2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

හිතනවාට වඩා හුඟාක් ගුණ බෙල් පෙපර්

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 713

පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විත වූ බෙල්පෙපර්වල උද්භිත නාමය ලෙස හඳුන්වනු ලබන්නේ කැප්සියම් ඇනුම් (Capsicum annum) යනුවෙනි. මෙය බොහෝ රෝග වැළැක්වීමට උදව් කරන පෝෂ්‍ය පදාර්ථවලින් සමන්විත වූ ආහාරයකි. 

බෙල්පෙපර් රතු, කොළ සහ කහ පාටවලින් සමන්විත වේ. මෙම පාට අනුව බෙල්පෙපර්වල පෝෂ්‍ය ගුණයේද යම් වෙනස්කම් පෙන්නුම් කරයි. නමුත් පොදුවේ ගත් කල මෙම සෑම වර්ණයකින්ම යුත් බෙල්පෙපර්වල කාබෝහයිඩ්‍රේට් සහ ජලය අඩංගු වේ.

මීට අමතරව බෙල්පෙපර් ග්‍රෑම් සීයක කෙඳි ග්‍රෑම් 2.1ක්, සම්පූර්ණ මේදය ග්‍රෑම් 30ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 99ක් සහ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 6.3ක් අඩංගු වේ.

විටමින් සී බෙල්පෙපර්වල අඩංගුව පවතී. අඩු කැලරි හා අඩු මේදය පැවතීමෙන් රෝග වළක්වන, නිරෝගි බව ඇතිකරන විටමින් ඛණිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වේ.

බෙල්පෙපර්වල ෆේලේට් මයික්‍රෝ ග්‍රෑම් 46ක්ද අඩංගු වේ. විටමින් ඊ සහ විටමින් කේ සැලකිය යුතු ප්‍රමාණයක් බෙල්පෙපර්වල අඩංගු වේ. මීට අමතරව පොටෑසියම්, කොපර්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, සෙලනියම් සහ සින්ක් වැනි ශරීරයට අත්‍යවශ්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය බොහොමයක්ද මෙහි අන්තර්ගතව පවතී.

මෙහි පවතින එක්තරා ඇල්කොලොයිඩ් (කැප්සසීන්) නිසා බැක්ටීරියා නාශක ගුණය සහ වේදනා නාශක ගුණය ලබාදේ. කැරොටීන්, නියුසීන්, විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක නිසා නිදහස් මුක්ත බන්ධන මගින් සිරැරට ඇතිවන හානිය වළකාලයි.

බෙල්පෙපර්වල පවතින පෝෂ්‍ය ගුණයත් එහි අඩංගු විටමින් ප්‍රමාණය අධික නිසාත් අමුවෙන් ආහාරයට ගැනීම ඉතා සුදුසු වේ. පිසගන්නවා නම් පෝෂණය වැඩිකරගැනීමට අඩු උෂ්ණත්වයෙන් කෙටි කාලයක් තුළදී පිසගත යුතුය.

මෙහි පවතින සල්ෆර් නිසා පිළිකා රෝග ඇතිවීම වළක්වාගැනීමට උදව් කෙරේ. හිසකෙස් සහ සම ආරක්ෂා කිරීමට බෙල්පෙපර්වල පවතින පෝෂණය මනා පිටුවහලක් වේ. විටමින් බී6 නිසා ස්නායු පද්ධතියද ආරක්ෂා වේ. ශරීරයට යකඩ උරාගැනීම පහසු කරයි. හදවත් රෝග වළකාලයි. අධික තරබාරැව ඇතිවිට බෙල්පෙපර් ආහාරයට ගැනීමෙන් පෝෂ්‍ය පදාර්ථ අඩු නොකරම සිරැරේ බර අඩුකිරීමට උදව් කෙරේ.

පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැළැක්වීමටත් බෙල් පෙපර් උදව් වේ. බොහෝ දෙනා නොදැන සිටියද බෙල්පෙපර් යනු ඉතා ගුණදායක ආහාරයකි.