2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

චිත්‍රපටයේ සැබෑ D.S. නැහැ

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 106

ශ්‍රී ලාංකීය දේශපාලනයේ පතාක චරිතයක් වන ඩී.එස්. සේනානායක අප රටට නිදහස ලබාගැනීමට මුල් වූ චරිතයකි. එසේම එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමට මුල් වෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති බවට පත්වූ චරිතයයි. ඔහු එතරම් වැදගත් වුවද ඩී.එස්. ගැන දන්නා බාල හෝ තරුණ පරපුරක් අද නැත. මේ නිසා ඔවුන්ට එම ප්‍රතාපවත් චරිතය ගැන අවබෝධයක් ලබාදීමට මතු නොව සිනමා ප්‍රේක්ෂකයාට වින්දනයක් ලබාදීමද අරමුණු කරගෙන ඩී.එස්. නිදහසේ පියා චිත්‍රපටය නිර්මාණය කර තිබේ.

මෙය ඒ අනුව චරිතාපදාන චිත්‍රපටයකි. ඉන්දියාවේද ප්‍රබල දේශපාලන චරිතයක් වන මහත්මා ගාන්ධිගේ චරිතය වටා රිචඩ් ඇටෙන්බරෝ 1982 දී ගාන්ධි චිත්‍රපටය තැනූ අතර එයට ජාත්‍යන්තර සම්මාන පවා හිමිවිය. ගාන්ධි චරිතය කේන්ද්‍ර කර ගනිමින් Welcome back Mahathma චිත්‍රපටයද නිෂ්පාදනය විය. එය ඒ. බාලක්‍රිෂ්ණන්ගේ අධ්‍යක්ෂණයකි.

ඩී.එස්. චිත්‍රපටය නරඹන විට නම් එය චරිතාපදාන චිත්‍රපටයකට වඩා හුදු වාර්තාමනය චිත්‍රපටයක ලක්ෂණවලින් යුක්ත බවය, අපට පේන්නේ. අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා තෝරාගත් කේන්ද්‍රීය චරිතය සිනමා කෘතියකට කදිමට ගැලපේ. එය පෞරුෂයකින් යුක්ත ජනප්‍රවාද ගෙතුණු ඓතිහාසික කාර්යභාරයක් ඉටුකළ චරිතයකි. එහෙත් ඔහු ඩී.එස්. චරිතයේ ප්‍රබලතා හඳුනාගෙන ඉතිහාසයේ ඔහු ඉටුකළ කාර්යභාරය කෙරෙහි කේන්ද්‍රගත සිනමා නිර්මාණයක් ඉදිරිපත් කළේද යන්න ගැටලුවකි.

දැවැන්ත නිර්මාණයක් බවට ප්‍රචාරය කර ඉදිරිපත් කළද දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් නිදහසේ පියාට හිමි නොවුණේ ඒ නිසාය. ප්‍රේක්ෂකයන් චිත්‍රපට නරඹන්නේ දේශපාලනය හෝ ව්‍යවස්ථාව ගැන දැනුමක් ලබා ගැනීමට නොව මානසික වින්දනයක් සඳහාය. නිදහසේ පියාගෙන් නොලැබෙන්නේද එයමයි.  මේ නිසා චිත්‍රපටය ආරම්භ වී ටික වේලාවකින්ම ප්‍රේක්ෂක අවධානය ඉන් බැහැර වේ. චිත්‍රපටය කදිම නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණද නිසි සංස්කරණයකින් ඔප මට්ටම් කිරීමකින් තොර තිර නාටකය නිසා එයට සිදුව ඇත්තේ විශාල හානියකි. මේ නිසා විටින් විට මතුවන ප්‍රබලතා පවා යටගොස් වාර්තාමය ස්වරූපයක් ඉස්මතු වේ. ඩී.එස්. චරිතය වටා ගෙතුණු ප්‍රවාද රැසක් පවතින අතර කෘතියේ නාට්‍යමය ස්වරෑපය ඉස්මතු කිරීමට ඒවා යොදාග හැකිව තිබුණි. නමුත් අධ්‍යක්ෂවරයා ඒ අතරින් භාවිතා කර ඇත්තේ ඉංග්‍රීසි කතා කරන කුඹුරැ වැඩ කරන ගොවියා පිළිබඳ කතාව පමණි.

චිත්‍රපටය ආරම්භ වන්නේ අගමැති ඩී.එස්. අශ්වයා පිටින් මුහුදු වෙරළේ යන දර්ශනයකිනි. අලුවිහාරේ සහ ජී.ජී. පොන්නම්බලම් සමඟ ඔහු අසු පදවමින් යයි. එය සිනමාරෑපීව ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා සමත් වේ. හදිසියේම අගමැතිවරයා අසු පිටින් ඇද වැටේ. එවිටම රූප රාමුව ඡේදනය වන්නේ තරුණ ඩී.එස්. මල්ලවපොර තරගයකදී ඇද වැටෙන දර්ශනයකටයි. ප්‍රේක්ෂක කුතුහලය රඳවා ගනිමින් ගලායාමට එම මුල් අවස්ථාව සමත්ය.

වැඩිමල් සොයුරා වන එෆ්.ආර්. සේනානායකගේ මංගල උත්සවයේදී තරුණ ඩී.එස්. කෙරෙහි තරැණියන් වහ වැටේ. ඩී.එස්. ද ඔවුන් දෙස ඉඳහිට බලමින් හී සර විදීමට උත්සාහ කරයි. චරිතයේ දඩබ්බර බව, ප්‍රේමාන්විත බව, කඩවසම් ස්වභාවය එම රූප රාමුවලින් අප සිත්වලට කාන්දු වේ. නමුත් සමකාලීන දේශපාලන සිදුවීම් දැක්වීමේදී මේ ගලායාමට බාධා එල්ල වේ.

සිංහල මුස්ලිම් අරගලය, මැතිවරණ ව්‍යාපාරයට පවත්වන දේශපාලන රැස්වීම් ආදිය නිරුපණයේදී දක්නට ලැබෙන්නේ ඇල්මැරැණු ස්වභාවයකි. ඒවායේ කලා අධ්‍යක්ෂණය මෙන්ම රෑප රචනයද දුර්වලය. සෙනඟ හිටගෙන ඔහේ ඩී.එස්.ගේ කතාව අහගෙන සිටිනවා මිස සර්වජන ඡන්දබලය ලැබීම ගැන උනන්දුවක් දක්වන බවක් නිරෑපණය නොවේ. අධ්‍යක්ෂවරයාට සමකාලීන ගැමි සමාජය හරහා ඩී.එස්. චරිතය නිරූපණය කිරීමට අවස්ථාව තිබුණි. කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස ඔහු කළ ගොවි ජනපද ව්‍යාපාරය අදටත් දුරබැහැර ප්‍රදේශවල ඇගැයීමට ලක්වේ. ඒ පිළිබඳ ප්‍රබල ඉදිරිපත් කිරීමක් දක්නට නොලැබේ.

පියාගේ මිනිරන් ව්‍යාපාරය බාරදෙන්නේ තරුණ ඩී.එස්.ටය. ඔහු තමා මිනින්දෝරුවකු ලෙස කළ රැකියාවෙන් ඉවත්වන්නේ ආයතන ප්‍රධානියා වන ඉංග්‍රීසි ජාතිකයා කරන නොපනත්කම් ඉවසිය නොහැකිව බැණ වැදීමෙනි. ඩී.එස්. චරිතයේ අසාධාරණයට එරෙහිව සටන් කිරීමේ ගුණය ප්‍රේක්ෂකයාට පෙන්වීමට එම රූපරාමු ඉවහල් වේ. ඔහු පියාගෙන් බෝගල පතලේ පාලනය බාරගෙන එහි කම්කරුවන් අතර ජනප්‍රිය වේ. ඉඳහිට කාන්තාවකට ඉඟිබිඟි පායි. පතලේ ලාභයද ඉහළ යයි. පොදු ජනතාව අතර ස්ථාපිත වෙමින් ඔවුන්ගේ හැඟීම් අතරට කිමිදීමේ ගුණය මෙම රෑපරාමු හරහා මතුවේ.

ඒ අතර චිත්‍රපටය මැදදී ඩී.එස්. අසු පිටින් ඇද වැටී රෝගී වී රෝහල්ගත කිරීම, වෛද්‍යවරු ඔහුගේ ජීවිතය බේරාගැනීමට සටන් කිරීම හා ඔහුගේ හදිසි මරණය දැක්වේ. ඊට පසු පරිණත ඩී.එස්. දේශපාලන සටනේදී නිරතවන ආකාරය, දේශපාලන සාකච්ඡා, මැතිවරණ ව්‍යාපාරය ආදිය නිරූපණය වේ. ඩී.එස්. සේනානායක, ජී.ජී. පොන්නම්බලම්, ඇෆ්.ආර්. සේනානායක, ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක වැනි දේශපාලන නායකයන්  සමඟ ඔහු කරන දීර්ඝ සංවාද නිසා චිත්‍රපටය දේශපාලන කතිකාවතක් බවට පත්වේ. ප්‍රේක්ෂකයාට එය නැරඹීම නීරස වේ.

ඩී,එස්. චරිතයේ වඩාත් ආකර්ෂණීය ගුණාංග සැඟව පවතින්නේ ගොවි ජනපද ව්‍යාපාරය හරහා කෘෂිකර්මය දියුණු කිරීමට ඔහු ගත් ක්‍රියාමාර්ගය අතරේය. හේනක් කෙටීම. කුඹුරැ යායක දර්ශනයක් පෙන්වීම වැනි සරල රෑපරාමුවකින් එම කාර්යභාරය නිරෑපණය කිරීම අපහසුය. අධ්‍යක්ෂවරයා එය පසෙක තබා හෙන්රි ප්‍රේද්‍රිස්ගේ රට වෙනුවෙන් දිවි පිදීම නිරෑපණයට වැඩි අවධානයක් යොමු කර ඇත.

මෙහි ඇති චරිත අතරින් ඩී.එස්.ගේ තරුණ විය තුමිඳු දොඩන්තැන්නත් පරිණත අවධිය ලක්ෂ්මන් මෙන්ඩිසුත් අපූරුවට නිරූපණය කරති. ඔවුන්ගේ රූපකාය ද චරිතය හා සැසඳේ. දේශපාලන රුස්වීම් නිරූපණය කිරීමේදී කලා අධ්‍යක්ෂණය දුර්වලත්වයක් පෙන්නුම් කළද බන්ධනාගාර ඇතුළත දර්ශන නිරෑපණය ඉහළ මට්ටමක පවතී. සංස්කරණය මගින් තවදුරටත් මෙම කෘතියට ආලෝකයක් ලබාගත හැකිව තිබුණි. සංගීතය ද ඩී.එස්. චරිතයේ ප්‍රතාපවත් බව පෙන්වීමට හෝ ලබාගත් නිදහසේ ආලෝකය මතු කිරීමට හෝ ඉවහල් වන බවක් නොපෙනේ. ඩී.එස්. චිත්‍රපටය නිර්මාණයට සේම තිරනාටකය සංස්කරණය කර චරිතයේ ප්‍රබලතාව සාදාගත යුතුව තිබුණි. එසේ වූවා නම් මෙයටත් වඩා ප්‍රබල ඩී.එස්. කෙනෙක් අපට දැකගත හැකිවීමට තිබුණි.

 කුසුම්සිරි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00