොතිබුණු අතර එදිනෙදා ප්‍රශ්නවලට විසඳුම් දීමට කටයුතු කිරීම හැර වෙන දෙයකට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ නිසාම බලාපොරොත්තු වූ ආර්ථික වර්ධන වේගය පහළ වැටුණු අතර එය සියයට 3ක මට්ටම දක්වා අඩුවුණා. එසේම රටේ සෙසු සංවර්ධන කටයුතුද අඩාල වුණා. නව ව්‍යාපෘති ආරම්භ කරනවා තබා කරගෙන ගිය ඇතැම් ව්‍යාපෘති පවා අතරමග නවතින තත්ත්වයට පත්වුණා.
ආයෝජකයන්ට සහන සලසන බව නායකයන් ප්‍රකාශ කළ නමුත් ඒවා හුදු ප්‍රකාශ පමණක් බවටම පත්වුණා. අලුත් ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණීම කෙසේ වුවද සිටි ආයෝජකයන් පවා අතහැර යන තත්ත්වයකට පත්ව තිබුණා. විවිධ බදු පැනවීම් නිසා ජනතාවගේ ජීවන ගැටලු උග්‍ර වූ අතර ජනතාවගේ ආර්ථික තත්ත්වය දුර්වල වුණා. මෙහිදී රටේ සමස්ත ආර්ථිකයට මෙන්ම ජනතාවගේ කුටුම්භ ආර්ථිකයද දුර්වල වුණා. ඒ දෙකම නිසා රටේ ආර්ථිකයේ බලාපොරොත්තු වන වර්ධනය ඇතිවූයේ නැහැ.
දැනට මාස කිහිපයකට පෙර ලෝක බැංකුව “South Asia Economic Focus” යනුවෙන් දකුණු ආසියානු රටවල් ආර්ථිකය පිළිබඳ පුරෝකතන වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ දකුණු ආසියානු කලාපය තුළ ලෝකයේ වැඩියෙන්ම ආර්ථික වර්ධනයක් ඇති වන බව ප්‍රකාශ වී තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකාවට එහි කොටස්කරුවකු වීමට නොහැකි වී ඇති බව පෙන්වා දී තිබෙනවා. අපේ රට ආර්ථික වර්ධනය අනුව සිටින්නේ ඇෆ්ගනිස්ථානයට පමණක් ඉහළ මට්ටමකයි. අපේ ආර්ථික වර්ධන වේගය මීළඟ අවුරුදු දෙක තුළදී වුවද පවතින්නේ සියයට 4ට වඩා අඩු මට්ටමක බව පුරෝකතනය කර තිබෙනවා. ඉන්දියාව, බංගලිදේශය හා මාලදිවයින යන රටවල් සියයට 7ක ඉහළ මට්ටමක සිටිනවා. නේපාලය, භූටානය හා පකිස්තානය යන රටවල් තුන සියයට 5-6 අතර ප්‍රමාණයකින් වර්ධනය වෙන බවද සඳහන්. මෙම රටවල් අතර අපේ රට ආපස්සට යාම ඉතාම කනගාටුදායක තත්ත්වයක්.
අද වනවිට උග්‍රෙවමින් පවතින අවුල් සහගත දේශපාලන වාතාවරණය නිසා මෙම අයහපත් තත්ත්වය උග්‍රවන බවයි පැවසිය යුත්තේ. අපි කොහේ ඉන්නවාද යන්න පිළිබඳ අද පවතින අවුල කළමනාකරණය කිරීම මත තීරණය වෙනවා. ඒ නිසා පවතින තත්ත්වය උග්‍ර නොකර සමතයකට පත්කිරීම ජාතික අවශ්‍යතාවක් බව පැවසිය යුතුයි. උද්ගතව ඇති අයහපත් වාතාවරණය කළමනාකරණය කිරීමේ දක්ෂතාව මත අප තවදුරටත් පසුගාමී වීම හෝ පෙරගාමී වීම සිදුවෙනවා. ඉදිරියට යනවාද, ආපස්සට යනවාද යන්න තීරණය කළ යුත්තේ අපමයි. ජාත්‍යන්තර පැහැදීමද නැතිකරගෙන දේශපාලන බලලෝභීත්වය ගැන පමණක් සලකා මෙම තත්ත්වය දිගටම ඇදගෙන යා යුතුයි කියලා අප සිතුවහොත් එය ජාතියේ විශාල අවාසනාවක් වෙනවා. තත්ත්වය හොඳින් කළමනාකරණය කරගෙන යහපත් විසඳුමකට යොමුව ඉදිරියට යනවා නම් එයින් ආර්ථිකය ගැන සුබවාදී ආකල්පයක් ඇතිකරගත හැකියි. මෙම අපේක්ෂාව මල්පල ගැන්විය හැක්කේ කොන්දේසි කිහිපයක් මත බව පැවසිය යුතුයි.
1. ජාතියේ ආර්ථික දර්ශනය ගොඩනගාගැනීම - එය දේශපාලන නායකත්වයේ වගකීමක් වෙනවා. එය මහජනතාවට පැහැදිලි කර නිසි වැඩපිළිවෙළකට නොපමාව අවතීර්ණ විය යුතුයි.
2. මෙම ආර්ථික දර්ශනය කරා ජනතාව මෙහෙයවීමද දේශපාලන නායකත්වයේ වගකීමක්. ජනතාව තුළ අවබෝධයක් ඇතිකර ඔවුන් අවශ්‍ය ඉලක්ක කරා කැඳවාගෙන යා යුතු වෙනවා. ජනතා සහභාගිත්වය නැතුව ආර්ථික දර්ශනය ප්‍රායෝගික කළ නොහැකියි.
3. මෙම මෙහෙයුමට අවශ්‍ය ප්‍රතිපත්ති සමුදාය සකස් කර අවශ්‍ය සංශෝධන කර ක්‍රියාත්මක කිරීමද ආණ්ඩුව විසින් කළ යුතුයි.
4. එසේම මේ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහාය අප ලබාගත යුතුයි. අප වැනි රටකට වෙනත් රාජ්‍යවල සහයක් නොමැතිව අපේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකියි. එම තත්ත්වය නිර්මාණය කර ගැනීම දේශපාලන නායකත්වයේ වගකීමක්.
මෙම කාරණා අනුව තමයි අද පවතින අවුල් සහගත තත්ත්වයෙන් පසු අපේ රට ගමන් කරන දිශානතිය තීරණය වන්නේ. අප කලින් සිටියා වගේ කුඩා කුඩා ආර්ථික කරුණු පිළිබඳ පමණක් අවධානය යොමුකර ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ අමතක කර සිටියහොත් තත්ත්වය තවත් අයහපත් වෙනවා ඇත. ආර්ථිකය තවත් පහළ මට්ටමට යාවි. ඉන් පසුව ගොඩනැගීම අතිශයින් දුෂ්කර වේවි.
ජනතාවට සහන දීම අවශ්‍ය බව සත්‍යයක් නමුත් එය කළ යුත්තේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව බවයි මගේ අදහස. එසේ නැතුව දේශපාලන අවශ්‍යතා උදෙසා ජනතා කණ්ඩායම් සතුටු කිරීමට ගියහොත් අපේ රට තවත් දුෂ්කරතාවකට ඇදවැටෙන බව වගකිවයුත්තන් සිහිපත් කරගත යුතුයි. මෙයට පෙර කළා මෙන් අද යැපීම සඳහා දිගටම ණය වීමට සිදුවීම නිසා අනාගතය තව තවත් බැරූරැම් වෙනවා ඇත. අපේ රටේ බලයට එන හැමදෙනාම කියන්නේ ජනතාවට සහන දෙනවා කියන එකයි. ඒත් ණයට අරගෙන කන්න දීම නිසා අප අද වැටී ඇති අයහපත් තත්ත්වය ගැන සැලකිය යුතු වෙනවා.
උදාහරණයක් වශයෙන් කියනවා නම් යමෙක් තම විවාහ මංගල උත්සවය හැම පැත්තටම ණයවෙලා අතිඋත්කර්ෂවත් ලෙස පවත්වනවා. එහෙත් ඊටපස්සෙ පවුල් ජීවිතය ගත කරන හැටි ගැන සැලසුමක් නැහැ. ඉතිහාසය පුරාවටම අපේ රටේ බලයට පත්වූ ආණ්ඩු කළේ ඔය ටිකමයි. එහි ආදීනව ගැන වටහාගෙන ස්ථාවර ආර්ථික ප්‍රතිසංස්කරණවලට යොමුවීම වැදගත් වෙනවා. ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය ලබාගැනීමද මේ අවස්ථාවේ ඉතාම වැදගත්. ඒ නිසා සියල්ලටම පෙර මෙම ව්‍යාකූල තත්ත්වය සමනය කරගත යුතුයි. එසේ නැතුව පටු දේශපාලන බලලෝභීත්වය නිසා තත්ත්වය ඔඩු දුවන්නට ඉඩ දුන්නොත් අනාගතය ඉතාම දුර්භාග්‍ය සම්පන්න වන බව අවධාරණය කිරීමට සිදුව තිබෙනවා.
►යසවර්ධන රුද්රිගු