අද දවසේ ලාංකීය දේශපාලනයේ ප්‍රමුඛම ගැටලුව නම් පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ කාහටද යන්නයි. බහුතරය ලබාගෙන ඉදිරියේදී මෙරට ආණ්ඩුව කරන්නේ කවුරුන්ද යන කුහුල සැම සිත් තුළ ජනිතව තිබේ. නොදුරේදීම පාර්ලිමේන්තුව රැස්වනු ඇත. එදිනට කුමක් සිදුවනු ඇද්දැයි මුළු රටම දෑස් දල්වා බලා සිටියි. සිදු වූ දෙය සහ සිදුවන්නට යන දෙය පිළිබඳව පුළුල් අවබෝධයක් ඔබට ලබාදීමට අපි අදහස් කළෙමු. ඒ සඳහා නීති විශාරදයන් දෙපළක් සමඟ අප සිදු කළ එම සංවාද සටහනයි මේ.
කතානායක නැති බලයක් ආරූඪ කරගෙන
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා
“මේ මොහොතේ තීව්‍ර වෙමින් ඇති පාර්ලිමේන්තු බහුතරය පිළිබඳව ගැටලුව ආරම්භ වූයේ 2015 වර්ෂයේ අගෝස්තු මහ මැතිවරණයෙන් පසුවය. එම මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට 113 පාර්ලිමේන්තු බහුතරයක් නොලැබුණි. එම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස තම ලේකම් වරයා මඟින් සිය සන්ධානයේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන බව දන්වනු ලැබීය. ඒ අනුව එදා ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය බහුතරය නිර්මාණය විය. 2015 වසරේ සැප්තැම්බරයේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය වන්නේ එලෙසිණි. එදා එසේ යෝජනා ස්ථීරත්වයෙන් නිර්මාණය වූ ජාතික ආණ්ඩුව දැන් කඩා වැටී ඇත. ඊට හේතුව වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණයයි.
අද වන විට කිසිදු ප්‍රධාන පක්ෂයකට පාර්ලිමේන්තු තුළ බහුතරයක් නොමැති තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ජාතික ආණ්ඩුව බිඳවැටීම හේතුවෙන් කැබිනට් මණ්ඩලය ද අහෝසි වී ගියේය. මේ සියල්ල මත පදනම් වෙමින් ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරන ලදී. ආණ්ඩුව කිරීමට අවශ්‍ය බහුතරයක් නිර්මාණය කරගැනීමට මේ වනවිට දෙපාර්ශවය උත්සාහ දරමින් සිටිති. මන්දයත් විපක්ෂයේ සිටින බලවේග වන ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය ආදී පක්ෂ ආණ්ඩුව කරන පාර්ශවයට එක් නොවී විපක්ෂයේ සිට සහය දීමක් සිදුවුව ද ආණ්ඩුව පවත්වාගෙන යාමට එය ප්‍රමාණයක් නොවේ. පැහැදිලි 113ක පාර්ලිමේන්තු බහුතරය ඒ සඳහා අවශ්‍ය වේ.
වර්තමාන අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය ගෙන ආවහොත් ඊට සහය දීම විපක්ෂයේ සිටින දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් තිබේ. එවන් විශ්වාසභංගයක් හරහා අගමැති පහකිරීමක් සිදු වුව ද නැවත කැබිනට් මණ්ඩලය හා අගමැතිවරයා පත්කිරීමේ බලය පැවරෙන්නේ ජනාධිපතිවරයාටය.
කතානායකවරයා මෙම අර්බුදයේදී නිකුත් කළ ආසන්නම ප්‍රකාශය මීළඟට අවධානය යොමු කරමු. නව රජය පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වන තුරු පාර්ලිමේන්තු තුළ පෙර පැවති තත්ත්වය පිළිගන්නා බව කතානායකවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබේ. මෙතැනදී මතුවන්නේ කතානායකවරයාගේ භූමිකාව පිළිබඳව ගැටලුවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එක එක් එක් බලධාරීන්ට නොයෙක් නොයෙක් භූමිකාවන් පැවරෙයි. කතානායකවරයා වෙත පැවරී ඇත්තේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ එහි මුලසුන දැරීමයි. පාර්ලිමේන්තුව තුළ විනය ආරක්ෂා කරමින්, පාර්ලිමේන්තු කටයුතු සංවිධානය කරමින් ඔහු විනිශ්චයකාරවරයාගේ භූමිකාවට සමාන භූමිකාවක් සිදුකරයි.
ආණ්ඩුව පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔහුගේ කාර්යභාරයට අයත් නැත. ව්‍යවස්ථාවේ ද එවැන්නක් සඳහන් නොවේ. බ්‍රිතාන්‍ය සම්ප්‍රදායකට අනුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කළ පසු පාර්ලිමේන්තුවේ දොරවල් වැසේ. වසා දැමූ දොරවල් පිටුපස සිට කටයුතු කිරීම කතානායකවරයාට හැකියාවක් නැත. ඒ අනුව කතානායකවරයා බලයක් ආරෑඪ කරගනිමින් ක්‍රියාකරයි. එහි බරපතළ තත්ත්වය නම් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් පවතින විට කතානායකවරයාගේ මෙවන් ප්‍රකාශ දෙස ජාත්‍යන්තර අවධානය යොමු වීමය. එය අප රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානි පමුණුවයි. මෙය තවත් සරලව දක්වතොත් විනිශ්චයකාරවරයකුට නඩුව ඇසීමට පෙර මම පිළිගන්නේ මෙම පාර්ශවය පමණක් යැයි කිව නොහැක. පාර්ලිමේන්තුව රැස්වනතුරු හිඳ ඉන් පසුව ස්වාධීනව කටයුතු කිරීම කතානායකවරයාගේ කාර්යභාරය වෙයි.
පවතින බල අර්බුදය විසඳාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට ව්‍යවස්ථා ප්‍රතිපාදන තිබේ. මෙය අප පුළුල්ව සාකච්ඡා කළ යුතු තේමාවකි. මෙම අවස්ථාවේදී ද මතුවන්නේ ජනපති භූමිකාව පිළිබඳව ගැටලුවකි. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ද, ආණ්ඩුවේ නායකයා ද, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ද, සේනාධිනායකයා ද වෙයි. ජේ. ආර්. ජයවර්ධන විසින් නිර්මාණය කළ මෙම ව්‍යවස්ථාවේ බලතල තවම වෙනස් වී නොමැත. ඊට අනුව රටේ යම් අස්ථාවරත්වයක් ඇති වුවහොත් එය පාලනය කොට රටේ ස්ථාවරත්වයක් ඇතිකිරීමේ වගකීම ද බලය ද ඇත්තේ ජනාධිපතිවරයාටය. එදා 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුව පිහිටුවීමට එජාපයට බහුතරය නොමැති වූ විට ජනාධිපතිවරයා සිය සන්ධානයේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙයි. එහි යම් පක්ෂක්ග්‍රාහීත්වයක් තිබුණ ද ජනාධිපතිවරයා සිය භූමිකාව මත පිහිටා රටේ ස්ථාවරත්වය වෙනුවෙන් එම තීරණය ගනු ලැබීය. නැතිනම් බහුතරය නොමැති වීමෙන් 1960දී ඩඩ්ලි සේනානායක මහතා මුහුණ දුන් අකාරයේ අර්බුදයක් රට තුළ නිර්මාණය වීමට ඉඩ තිබිණි.
වර්තමාන අර්බුදය හමුවේ ද ජනාධිපතිවරයාට රට තුළ විශාල අස්ථාවරත්වයක් ඇතිවන බව හැඟී යයි නම් එතුමා සතුව පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය ඇත. වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව පිහිටුවා වසර හතරහමාරක් යන තුරු ජනාධිපතිවරයාට විසුරැවාහැරීමක් සිදු කළ නොහැකිය යන තර්කයක් මතුව තිබේ. එය ද සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයාට මේ මොහොතේ පාර්ලිමේන්තු විසුරැවා හැරීමට හැකියාවක් ඇත්තේ කවර බලයක් ප්‍රකාරව ද යන්න දැන් සොයා බලමු.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු විසුරුවා හැරීම පිළිබඳව සඳහන් වන්නේ 70 වැනි ව්‍යවස්ථාවේය. ඊට අනුව පාර්ලිමේන්තු විසුරැවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් තිබුණි. නමුත් පළමුවැනි අවුරුද්ද තුළ පාර්ලිමේන්තුවේ බහුතරයක කැමැත්ත නොමැතිව විසුරුවා හැරීම සිදුකළ නොහැකි විය. එම බලය පාවිච්චියට ගනිමින් චන්‍ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය 2001 දී පාර්ලිමේන්තු විසුරැවා හැරීමට කටයුතු කර ඇත. 2002 රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට උත්සාහ දරයි. එම යෝජනාවේ හරය බවට පත්වූයේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයක යෝජනා ස්ථීරත්වය ඇති විට පමණක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ හැකියාවක් ඇති කිරීමයි. එදා එම යෝජනාවේ තිබූ වැදගත්කම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් හත් දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයකට එය යොමු කරනු ලැබීය.
එම වකවානුවේ අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ මමයි. එම විනිශ්චය සඳහා සහභාගී වූ විනිශ්චයකාරවරු හත්දෙනාගෙන් තිදෙනෙක් පසුව අග්‍රවිනිශ්චයකාරවරුන් වූහ. ලංකාවේ සිටි අති දක්ෂ නීතිඥවරු මෙම නඩුවට සහභාගී වූහ.
මේ අනුව කියවුණේ විසුරුවා හැරීමේ බලය විධායක බලයක් බවයි. ජනාධිපතිවරයා එම විධායක බලය ක්‍රියාවට නංවයි. ඒ විධායක බලයේ නියම හිමිකරැවන් වන ජනතාවගේ නියෝජනය භාරකරුවා ලෙසිනි. ජනතාව එම විධායක බලය පවරා ඇත්තේ ජනාධිපතිවරයාටය. ජනතාව විසින් ලබා දෙන ලද බලයක් එම තැනැත්තාගෙන් ඉවත් කොට වෙනත් පිරිසක් සතු කරන්නේ නම් එය ජනතා පරමාධිපත්‍යය අන්සතු කිරීමක් බවට පත්වෙයි. උදාහරණයක් ලෙසින් පාර්ලිමේන්තුවට ජනතාව විසින් පවරා ඇති නීති සැකසීමේ ව්‍යවස්ථාදායක බලය ජනාධිපතිවරයාට පැවරීමක් සිදුවුවහොත් එයද ජනතා පරමාධිපත්‍යය අන්සතු කිරීමක් බවට පත්වෙයි. මේ කරුණු අනුව යමින් එදා තීන්දු වූයේ ජනාධිපතිවරයා සතු මෙම බලය ඉවත් කරනවා නම් ජනමත විචාරනයක් හා පාර්ලිමේන්තු තුනෙන් දෙකක බහුතරයක් අත්‍යාවශ්‍ය බවයි. ඒ අනුව එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන එන්නට උත්සාහ කළ ව්‍යවස්ථාව සංශෝධනය මෙම තීන්දු සමඟ අතහැර දැමීමට සිදුවිය.
2015දී සම්මත වූ 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය ගෙන එන විට රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් පෙර 70 වගන්තියට අනුව ජනාධිපතිවරයා පැවරී තිබූ පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය සංශෝධනයට උත්සාහ දරයි. ඒ වසර හතරහමාරක් යන තුරු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් නැතිව විසුරුවා හැරීමට නොහැකි වන ලෙසය. නමුත් මෙතැනදී ව්‍යවස්ථා සංශෝධනය සකස්කලේ කවරෙක් වුව ඔහු පෙර ශේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු පිළිබඳව හොඳින් දැන සිට ඇත. එසේ නම් සිදුකළ වෙනස්කම හරහා මෙම පනත ජනමත විචාරණයකට යොමුවන බව ඔහු දැන සිටියා විය යුතුය. මෙම ගැටලුවට පිළියමක් ලෙස ජනාධිපතිවරයා බලතල පිළිබඳව සඳහන් වන 33 වැනි වගන්තිය ඉවත් කර 33 . 2 ඈ යටතේ නව විධිවිධානයක් ඇතුළත් කර තිබේ. එයින් කියවෙන්නේ "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙන කිසියම් නීතියක ජනාධිපතිවරයා වෙත පවරා ඇති වෙන කිසියම් බලයකට අමතරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු කැඳවීමට සැසිවාරයක් අවසන් කිරීමට හා විසුරුවා හැරීමට බලයක් ඇත්තේය" කියාය.
මෙහිදී කිසිදු සීමා කිරීමක් දක්වා නොමැත. එය පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් හත්දෙනකුගෙන් ලැබුණු අර්ථකථනයට අනුකූල වන පරිදි සකසා තිබේ. අමතර කියා වචනයක් භාවිත කිරීම තුළින් මෙම වගන්තිය 70 වැනි වගන්තිය හා නොබැඳෙන ලෙස දක්වා ඇත. ජනමත විචාරණයකින් ගැලවීමේ උපක්‍රමයක් ලෙස 70 වැනි වගන්තියට අමතර එකතු වූ මෙම විධිවිධාන සම්බන්ධව ඇතැම්විට රනිල් වික්‍රමසිංහ මහතා ද නොදන්නවා විය හැකිය. මෙම නව වගන්තියට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුවා හැරීමට දැන් බලය ලැබී තිබේ.
මීට අමතරව 19 වැනි සංශෝධනයන් වෙනස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 දෙවැනි වගන්තියට ද අවධානය යොමු කිරීම වටී. එහි සඳහන්ව ඇත්තේ “පාර්ලිමේන්තුව ඊට පෙර විසුරුවා හැර නැත්නම් වසර පහක් සම්පූර්ණ වීමෙන් විසිර යන්නේය” යනුවෙනි. එයින් ද පෙර ජනාධිපතිවරයා සතුකර ඇති විසුරුවා හැරීමේ බලය පිළිගෙන තිබේ. 70 වැනි වගන්තිය අපට හමුවන්නේ ඉන් අනතුරුවයි. එය පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය යන පරිච්ඡේද යටතේය. එසේ නම් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයක් ලෙස විසුරුවා හැරීම සිදුකරයි නම් මෙම තුනෙන් දෙකේ බහුතරය අවශ්‍ය වන බව අවබෝධ වේ. ජනාධිපතිවරයාගේ බලතල යටතේ විසුරැවා හැරීම සිදුකරයි නම් එවැන්නක් අවශ්‍ය නොවේ. ඒ පෙර නඩු තීන්දු හා පදනම්ව 19 වැනි සංශෝධනයට ඇතුළත් වූ වගන්තිය හරහාය.
මෙම කතාවේ අවසානය අදියරේදී තවදුරත් පැහැදිලි කළ යුතු යමක් වෙයි. ඇතිවී තිබෙන අස්ථාවර තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු විසුරුවා හැරීම එකම විසඳුම වෙයි. එහි දී අප තවත් වැදගත් යමක් මතු කළ යුතුය. පාර්ලිමේන්තු මැතිවරණ නීතියක් තිබේ. 1983 අංක 01 දරන මැතිවරණ නීතිය පිළිබඳව පනතේ 10 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසිරුවා හැරි විට එම ප්‍රකාශයෙන් දින 14 කට පසු පසුව නාමයෝජනා දිනය ප්‍රකාශයට පත්කළ යුතුය. නාමයෝජනා අවසන් වන දිනයත් ප්‍රකාශය කළ යුතුවන අතර එය දින 7 ක් අතුළත විය යුතුය. මැතිවරණ දිනය ද ප්‍රකාශ කළයුතු වන අතර එය ද අවම වශයෙන් සති තුනක් විය යුතුය. මේ සියල්ල සලකා බලන කළ දින 42 ක් ඇතුළත අලුත් පාර්ලිමේන්තුවක් කැඳවීමේ අවකාශ උදා වේ. ඒ අනුව කටයුතු කරනු ලැබුවහොත් අය වැය ඉදිරිපත් කිරීම ආදී කිසිදු ගැටලුවක් නිර්මාණය නොවේ. නව වසර ආරම්භයේදී ජනතාවට ඡන්දයෙන් කාගේ හෝ ආණ්ඩුවවක් නිර්මාණය කිරීමට හැකියාව උදාවනු ඇත.
ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා
ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ
ඔක්තෝබර් 26 දින පෙරළිය ව්‍යවස්ථානුකූල ද නැද්ද යන්න පිළිබඳ ප්‍රධාන තර්ක දෙකක් තිබේ. එක් පිරිසකට අනුව එය ජනපතිගේ තීන්දුව ව්‍යවස්ථානුකූලය. නමුත් එය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකි. ඒ සඳහා වන හේතූන් මෙසේ පහදා ගනිමු.
පැවතියේ ජාතික ආණ්ඩුවකි. ජාතික ආණ්ඩුවක් නිර්මාණය වන්නේ පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂය තවත් පක්ෂ සමඟ සන්ධාන ගතවීමෙනි. ඒ අනුව ජාතික ආණ්ඩුවකින් එක් පක්ෂයක් ඉවත් වූ විට කැබිනට් මණ්ඩලය විසිර යයි. එහිදී ජනාධිපතිවරයා කළ යුත්තේ නැවත ආණ්ඩුවක් පිහිටවීම පාර්ලිමේන්තු වැඩිම ප්‍රසාදය ඇති මන්ත්‍රීවරයාට ආරාධනා කිරීමයි. එසේ නම් කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුව පිහිටුවීමට අවකාශ සලසාදීමයි. එය ඉතා පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වැනි වගන්තියේ දක්වා ඇත. ඒ අනුව මෙම බලපෙරළිය ඉතා පැහැදිලිව ලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
මෙම බලපෙරළිය ජනමතයක් ඇති හෙයින් සිදුකරනු ලැබුවක් බවද ප්‍රකාශ විය. ජනවරමක් ඇත්තේ නම් ජනතා පරමාධිපත්‍යය ඇති පාර්ලිමේන්තුව රැස්කර එය විමසා බැලිය යුතුය. එහෙත් එය එසේ සිදු නොවීය. ජනවරම උරගා බලන ජන්ද දෙස බැලූවද 2015 ජනවාරියේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නුසුදුස්සකු ලෙස ජනතාව තීරණය කර ඇත. නැවත 2015 අගෝස්තුවේදීද අගමැතිවරයා වීම සඳහා රාජපක්ෂ මහතා ජනවරමක් ඉල්ලා සිටී. එහිදී ඔහු ප්‍රතික්ෂේප විය. ඉහත අවස්ථා ද්විත්වයම සලකන විට පෙනී යන්නේ මෙම බලපෙරළියට තිබෙනවා යැයි කියන ජනවරමද නව ආණ්ඩුවට නොමැති බවයි. ඒ අනුව මෙය ව්‍යවස්ථා විරෝධී ජනවරමක් නැති කටයුත්තකි.
2015 වසරේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කරගන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයත් නීතියේ ස්වාධීනත්වයත් ඇති යහපාලනයක් වෙනුවෙන්ය. ඒ අනුව ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමයි. තවද ඔහු ජනාධිපතිවරණයේ දී රටේ මහජනයා වෙනුවෙන් ඒකාධිපති විධායක බලතල අත්හරින බවට පොරොන්දුවිය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 18 වැනි සංශෝධනය එකතු කරමින් එවක සිටි ජනාධිපති ඒකාධිපති ජනාධිපති ධූරයක් නිර්මාණය කර තිබුණේය. එය කොතරම් බරපතළ වී ද යත් 18 සංශෝධනය හරහා ජනාධිපතිවරයාට ධූරය දැරිය හැක්කේ අවස්ථා දෙකක දී පමණක් යන්න පවා අහෝසි කරනු ලැබීය. ඒ අනුව මේ ජනාධිපතිවරයා පත්වීමේ වගකීම වූයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සහ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමයි. ඒ නමුත් දැන් සිදුවී ඇත්තේ එවැන්නක් නොවේ.
පාර්ලිමේන්තු වාර අවසන් කිරීම සම්බන්ධවද යම් සංවාදයක් ඇතිව තිබේ. ඒ පිළිබඳව යමක්ද සඳහන් කළ යුතුය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට කිසිදු අත්තනෝමතික බලයක් නොමැත. නමුත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට බලයක් තිබේ. මෙහිදී මතුවන ඊළඟ ගැටලුව නම් පාර්ලිමේන්තුවේ වාර අවසන් කළේ ඇයිද යන්නයි. එය ජාතික ආණ්ඩුව විසිරවීම පදනම් කරගෙන සිදුකරනු ලැබූවක් නම් ජනාධිපතිවරයා සිදුකළ යුතුව තිබුණේ නැවත පාර්ලිමේන්තුව කැඳවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කිරීමයි. එහිදී පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාස දිනාගන්නා පුද්ගලයාට අගමැතිකම ලබාදිය යුතුව තිබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වගන්තියේ එය පැහැදිලිව දක්වා තිබේ. මෙයට ද පිරිසක් වැරදි අර්ථකථන ලබාදෙමින් සිටී. ජනාධිපතිවරයාගේ මතය යනු පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා පත්කර ගැනීම වෙයි. මතය යෙදවිය යුත්තේ කුමන ආකාරයකටද යන්න මෙම වගන්තියේ පැහැදිලිව දක්වා තිබේ.
ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා පත්කිරීමට එක් අවස්ථාවක් තිබේ. ඒ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති විටකදීය. පාර්ලිමේන්තු විසුරුවා හැරියද කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වෙයි. එවන් අවස්ථාවක අගමැතිවරයා මියගියහොත් ජනාධිපතිවරයාට අගමැති කවුරුන්ද යන්න තීරණය කිරීමට අවකාශ ලැබේ. මෙම අර්බුදයේ දී සාකච්ඡා කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 වැනි වගන්තියේද අග්‍රාමාත්‍ය ඉවත්වීම සම්බන්ධ සඳහනක් වෙයි. එහිදී ධුරයෙන් ඉවත් කිරීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් යනුවෙන් සඳහන් වෙයි. එය සිංහල පිටපතේ වෙතත් ඉංග්‍රිසි පිටපතේ ධුරයෙන් ඉවත්කිරීම යනුවෙන් සඳහන් නොවේ. තවද සිංහල පිටපතේ ද ධුරයෙන් ඉවත් කරනු ලබන්නේ කුමන අවස්ථාවක දී යන්න දක්වා නැත. ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාස නැති වූ විට ධුරයෙන් ඉවත්කළ හැකි බව කොතැනකවත් සඳහන් නොවේ. ඒ නිසා අපට සිංහල පිටපතේ ඇති කරුණු වැරදීමකින් සටහන්ව ඇති බවට පැහැදිලි මතයකට පැමිණිය හැක. මන්ද ධූරයන් ඉවත් කළ යුතු අවස්ථාවක් දක්වා නැති හෙයිනි.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත පරාජය වූ විට හා විශ්වාසභංගයක් සම්මත වූ විටද අග්‍රාමාත්‍යවරයා නැවත පත්කිරීමට ජනාධිපතිවරයාට අවකාශ සැලසේයි. එසේ වුවද එහිදී සිදුවිය යුත්තේ ද පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාස ඇති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ මතය අනුව අගමැතිවරයා ලෙස පත්කිරීමයි. මේ සියලු අවස්ථාවල ජනාධිපතිවරයා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුල් තැන දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා වන ලෙස කටයුතු කළ යුතුය. මන්දයත් ජනතා පරමාධිපත්‍යය ඇත්තේ පාර්ලිමේන්තුවේය. ඒ අනුව තීරණය ගතයුත්තක් පාර්ලිමේන්තුව හරහාය.
නැවත පාර්ලිමේන්තුව රැස්වන විට කතානායකවරයා පෙර පැවති තත්ත්වය පිළිගන්නා බව ප්‍රකාශ කර තිබේ. මේ පිළිබඳවද විවිධ මත මේ වනවිට පළ වී ඇත. අපි මෙහි පදනම දෙසට අවධානය යොමුකරමු. කතානායකතුමා පාර්ලිමේන්තුවට වගකිව යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයා ව්‍යවස්ථාව පිළිපැදීමට හා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුය. ජනාධිපතිවරයා එසේ නොකරයි නම් දෝෂාභියෝගයක් ගෙන ඒමට එය එක් හේතුවක් ලෙස දැක්වේ. කතානායකවරයාගේ එක් වගකීමක් වන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමයි. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා වන ලෙස කටයුතු කළ යුතුවෙයි.