මග සලකුණු ඔස්සේ ගිය පා ගමනක් ගවේෂණාත්මක චාරිකා කෘතිය පසුගියදා නිකුත් කෙරිණි. එය මරදාන සූරිය ප්‍රකාශනයකි. කරුණාදාස සූරියආරච්චි, තිස්ස විරසේකර සහ චන්ද්‍රසිරි කටුදෙනිය යන පුවත්පත් කලාවේදීන් තිදෙනා 1991 දී බදුල්ලේ සිට මහනුවර දක්වා පා ගමනින් යන්නේ පුරාණ වන්දනා මාර්ගයක් ඔස්සේය. ඔවුන්ට ඒ සඳහා මඟ පෙන්වන්නේ මඟ සලකුණ නම් කාව්‍ය කෘතියයි.
“බදුල්ලේ මුතියංගනයේ සිට සෙංකඩගල නුවර වැඩ සිටි දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන කෙනකුට මඟපෙන්වීම සඳහා රචනා වූ කෘතියක් ලෙස මඟ සලකුණ කෘතිය හැඳින්වෙයි. මෙම කෘතිය සිංහල පාඨකයාට හඳුන්වාදමේ ගෞරවය හිමිවිය යුත්තේ ගරැ එඩ්මන් පීරිස් රදගුරුතුමාටය. එතුමාගේ අදහස අනුව මඟ සලකුණු රචනා වී ඇත්තේ ක්‍රි.ව. 1612-1629 අතර කාලයේදීය. (මඟ සලකුණු ඔස්සේ - පෙරවදන)
මහනුවර යුගයට අයත් ඓතිහාසික කෘතියක් අනුව ගිය ඓතිහාසික චාරිකාවක් ලෙස හැඳින්විය හැකි පා ගමනක තොරතුරු එකල දිවයින පුවත්පතේ පළවූ ලිපිපෙළ ඇසුරින් සංස්කරණය වී පොතක් ලෙස නිකුත් වී තිබේ.
බදුල්ල මුතියංගන වෙහෙර වැඳ පුදාගෙන පිටත් වන ගවේෂකයන් පළමු දින රාත්‍රිය ගතකරන්නේ කොහොවිලකඳුර නම් ස්ථානයේය. දැන් ඒ ගම කොහොල වී ඇත. එලෙස විහාරස්ථානවල නවතිමින් දුෂ්කර කඳු තරණය කරමින් ගමන් ගන්නා ඔවුන්ගේ අත්දැකීම් පාඨක සිත් තුළ කුතුහලය දනවන ඇසුරින් ඉදිරිපත් කර තිබේ. විටෙක එය නවකතාවක් මෙන් රසවත්ය. විටෙක ආරක්ෂක අංශවල මෙන්ම ගැමියන්ගේ ද සැකයට පාත්‍ර වන ගවේෂකයන් ඒ කඩයිම් ජයගැනීමද අපූරුවට විස්තර කර තිබේ. ගැමියන්ගේ හා භික්ෂූන් වහන්සේගේ ආගන්තුක සත්කාරය ද ඔවුනට නොඅඩුව ලැබේ. සෑම පරිච්ඡේදයක් ආරම්භ කිරීමට පෙර මඟ සලකුණු පොතේ කවි සහ අර්ථ යෙදීම ද පාඨකයාට වැඩි වින්දනයක් ලබාදීමට ඉවහල් වේ.
ගැමියන්ගෙන් සහ සංඝ පීතෘවරයාණන් වහන්සේ වෙතින් ලද සංග්‍රහ සත්කාර හැඟීම්බර ඇසුරින් විස්තර කෙරේ. “උන්වහන්සේ අපේ උරහිස්වලට තට්ටු කරලා අපිට සමුදීලා ආපසු හැරුණා. අපි එතන රැඳිලා ඒ කාරුණික යතිවරයාණන් වහන්සේ නොපෙනී යනතුරුම බලාසිටියා. අපේ සිත් සතන්වල මොකක්දෝ දුකක් ඉතිරිවෙලා වගේ. (37 පිට)
මඟ සලකුණු පොත සංදේශ කාව්‍යයක් වැන්න. එහි මගියාට මඟ සලකුණු බලා දෙන්නේ සියවස් කිහිපයකට එපිට පැවති භූමි ලක්ෂණ අනුවය. අද ඒ වනාන්තර බිම් වැනසී තේ වගාවට යටවී ඇත. විටෙක ගවේශකයෝ මඟ සලකුණු දැකගත නොහැකිව අතරමං වෙති. තවත් විටෙක හදිසි ආබාධවලට ලක්වෙති. ඒ සියලුම අත්දැකීම් කෘතියේ රසවත් භාවය ඔප්නැංවීමට යොදාගෙන තිබේ. මේ අතර නගරයේදී දැකගත නොහැකි මානුෂිකත්වය ඔවුහු දැක ගනිති. “වයසක ආච්චි කෙනෙක් (ලොරියෙන්) බිමට බැස්සේ තරුණයකුගේ අත් දෙකේ ශක්තියෙන්. ඔහු ආච්චි වඩාගෙන බිම තිබ්බා. එක අතකට හරිම දුෂ්කර ගමනක්. ඒත් ලොරියේ ආපු ඔක්කොම නෑදෑ පිරිසක් වගේ සහයෝගය, ඒක තමයි මේ පා ගමනෙදි ඈත ගම්වලදී අපි දැක්ක සැබෑ මිනිස්කම. (50 පිට) පොතේ දෙවැනි කොටස ඓතිහාසික ස්ථාන විස්තර කිරීමට ද තුන්වැනි කොටස් ජනතා ප්‍රශ්න සඳහා ද වෙන්කර තිබේ.
බොහෝ දුෂ්කර චාරිකාවකින් පසු ලියැවෙන ලිපිපෙළ අනවශ්‍ය පරිදි සරල කිරීමට යාම නිසා එම ගම්මානවල ඓතිහාසිකත්වය, පාරිසරික වැදගත්කම ගිලිහී ගොස් ඇති බව පෙනේ. බොහෝ විට මෙම ලේඛකයන් තම අත්දැකීම් වාර්තාගත කිරීමේදී එම චාරිකාවේදී අසා දැනගත් විස්තර පමණක් ඉදිරිපත් කළ බවක් ද දැකගත හැකිය. ඊට අමතරව මේ ගමනේදී හමුවන ස්ථාන පිළිබඳව පෙර ලියූ කෘති පුරාවිද්‍යා වාර්තා ආදිය ද පරිශීලනය කර විස්තර පොතට ඇතුළත් කළේ නම් මෙහි අගය තවත් ඉහළ යනු නිසැකය.
පාඨක