2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

හුඟ දෙනෙක් නොදන්නා පතෝලවල ගුණ

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 1461

උද්භිද විද්‍යාත්මක නාමයෙන් ට්‍රිකෝ සැන්කස් කුකුමරිනා (Tricho santhes cucumerin) නමින් හැඳින්වෙන පතෝල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාවේද මහඟු ඔසුවක් ලෙස හැඳින්විය හැක.

ශරීරයට අත්‍යාවශ්‍ය ඛනිජ ලවණ, විටමින්, කෙඳි මෙහි අන්තර්ගතව පවතී. වර්තමානයේදී බොහෝ දෙනාට ගැලපෙන කැලරි අඩු ආහාරයක් ලෙසද මෙය හැඳින්විය හැක.

පතෝල ග්‍රෑම් 100ක කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3ක්, කෙඳි ග්‍රෑම් 1ක්, කැල්සියම් මිලිග්‍රෑම් 26ක්, යකඩ මිලිග්‍රෑම් 1ක්, පොස්පරස් මිලිග්‍රෑම් 20ක් හා ජලය ග්‍රෑම් 95ක් අඩංගු වේ. මීට අමතරව මැග්නීසියම්, මැන්ගනීස්, යකඩ, කැල්සියම්, පොටෑසියම්, අයඩින් හා විටමින් A, B, C මෙන්ම තවත් විටමින් වර්ග කිහිපයක් අඩංගු වේ.

මෙය බාල මහලු, කුමන වයසේ පසුවන අයට වුවද ගැලපෙන එළවළුවකි. දියවැඩියාව, හෘදරෝග ඇති අයට ගුණදායක වේ. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වේ. මේ නිසා ශරීරය විවිධ රෝගවලින් ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ.

උණ වැළඳුණු රෝගීන්ට මෙය ඉතා ගුණදායක එළවළුවකි. ආහාරයක් ලෙස පතෝල ගැනීම මෙන්ම පතෝල කොළ තම්බා පානය කිරීමද ඉතා ගුණදායක වේ. රුධිරයේ මෙන්ම ශරීරයේ විවිධ ස්ථානවල තැන්පත් වී ඇති විෂ ඉවත් කිරීමටද උපකාරී වේ.
ආහාර ජීර්ණ ක්‍රියාවලියට උපකාරී වේ. ආහාර ජීර්ණයෙන් පසුව පෝෂක කොටස් උපරිම ලෙස උරාගැනීම සඳහා උපකාරී වේ. පතෝල ග්‍රෑම් 100කින් 95%කම අඩංගුව ඇත්තේ ජලයයි. මේ නිසා ශරීරය විජලනයෙන් ආරක්ෂා කිරීමටත්, ශරීරය තුළ උෂ්ණත්වය අඩුකර ශරීරය සිසිල් කිරීමටත් ගුණදායක එළවළුවක් ලෙස පතෝල හැඳින්විය හැක.

පතෝල මුත්‍රා හොඳින් නිපදවන ආහාරයක් ලෙස ආයුර්වේදයේදී හඳුන්වයි. පතෝලවල ඇති කෙඳි සහ ජලය හොඳින් මළ පිටකිරීමට උදව් වේ. මෙහි අයඩින් ප්‍රමාණයක් පවතින නිසා මස්පිඬු පෙරළීම නැති කරයි. සෙම් රෝගීන්ට පතෝල ගුණදායක වේ. සෙම බුරැල් කර පිටකරයි. සෙම් කොටස්වල ඇති විෂ ද්‍රව්‍යයද ඉවත් කරයි. අලුතින් හිසකෙස් වැඩීමටත්, හිසකෙස් වැටීම නැවැත්වීමටත් උපකාරී වේ. හිස්හොරි සඳහා බාහිර සහ අභ්‍යන්තර ආලේපනයක් ලෙසද පතෝල යොදාගත හැක.

හෘදයාබාධයට හිතකර එළවළුවකි. හෘදයේ අධික රිද්මය වළකාලනු ලබයි. හෘදයේ ඇති වේදනාව දුරුකරයි. රුධිර නාළ විස්තාරණය කර මනා රැධිර ගමනයක් ඇතිකර අධික රුධිර පීඩනය අඩු කරයි. පතෝල ආහාරයට ගැනීමෙන් පසුව රැධිරයට සීනි උරාගැනීම අවම වෙයි. වකුගඩු, අක්මාව, පෙනහළු වැනි අවයවවල පවතින විෂ ඉවත් කරයි. පතෝල සමට ඉතා හිතකරය. ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතය. ප්‍රතිප්‍රදාහ නාශක ගුණය පවතී. මනා ප්‍රතිශක්තියක් සිරුර තුළ ඇතිකරයි.

අර්ශස් රෝගීන්ට ඉතා හිතකර එළවළුවක් වන මෙය බොහෝ රෝග සඳහා ඉතා ගුණදායක එළවළුවක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ.