2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

කැල්සියම් හිඟවුණොත් ප්‍රශ්න ගොඩයි

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 1450

වර්තමානය වනවිට අප රටේ බෝ නොවන ගණයට වැටෙන රෝගවලට ලක්වී ඒ සඳහා නිවැරදි ප්‍රතිකාර ලබාගන්නා පිරිස මෙන්ම නොදැනුවත්කම හේතුවෙන් වෙනත් සංකූලතාවයන්ට ලක්වන පිරිසද එන්න එන්නම වැඩිවෙමින් පවතී.

එසේම විවිධ හෝර්මෝන අසමතුලිකතා මෙන්ම පෝෂණ ඌණතා හේතුවෙන්ද බොහෝ ගැටලුවලට මුහුණපෑමට සිදුවීම බහුලව දකින්නට ලැබේ. මේ තත්ත්වය නිසා නිතර දකින්නට නොලැබුණ බොහෝ සෞඛ්‍ය ගැටලු මතුවීමේ අවදානමක් පවතී. කැල්සියම් ඌණතාවයද එලෙස හිස ඔසවන තත්ත්වයක් බවට පත්ව තිබේ.

අප කවුරුත් දන්නා පරිදි ශරීරයේ අස්ථි වර්ධනයට හා ඒවායේ පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය සංඝටකයක් ලෙස කැල්සියම් හඳුන්වා දිය හැකිය. අස්ථි පමණක් නොව දත්වල ශක්තිමත් භාවය, නිරෝගීභාවයටද කැල්සියම් වැදගත් වේ.

මීට අමතරව කැල්සියම් මඟින් ශරීරයේ සිදුකෙරෙන අනෙකුත් ක්‍රියාකාරීත්වයන් ලෙස වන්නේ ශරීරයේ මාංශ පේශි ක්‍රියාකාරීත්වයට, හෘදය වස්තුවේ මස් පිඬුවල ඇති සියුම් ලේ නහර සංකෝචනය සඳහා, එන්සයිමවල ක්‍රියාකාරීත්වය සඳහා, රුධිරය කැටි ගැසීම සඳහා, තයිරොයිඩ් හෝර්මෝන පාලනය ආදී ඉතා වැදගත් කාර්යයන් රුසකට කැල්සියම් උපකාරී වීමයි. සාමාන්‍යයෙන් දිනකට වැඩිහිටියකුට අවශ්‍යවන කැල්සියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 1000ක් පමණ වන අතර ගැබිණි මවකට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වේ.

අප අවශ්‍ය පරිදි ආහාර ලබාගත්තත් ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු නිසාත් හෝර්මෝන අසමතුලිතතා නිසාත්. විශේෂයෙන් පැරා තයිරොයිඩ් හෝමෝනයේ අසමතුලිතතාවය නිසාත් කැල්සියම් ඌණතාවය මතුවිය හැකිය. එසේම වකුගඩුවල පවතින රෝග නිසාද කැල්සියම් ඌණතා හටගනී. ඇතැම් පුද්ගලයන්ට උපතින්ම ඇතිවන රෝග නිසාද කැල්සියම් නිපදවීම අඩුවන අවස්ථා ඇත.

විශේෂයෙන් කාන්තාවන්ට ආර්තවතාවයේදී ඇතිවන හෝමෝන වෙනස්වීම් නිසාද කැල්සියම් ඌණතා ඇතිවිය හැක. එමෙන්ම අප ගන්නා ඇතැම් ඖෂධ මෙන්ම විටමින් ඌණතාවයන් හේතුවෙන්ද කැල්සියම් අවශෝෂණය අඩුවෙයි.

කැල්සියම් ඌණතාවය නිසා

• ස්නායු ක්‍රියාකාරීත්වයේ දුර්වලතා මතුවීම
• මස්පිඬු ක්‍රියාකාරීත්වයේ දුර්වලතා හා නිතර මස්පිඬු පෙරළීමට ලක්වීම
• විශාල ලෙස කැල්සියම් ඌණතා ඇතිවීමෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය දුර්වලතා හා ස්නායු ක්‍රියාකාරීත්වයට බලපෑමෙන් සිහිකල්පනාව මඳවීමද සිදුවිය හැක.
• කුඩා දරුවන්ට වර්ධනයේ ගැටලු මතුවේ. විශේෂයෙන් කැල්සියම් හා විටමින් ඩී ඌණතාවයෙන් රිකට්සි රෝගය ඇතිවේ.
• අත්, යටිපතුල් හා මුහුණේ හිරිවැටීම්
• නියපොතුවල ශක්තිමත්භාවය නැතිවීම හා ඉක්මණින් කැඩීයාම
• අස්ථිවල ශක්තිමත් බව අඩුවීමෙන් ඉක්මණින් අස්ථි බිඳී යාම

කැල්සියම් ඌණතාවයෙන් සෞඛ්‍ය ගැටලු මතුවීම දිනකින් දෙකකින් සිදුවන ක්‍රියාවලියක් නොව දීර්ඝකාලයක් තිස්සේ ඉහත විස්තර කරනු ලැබූ ගැටලුවකට මුහුණපෑම හෝ පෝෂණ ඌණතාවයන්ගෙන් පෙළීම නිසා සිදුවන්නකි. එබැවින් විසඳුම් ලබාදීමේදී කල් නොයවා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. අදාළ ක්‍රියාමාර්ග ගත යුතුය.

මේ සඳහා සමබර ආහාර වේලක් ලබාගැනීම අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතුය. එහිදී අපගනු ලබන කිරි, බිත්තර, මාළු, චීස්, බටර්, කිරි ආශ්‍රිතව නිෂ්පාදිත ආහාර, පොඩි මාළු වර්ග මඟින් අවශ්‍ය කැල්සියම් ලබාගත හැකිය. එමෙන්ම දිවුල්, ඇඹරැල්ලා වැනි දේශීය පළතුරැ වර්ග මෙන්ම මුරැංගා පත්‍රවලද කැල්සියම් වැඩි ප්‍රමාණයක් පවතී.

මෙසේ ලබාගන්නා කැල්සියම් අවශෝෂණය සඳහා විටමින් ඩී අවශ්‍ය වන අතර කිරි, බිත්තර, චීස්, බටර් ආදියේ විටමින් ඩී අන්තර්ගත වන අතර හිරුඑළිය මඟින්ද විටමින් ඩී ලැබේ.

විශේෂයෙන් ගර්භනී මව් හා කිරිදෙන මව්වරැන්, කුඩා දරුවන්, මැදි වයසේ කාන්තාවන් කැල්සියම් අඩංගු ආහාර එක්කර ගැනීම පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. විශේෂ රෝග අවස්ථාවන්හිදී වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක විය යුතු අතර ආහාරවලට අතිරේක ලෙස කැල්සියම් ලබා ගැනීමටද සිදුවන අවස්ථා ඇත.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය 
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00