අපේ ධීවර කර්මාන්තය ප්‍රශ්න දැලක පැටලී ඇත. වෙනත් රටවල ධීවර යාත්‍රා අපේ මුහුදු සීමාවට ඇතුළු වීම, ධීවරයන්ගේ ආරක්ෂාව, මත්ස්‍ය අපනයනය ආදිය කාලයක් තිස්සේ පවතින ගැටලුය. අලුත්ම ගැටලුව අපේ මුහුදු සම්පත් විනාශ වී යාමයි. ඒ අතරත් ඇතැම් මත්ස්‍ය වර්ග ක්‍රමයෙන් ක්ෂය වී යාම බරපතළම ගැටලුව බවට පත්ව තිබේ. අපේ මුහුදු සීමාවේ බහුලව සිටි ටූනා වර්ගයේ මත්ස්‍යන් මෙලෙස විනාශ වී යාමේ තර්ජනයට මුහුණු පා තිබේ.
මාළු අපනයයේදී කෙළවල්ලා හා කොප්පරාද, කොරල්පර මාළු හැටියට ගරුපා, ගල් කොස්සා, ලවයා ද ප්‍රධාන තැනක් ගනියි. වැඩියෙන්ම අපනයනය වන්නේ කෙළවල්ලා මත්ස්‍යයාය. කෙළවල්ලා මැරීමට අපේ මුහුදේ මරුවල් පන්න ධීවර කර්මාන්තයේ නිරතව ඇති බහුදින යාත්‍රා ගණන දහසකට ආසන්නයි.
මෙම සෑම යාත්‍රාවක්ම මසකට එක්වරක් මුහුදු යන අතර වරකදී එක් යාත්‍රාවක් කෙළවල්ලා මසුන් කිලෝ 1500ක් පමණ නෙළාගනු ලැබේ. වාර්ෂිකව මෙරට බහුදින යාත්‍රා මගින් නෙළාගන්නා ලද කෙළවල්ලා මත්ස්‍ය අස්වැන්න කිලෝ දාහත්ලක්ෂයකට ආසන්නය. එම අස්වැන්නේ දේශීය පරිභෝජනය 20%ටත් ඉතිරි 80% අපනයනයටත් යොදාගනු ලැබේ. එයින් වැඩි ප්‍රමාණයක් අපනයනය කෙරෙන්නේ යුරෝපීය රටවලටය. ඒ තුළින් මෙරටට ගලා එන විදේශීය ආදායම වාර්ෂිකව ඩොලර් මිලියන 22කට වැඩිය. මේ ආදායම් තත්ත්වය දැනට වසරකට ඉහතදී අප ලද ආදායමයි. ඒත් අද වෙද්දී දේශීය වෙළඳපොළට ප්‍රමාණවත් කෙලවල්ලන් සපයා ගැනීමත් අපහසුය. ඒ තරමටම කෙලවල්ලන් විනාශ වී ඇත. තහනම් ආම්පන්න භාවිතය, චීනෙට අයත් මහා පරිමාණ යාත්‍රා මෙරට මුහුදු තීරයේ මසුන් මැරීමට අවසර දීම, ප්‍රජනන කාලය තුළදීත් මසුන් මැරීම, මත්සයාගේ ප්‍රමාණය නොසලකා ඇල්ලීම මෙලෙස කෙළවල්ලා විනාශවීමට හේතු වී ඇත. එම නිසා කෙළවල්ලා ඇතුළු වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින මසුන් මැරීම තහනම් කිරීම හෝ, ඔවුන්ගේ ප්‍රජනන කාලවලදී මැරීම තහනම් කිරීම සුදුසුය. එය ධීවරයාට අපහසුවක් වුවද ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමට ගන්නා වැදගත් තීන්දුවකි.
කෙළවල්ලාට අමතරව ගිරව් මත්ස්‍ය වර්ගයත් විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇත. නොගැඹුරු වෙරළ තීරයේ ජීවත්වෙන ගිරව් මත්සයා කොරල් පර, ගල්පර හා මුහුදු පැලෑටි අතර වෙසෙන අඩි 3-6 දක්වා විශාලව වැඩෙන අලංකාර මත්ස්‍යයෙකි. සංචාරකයන් මෙම මසුන් නැරඹීම සදහා බහුලව අප රටට පැමිණෙන අතර, එම නිසා සංචාරක කර්මාන්තයට විශාල ආකර්ෂණයක් මෙම මසුන්ගෙන් ලැබී තිබේ. ඇතැම් කිමිදුම් කටයුතුවල නිරතවන ධීවරයන් විසින් ගිරව් මත්ස්‍යයා අල්ලා ගනු ලැබේ. ගිරව් මෙරට පරිභෝජනය නොකළත් අපනයනය කරනු ලැබේ.
මෙසේ ගිරව් මසුන් මරා අපනයනය කිරීම සංචාරක කර්මාන්තයට සිදුවන බරපතළ විනාශයකි. එබැවින් කොන්දේසි කිහිපයක් යටතේ මාසයක කාලයක් පමණක් ගිරව් මසුන් ඇල්ලීම සඳහා අවසර ලබාදෙන බව ධීවර කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ධීවරයින් එම කොන්දේසි අනුව කටයුතු නොකරන්නේ නම් ගිරව් මසුන් ඇල්ලීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට පියවර ගන්නා බවද, අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
ගිරව් මත්ස්‍යයා සම්බන්ධයෙන් තවමත් තහනමක් පනවා නැතත් මීවැටි නැමැති ගල්මාළු විශේෂය ඇල්ලීම දැනටමත් තහනම් කර තිබේ. එම මත්ස්‍යයා මැරීමේදී ගල්පර්වත වලට හානි සිදුවේ. එම මත්ස්‍ය වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටීමත් තහනම් කිරීමට හේතු වී ඇත. තවත් මත්ස්‍ය වර්ග ගණනාවක් ප්‍රජනන සමයේ මැරීම තහනම් කර තිබේ. එමෙන්ම මසුන් මැරීමේදී භාවිත කරන තහනම් පන්න ක්‍රමද තහනම් කිරීම ධීවර අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙලෙස අප රටේ ධීවර කර්මාන්තය විනාශ වෙමින් පවතින් ජාතික ධීවර ප්‍රතිපත්තියක් නැතිකම සහ ධීවරයන් නිසි අවබෝධයක් නොමැතිකම නිසාය. එය ධීවරයාගේ ජීවිතය අනතුරක් සේම ධීවර කර්මාන්තයට බලපෑ හැකිය. එබැවින් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවක් පවතී. ධීවර කර්මාන්තය විධිමත් සැලසුමකට අනුව ක්‍රියාත්මක නොවීම සහ දේශපාලන යාන්ත්‍රණය විසින් ශක්‍යතා අධ්‍යනයන් හා ධීවරයන්ගේ අදහස් නොසලකා ගත් තීරණ හේතුවෙන් ධීවර කර්මාන්තය විනාශ වෙමින් පවතින බව ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍යවර දිලිප් වෙදආරච්චි මහතා පෙන්වා දෙයි. ධීවර කර්මාන්තය නැවත නගා සිටුවීම තිබෙන හොඳම විසඳුම නම් නිල් ආර්ථිකය බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඕස්ට්‍රේලියාව සාගර සම්පත නිසි අයුරින් කළමනාකරණය කරන ධීවර කර්මාන්තයෙන් ඉහළ ආදායමක් ලබන රටකි. නිල් ආර්ථිකය නමින් අලුත් සැලසුමක් දියත් කර ධීවර කර්මාන්තය මුහුණ පාන ගැටලු විසඳීමට ඒරටට හැකිව තිබේ. නිල් ආර්ථිකය සංකල්පය අපට ආගන්තුක සංකල්පයකි. ගොඩ බිම මෙන් තුන් ගුණයක් විශාල මුහුදු සීමාවක් තිබෙන ශ්‍රී ලංකාව නිල් ආර්ථික සංකල්පය ක්‍රියාවට නැංවීම ධීවරයාට මෙන්ම රටටද වාසිදායක වන බව ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කියයි.
“නිල් ආර්ථික” වැඩපිළිවෙළ තුළින්, බහු කාර්ය ධීවර වරාය ක්‍රමයක් හා ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. පරිසර හිතකාමී ලෙස සාගර සම්පතෙන් උපරිම ආර්ථික උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙම සංකල්පය තුළින් ඉන්ධන හා ගෑස්, පුනර්ජනනීය බලශක්ති, වැලි බොරලු, සාගරීය ඛණිජ, කාබන්ඩයොක්සයිඩ් ගබඩාව, අපද්‍රව්‍ය බැහැර කිරීම ආදියේද මෙම අන්තර්ගත අනු ව්‍යාපෘතින් වේ.
නිල් ආර්ථික සංකල්පය තුළ නුසුදුසු හානිකර පන්න ක්‍රම තහනම් කෙරෙන අතර විකල්පයක් වශයෙන් ධීවරයන්ට නවීන තාක්ෂණයෙන් ලබා දීමටත් පවතින තාක්ෂණය දියුණු කිරීමටත් සැලසුම් කර තිබේ. එහිදී යාත්‍ර නිරීක්ෂණයට අවශ්‍ය දැඩි නීති රාමුවක්ද සැකසිය යුතුය. එය ධීවර යාත්‍රාවල ආරක්ෂාවටද වැදගත් කාරණාවකි. මෙම නීති ලිහිල් කිරීම, ධීවරයන් අපේ මුහුදු සීමාවෙන් පිටට ගිය පසු අත්අඩංගුවට පත්වීම් එසේත් නැතිනම් අතුරුදන්වීම් හෝ අනතුරු සිදුවීම් බහුලව සිදු විය හැකිය. ඒවා වළක්වා ගැනීම සඳහා යෝග්‍යම උපාංග්‍ය ලෙස ලොව පුරා භාවිත වන EPIRB තාක්ෂණය මෙරට ධීවර යාත්‍රවලට හඳුන්වා දීම සුදුසුය.
බහුදින යාත්‍රා ඇතුළු ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නියැලෙන ධීවර කාර්මිකයෝ විශාල ප්‍රමාණයක් මෑත භාගයේ දැඩි අනාරක්ෂිත තත්තවයන්ට හා ආපදාවන්ට මුහුණ දුන්හ. එබැවින් ධීවරයාගේ ආරක්ෂාවට ජීවිත ආරක්ෂක කබා පමණක් ප්‍රමාණවත් නොවේ. මෙවැනි ජීවිත සුරක්ෂිත කරගැනීමේ හදිසි අවස්ථාවන් සඳහා නිල් ආර්ථික සංකල්පය යටතේ සෑම බහුදින යාත්‍රාවකම ජීවිත ආරක්ෂක යාත්‍රා (Life Raft) ස්ථානගත කරනු ලැබේ.
නිල් ආර්ථික සංකල්පයේ වැදගත්ම සැලසුම වන්නේ බහුකාර්ය ධීවර වරායයි. බහුකාර්ය ධීවර වරායක විශාල යාත්‍රා නැවැත්වීමේ පහසුකම්, ශීතාගාර පහසුකම්, අයිස් යන්ත්‍රාගාර, මත්ස්‍ය අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා වන නව යාන්ත්‍රික පහසුකම්, සංචාරක යාත්‍රා මෙන්ම කුඩා ප්‍රමායේ වෙළෙඳ නැව් නැවැත්වීමේ පහසුකම්, මුහුදු ගුවන් යානා නැවැත්වීමේ පහසුකම්, සහ අවන්හල්, කුඩා හෝටල් සංකීර්ණ, ධීවර නිවාස, ප්‍රජාශාලා, අධ්‍යාපනික ආයතන යනාදි සියලුම අංගෝපාංගයන්ගෙන් සමන්විතය. මීට අමතරව නිල් ආර්ථික සංකල්පය යටතේ දැනට පවතින අකාර්යක්ෂම සහ වියදම් අධික ශීතාගාර පද්ධති වෙනුවට කුඩා ශීතාගාර නිර්මාණයට ද අවධානය යොමු කරනු ලැබේ. එමෙන්ම විසිතුරැ මසුන් අපනයනය හා විසිතුරු මසුන් ප්‍රදර්ශනය, කොරල්පර ආරක්ෂණය, සාගර පැලෑටි වැවීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරනු ලැබේ.
නැවතත් යුරෝපයට මත්ස්‍ය අපනයන සහනය ලැබීමෙන් පසු සාර්ථක ප්‍රතිලාභ ලබා ගැනීමට සාගර සම්පත් නිසි කළමණාකාරීවය වැදගත්ය. නිල් ආර්ථික සංකල්පය අප රටේ ධීවර කර්මාන්තය හා ධීවරයන් මුහුණපාන ගැටලු රැසකට විසඳුමක් වන අතර ධීවර කර්මානයේ තිරසාර සංවර්ධනය වැදගත් කාරණාවකි.
♦ සකීෆ් සාම් තන්වීරි