2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

අල්ලසට ලොල් වී සොහොනක පවු ගෙවනවා

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

 

ඔහු නමින් රණවීර ආරච්චිගේ දොන් ඩේවිඩ්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස රැකියාව කොට ඇති ඔහුට රැකියාව අහිමි වී ඇත්තේ රුපියල් 300ක මුදලක් අල්ලස් ගැනීමේ චෝදනාවට වරදකරු වීමෙනි. උපන් ගම වන මාතර, හංවැල්ල ප‍්‍රදේශයේ සේවයේ යෙදී සිටියදී මස් කඩ හිමියෙක් වෙතින් මෙසේ මුදල් අල්ලසක් ගෙන තිබේ. ඒ පවට මේ මොහොත වනතුරුත් පාළු සොහොන් ගෙයකට වී වන්දි ගෙවන්නට ඔහුට සිදුව ඇත. වයස පිළිබඳව නිසි නිච්චියක් දැන් ඔහුට නැත. ආසන්න වශයෙන් අවුරුදු හැත්තෑහයක් පමණ විය හැකි බව ඔහු පැවසීය.

ජීවිතය මේයැයි හඟවන තරමට ඔහුගේ කතාව අනුවේදනීය වේ. විවාහයක් වී දරු සුරතල් බැලීමට තරම් වාසනාවන්ත වී නැති ඩේවිඩ් මහතා රැකියාව අහිමි වීමෙන් පසුව නෑ හිතවතුන්ද අතැර දමා රට හැමතැන ගොස් ඇත්තේ අපමණ සිත් තැවුලෙනි. මේ කෘශ, වයෝවෘද්ධ, අහිංසක පෙනුමෙන් යුතු මිනිසා පවසන පරිදි මෙසේ ගිය ගමනේ දී අනුරාධපුරය සහ අලව්ව ප‍්‍රදේශවල පිරිවෙණ් දෙකක ඉගැන්වීමේ කටයුතුවල නියැලී ඇත. ඒ පිළිබඳව ඔහු කීයේ මෙවැන්නකි.
මගේ අමාරුකම කිව්වහම මට උගන්නන්න දුන්නා. අල්ලස් චෝදනාවට වැරදිකාරයා වෙලා හිටපු නිසා රජයෙන් පඩියක් හම්බවුණේ නෑ. හාමුදුරුවෝ අනුකම්පා කරලා සල්ලි එකතු කරලා තමයි මට පඩියක් හැටියට දුන්නේ. මං අනුරාධපුරයේ පිරිවෙණක ඉගෙන්නුවා. පස්සේ අලව්වේ පිරිවෙණක ඉගෙන්නුවා. ඇස් පෙනීම අඩුවුණාට පස්සේ අවසානේ මෙතැනට ආවා.

දැන් වසර විස්සකට ආසන්න කාලයක සිට ඔහුගේ නවාතැන වී ඇත්තේ ගලේවෙල - කලාවැව ප‍්‍රධාන මාර්ගයේ හමුවන බේලියකන්ද ගම්මැද්දේ පිහිටි පාලු සුසාන භූමියකි. එහි පිහිටි සොහොන් ගෙයට වී කවරෙකු හෝ ගෙනවිත් දෙන යමකින් පණ ගැටගහගන්නා ඔහුට ගෙවීගිය ඊයේ දවසත්, උදාවන හෙට දවසත් ඔහුට එකක්ම වී ඇත. එකම අපේක්ෂාව කුමන මොහොතක හෝ පැමිණිය හැකි මරණය පමණක්ම වී ඇත. 

මට දුකක් නෑ. මට වඩා උසස් විදිහට හිටපු සමහර මිනිස්සුත් හිඟමනට වැටිලා මැරිලා යනවා. මේ තමයි අපි කරපු පිං පව්. මම මේ සොහොනට ඇවිල්ලා දැන් අවුරුදු විස්සක් වෙනවා. මගේ කියලා කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ. මම හොයන්න ගියෙත් නෑ. මැරෙනකන්ම මේ සොහොනෙම ඉන්නවා. රස්සාව කරගෙන හොඳට ඉන්න තිබුණත් කරුමය ඒකට ඉඩදුන් නෑ. මම අතින් වෙච්ච වැරුද්ද ගැන මට තියෙන්නේ ලොකු පසුතැවිල්ලක්. ඒත් දැන් ඒ ගැන මම හිතන්නේ නෑ. මම කරපු වැරුද්දට අද මේ විඳවන්නේ. අල්ලස් ගන්න නෙමෙයි, ඒ ගැන හිතන්නවත් එපා කියලා මම ඉල්ලන්නේ.

බැස යන මළහිරු රැස වෙත නෙත් දල්වා ඔහු පැවසීය. උණුසුමත් සිසිලසත් එකලෙස දැනෙන බිත්ති පිපිරී ගිය සොහොන් ගෙය පසෙක ඔහුගේ ඇඳුම් කිහිපයකි. ජීවිතය මහා පුදුමයක් නොවේදැයි මම මෙනෙහි කළෙමි. ඉංග‍්‍රීසි භාෂාවද හොඳින් හැසිරවිය හැකි, එවක මෙරට පැවති අධ්‍යාපන ක‍්‍රමයට අනුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් මෙපිට ලැබිය හැකි ඉහළම අධ්‍යාපන සුදුසුකමද සපුරා ඇති ඩේවිඩ් මහතාට තවකෙකුට අත පාමින් ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නට සිදුව ඇත. මෙහි ගැමියන් මෙන්ම ඉඳහිට එන සමහරෙකු කන්නට යමක්, අඳින්නට ඇඳුමක් හෙම දෙන බව ඔහු කීය.  

කවුරු හරි ඥාති වෙන කෙනෙක් හොයාගෙන ආවොත් යනවද? මා ඇසීමි.

එහෙම එන්න කෙනෙක් දැන් නෑ. මම හිතන්නෑ කාටවත් මාව අඳුරගන්ඩ පුළුවන් වෙයි කියලා ඔහු කීය.

පෝයට සිල් ගන්න පන්සල් යනවද?

නෑ සිල් ගණ්ඩ ඇඳුම් නෑ. මම ඒ ගැන හිතුවේ නෑ.

ඇයි කසාද බැන්දේ නැත්තේ.

මට ඒ කාලේ එහෙම වුවමනාවක් තිබුණේ නෑ.

මේ කුමක් ඇසුවද ඔහුට ඉන් ඇතිවන සුගතියක් නැති වග පැහැදිලිය. තව කී දවසක් ඔහු ජීවත්වේදැයි කිව නොහැකිය. එය කී දවසක් වුවත් ඔහුගේ අවසානය මේ පාළු සොහොන් ගෙය තුළම සිදුවීමට ඉඩහැරිය යුතුද යන්න මම මා වෙතින්ම ඇසිමි. ඔහුට යම් වැඩිහිටි නිවාසයක හෝ පන්සලක, පල්ලියක හෝ රැකවරණය සලසාදීමට කිසිවෙකුත් මෙතෙක් ඉදිරිපත් නොවුණේ ඇයිද යන්න පහසුවෙන් වටහාගත නොහැක්කකි.

ෙනාඒෙස් නම් මිනිසුන් සමග ෙගවන ජීවිතයකට වඩා මළවුන් සමඟ ෙගවනා නිස්කාසුෙවන් පිරි ජීවිතය වඩා ෙයහෙකැයි ඔහුට සිතුණාවත්ද? ෙකසේවතුදු වරදට දඬුවම් නීතියෙන් නැතත් සොබාදහමෙන් නිශ්චිතවග පසක් කරන්නටද ඔහුගේ ඉරණම සක්සුදක් සදිසි නිදසුනකි.

සටහන  හා සේයාරූ - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග