දේශපාලන බල පෙරළියක උච්ඡතම අවස්ථාව ඉතිහාසගත කරමින් යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත්කර නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පත් කරන්නට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය 26 වැනිදා සන්ධ්‍යාවේ පියවර ගෙන තිබුණි. කිසිවකුත් විශ්වාස නොකළ හදිසි දේශපාලන වෙනස පිළිබඳ කතාව රට පුරා උණුසුම් පුවතක් මැවීය. නව ආණ්ඩුව පාර්ශවයෙන් කීවේ අගමැති පත්වීම නීත්‍යානුකූල බවය. විරැද්ධ පාර්ශව කීවේ සිදුවීම නීති විරෝධී බව හා දේශපාලන කුමන්ත්‍රණයක් බවය. මේ අර්බුදය මැද තෙල් සංස්ථා මූලස්ථාන පරිශ්‍රයේ වූ වෙඩි තැබීමත් සමඟ රටේ දේශපාලනය හා ආරක්ෂාව වඩාත් උණුසුම් මාතෘකාවක් බවට පත්විය.
26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේ දිවුරුම් දීමෙන් දිනකට පසුව උදා වූ 28 වැනිදා ඉරිදා දිනයකි. හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය ආරක්ෂකයන් පිරිසක් සමඟ දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් සංස්ථාවේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණ තිබුණේ එදිනය. ඔහු ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණ ඇත්තේ ඛණිජ තෙල් සංස්ථා ගොඩනැගිල්ලේ සිව්වැනි මහලේ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයට යාම සඳහාය.
පැවති ආණ්ඩුව වෙනස්ව තිබියදී හිටපු අමාත්‍යවරයා ආයතන පරිශ්‍රයට පැමිණීම සම්බන්ධයෙන් විරෝධතාවය දැක්වූ සේවකයන් පිරිසක් නිසා දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූයේ කිසිවකුත් නොසිතූ විලසය. පැවති තත්ත්වය දුරදිග යාමත් සමඟ ඇමැති ආරක්ෂක නිලධාරීන් උත්සාහ කර තිබුණේ අමාත්‍යවරයා ආරක්ෂා කරගැනීමටය. මෙහිදී විරෝධය දැක්වූවන්ගේ තත්ත්වය උත්සන්න වීමත් සමඟ ආරක්ෂක නිලධාරියකුගේ ගිනි අවිය ක්‍රියාත්මක කර තිබුණි. එම වෙඩි තැබීමෙන් ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයන් දෙදෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ අයෙක් ජීවිතක්ෂයට පත්විය.
සිද්ධියෙන් පළමුව මියගොස් සිටියේ රංගන පුෂ්පකුමාර (34) නැමැති ගම්පොල ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ජයසිංහ මුදලිගේ නාලක රුක්මල් පෙරේරා නැමැත්තෙකි. ඒ අතර සිදුවීම අතරතුර පහරකෑමට ලක්වූ කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීකියන මහතා පහර කෑමට ලක්වී තුවාල ලබා සිටියේය.
මේ සිදුවීම පිළිබඳ අදහස් දැක්වීමට 28 වැනිදා රාත්‍රියේ අර්ජුන රණතුංග මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබුණි. එහිදී ඔහු දැක් වූ අදහස මෙසේය.
“මම විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආවේ 28 උදේ. නිල නිවාසය තියෙන්නේ කොලොන්නාවේ. විදේශගත වෙද්දී නිල නිවසේ යතුරු කාර්යාලයේ තියලයි තිබුණේ. 28 උදේ අමාත්‍යංශ ලේකම්ට කතා කරලා කිව්වා යතුරු ටික ගන්න කාර්යාලයට යනවා කියලා. සංස්ථා පරිශ්‍රයේදී පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරයෙක් ඇවිත් කෑගැහුවා. ආරක්ෂකයන් ඔහුව ඉවත් කළා. ටික වෙලාවකින් වැඩ තහනමට ලක්වුණු වෘත්තීය සමිති නායකයෙක් බීමත් පිරිසක් සමඟ පොලු මුගුරු අරගෙන ආවා. තෙල් සංස්ථාවේ ආරක්ෂකයන් සිටියදී ඒ පිරිස ආවේ කොහොමද දන්නේ නෑ. ඔවුන් කෑගැහුවේ මාව මරනවා කියලයි. මාව කාමරයකට දාලා හිර කළා. ආරක්ෂකයන් එළියේ හිටියා. ඔවුන් දොර කඩාගෙන ඇතුළට එන්නත් උත්සාහ කළා. එක් පුද්ගලයෙක් ආරක්ෂක නිලධාරියකුගේ ගිනි අවිය උදුරාගන්න උත්සාහ කරලා තියෙනවා. එය වැළැක්වීමටයි ආරක්ෂකයා වෙඩි තියලා තියෙන්නේ. මම වෙඩි තියන්න කිව්වා කියන එක අසත්‍යයක්. මම හිටියේ කාමරය ඇතුළේ. පොලිස් විශේෂ කාර්ය බලකාය ඇවිත් තමයි මාව බේරාගත්තේ. මේක සැලසුම්සහගත දෙයක්.”
ඇමැතිවරයා ඇතුළු පිරිස ආයතන පරිශ්‍රයට පැමිණ තිබුණේ පස්වරු 3.30ට පමණය. ඒ බව දැනගත් නාගරික මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් පැමිණ ප්‍රධාන දොරටුව අවහිර කර නවත්වා ආයතනය පරිශ්‍රයට ඇතුළු වූ බවට තොරතුරු වාර්තා වේ. අමාත්‍යවරයාට විරෝධතාවය දක්වා තිබුණේ ඉන් පසුවය.
වෙඩි තැබීමත් සමඟ කුපිත වූ සේවක පිරිස රාජකාරිය නවත්වා එළියට පැමිණ විරෝධතාවයේ යෙදුණේ අර්ජුන රණතුංග ඇමැතිවරයා වහාම අත්අඩංගුවට ගතයුතු බවට බල කරමිනි. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තෙක් සේවයට වාර්තා නොකරන බවද ඔවුන් පවසා තිබුණි. ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වීමත් සමඟ අතිරේක පොලිස් කණ්ඩායම්, කැරලි මර්දන ඒකකය, විශේෂ කාර්ය බලකා කණ්ඩායම් සමඟ අධි පීඩන ජල ප්‍රහාරක රථ දෙකක් ද කැඳවා තිබුණි. පස්වරු 6.30ට පමණ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ක්‍රියාත්මක වී ඇමැතිවරයාට ඔවුන්ගේ නිල ඇඳුමක් අන්දවා සේවකයන්ට නොපෙනෙන අයුරෙන් ආයතනයෙන් පිටතට ගෙනගොස් තිබුණි.
අනතුරුව අමාත්‍යවරයා දෙමටගොඩ පොලීසියට බාරදුන් පසු ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකර තිබුණි. වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති ආරක්ෂක අංශයේ සැරයන් කඩුවපිටියගේ අරුණ සිල්වා (4962) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. සිද්ධියේ වැඩිදුර විමර්ශන සඳහා ආයතන පරිශ්‍රයේ තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන විමර්ශනයට ලක්කරමින් තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් මියගිය රංගන පුෂ්පකුමාර විවාහක එක්දරු පියෙකි. ඔහුගේ බිරිය ධනුෂිකා බණ්ඩාරනායක මහත්මිය ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන්නීය.
“මගේ මහත්තයා වැඩ කරන තැන කලබලයක් වෙලා. ඒක මම දන්නේ නෑ. උදේ මට එහෙන් මෙහෙන් කෝල් ආවා. මහත්තයා තුවාල වෙලා ඉස්පිරිතාලේ කීවා. එයා බලන්න යන්න කීවා. පස්සෙ තමයි මෙහෙම අපරාධයක් වෙලා කියලා දැනගත්තේ. මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලයි මම ඉල්ලන්නේ. මේ අපරාධය කරපු සියලුම දෙනා අත්අඩංගුවට ගෙන සාධාරණයක් ඉටුකරන්න කියලයි මම ඉල්ලන්නේ.” යැයි ඇය පැවසුවාය.
මෙම සිදුවීම හේතුවෙන් වැඩ වර්ජනයක් අරඹා තිබූ ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයන් තෙල් බෙදීම නවත්වා තිබුණි. ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව සේවකයන් වර්ජනය අත්හැරීමට කටයුතු කළ අතර රට පුරා ඉන්ධන තෙල්වල තිබූ දිගු පෝලිම් අඩුවී තිබුණේ 30 පස්වරුව වන විටය. වැඩ වර්ජනය අවසන් කළ බවට ඛණිජ තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන්කුමාර මහතා ප්‍රකාශයක් ද නිකුත් කළේය.
ආණ්ඩුවේ අර්බුද හෝ පක්ෂ දේශපාලනයේ ගැටුම් රාජ්‍ය ආයතනවලට හෝ මහජනතාවට පීඩාවක් නොවිය යුතුය. යම් හෙයකින් බල අරගලය මුවාවෙන් හටගත් ගැටුම නිසා අහිංසක ජීවිතයක් ඊට බිලි වී අවසන්ය. තවත් අයෙක් බරපතළ තුවාල ලැබුවේ එම හේතුවටමය. සිදුවීමේ දිග පළල කෙසේ වෙතත් ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ සේවකයාගේ අසරණ දරු පවුල වෙනුවෙන් සාධාරණයක් ඉටු කළ යුතුය.
►සමන්ත ප්‍රදීප් විල්තෙර