2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

ක්‍රිකට් මැච් බලන්න පාන්දර 5ට පෝලිමේ!

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:31 161

පාසලේ විෂයයන්ට සීමාවූ හෝ රෑ වෙනතුරු ටියුෂන් පන්තිවල විෂය ඉගෙනගත් පාසල් දිවියක් හෝ අප ගතකළේ නැත. ඒ කාලයේත් රටේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවයි. විදේශ ක්‍රිකට් තොරතුරු දැනගන්නට අපේ කාලයේ රූපවාහිනී චැනල් තිබුණේ නැත. විදේශ ක්‍රිකට් තොරතුරු අප දැනගත් ප්‍රධාන මාර්ගය වූයේ ඉංග්‍රීසි පත්තරයයි. ඉංග්‍රීසි පත්තරය අතට ගත් සැණින් පත්තරය පිටින් අනෙක්පස පෙරළා ක්‍රීඩා පිටුව බැලීම අප බොහෝ දෙනකුගේ පුරුද්ද විය. එවකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පළාතක අපි නොසිටි අතර එය අප දුටු සිහිනයක් විය. කලින් දිනයේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගවල ලකුණු පුවරුව ඉංග්‍රීසියෙන් කියවා ගැනීම අප කාටත් අපහසු වූයේ නැත. 

එහෙත් අපි ඉන් ඔබ්බට ගොස් තරගය පිළිබඳ ඉංග්‍රීසි විචාරය ද අමාරුවෙන් කියවා අවබෝධ කරගතිමු. ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර ප්‍රචාරය ද තේරුම් ගන්නට අපට අපහසු වූයේ නැත. පාසලේ ඉංග්‍රීසි විෂය මාලාවේ නියම කර තිබූ ඉංග්‍රීසි අච්චු පොත ඉංග්‍රීසි ඉගෙන ගන්නට ශිෂ්‍යයන් පොළොඹවන සුළු පොතක් නොවූයේය. එහෙත් පුවත්පත්වල ඉංග්‍රීසියෙන් පළවූ ක්‍රිකට් විස්තර කියවීමෙන් සහ ගුවන් විදුලියේ ක්‍රිකට් විස්තර විචාරවලට සවන් දීමෙන් අපේ ඉංග්‍රීසි දැනුම බොහෝ සෙයින් වර්ධනය වූයේය. හතේ හෝ අටේ ඉංග්‍රීසි අච්චු පොතේ “ක්‍රිකට් මැච්” (A Cricket Match) කියා පාඩමක් තිබුණු බව නම් හොඳින් මතකය. එහි තිබූ එක් වාක්‍යයක් ශිෂ්‍යයන් හැමදෙනාගේම හිතේ සනිටුහන් වූයේය. එනම් “Cricket Is An Uncertain Game” යන වාක්‍යයයි. ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් වන සුළු අනියත ප්‍රතිඵල දෙන ක්‍රීඩාවක්ය යන අදහස එයින් ගම්‍ය වේ. (දේශපාලන ක්‍රීඩාව හා සමානය.) එකල පාසල් විෂයන්ට වැඩි උනන්දුවක් නැති එක්තරා ශිෂය්‍යකු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර ප්‍රචාරය රසවිඳිනු දුටු ඔහුගේ පියා මෙසේ කී වග අපට සැලවිය.

“මොනවා නැතත් මේකා ඉංග්‍රීසි නම් පාස් වෙයි. 

එකල අපේ ජාතික පිල අන්තර්ජාතික තරගවලට සහභාගී වූයේ අදට සාපේක්ෂව බොහෝ සෙයින් අඩුවෙනි. ක්‍රිකට් සමාජ අතර තරග ද වැඩි ජනප්‍රිය බවක් මුල් කාලයේ ඉසුලුවේ නැත. පාසල් ගිය ශිෂ්‍යයන් සහ වැඩිහිටියන් අතර පවා බොහෝ සෙයින් ජනප්‍රිය වූයේ අන්තර් පාඨශාලාන්තර ක්‍රිකට් තරගයි. සමහර ප්‍රධාන පාසල්, වසරේ තුන්වැනි වාරයේ (ඔක්තෝබර් සිට) පටන්ම ක්‍රිකට් සමය ආරම්භ කළ අතර බොහෝ පාසල් වසරේ ක්‍රිකට් සමය ආරම්භ කළේ ජනවාරි මාසයේ පටන්ය. ක්‍රිකට්වලට ආසා කළ ශිෂ්‍යයන් දැන සිටියේ තමන්ගේ පාසලේ ක්‍රිකට් කණ්ඩායම ගැන පමණක් නොවේ අනෙක් පාසල්වල ක්‍රිකට් කණ්ඩායම් ගැනත් ඒවායේ බිහිවෙමින් සිටි දක්ෂ ක්‍රීඩකයන් ගැනත් ක්‍රිකට් ගැන උනන්දු පාසැල් ශිෂ්‍යයෝ අවදියෙන් සිටියහ.

පාඨශාලාන්තර ක්‍රිකට් තරග පැවැත් වූයේ සිකුරාදා හා සෙනසුරාදා දිනයේය. ක්‍රිකට් තරගයක් තම විද්‍යාලයේ පිටියේ පැවැත්වේ නම් එදින 12.00ට පාසල වේලාසනින් ඇරීම ද සිදුවිය. ඇතැම් පාසල්වල පන්ති කාමරවලට පිට්ටනියේ පැවැත්වෙන තරගය හොඳින් දිස්වූයේය. පන්තියේ ඒ කාලයේ යොදා තිබූ කොටුදැල් අතරින් සිකුරාදා දහවල් වනවිට බොහෝ ශිෂ්‍යයන්ගේ දෑස් සහ සිත් සතන් යොමුව තිබුණේ පිට්ටනිය වෙතටයි. එක් විදුහලක එවැනි සිකුරාදා දිනයක 9 වැනි ශ්‍රේණියේ ගණිතය පාඩම ඉගැන්වෙමින් තිබුණි. ළමුන්ගේ නෙත් පිට්ටනිය වෙත යොමුව තිබිය දීම ගුරුවරයා ගණන් පාඩම කරගෙන ගියේය. පාඩමේදී ගුරුවරයා අතුරු ප්‍රශ්නයක් නැගුවේය. “එක්ස් වර්ගය රින වයි වර්ගයේ සාධක මොනාද?” ගුරුවරයා නැවත ප්‍රශ්නය නැගුවේය.

ළමෝ එකවර “Bowled” කියා කෑ ගසුවෝය. එවෙලේ ප්‍රතිවාදී පිලේ ආරම්භක පිතිකරුවා විකට්ටුවේ පන්දුව වැදීම නිසා දැවී ගියේය. ශිෂ්‍යයන්ගේ නෙත් සිත් යොමුව තිබුණේ ක්‍රීඩාපිටිය දෙසටය.

1982 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකත්වය ලබා ටෙස්ට් වරම් ලබන තරමේ මට්ටමකට ශ්‍රී ලාංකීය පිළ ඉහළට ආවේ අපේ කාලයේ පාසල් මට්ටමින් ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයන් නිසාය. ඔවුහු පාසල් මට්ටමේදීම විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළෝය. රාජකීය සාන්ත තෝමස්, ආනන්ද - නාලන්දා බිග් මැච්වල අවුරුදු ගණන් පරණ වාර්තා බිඳවැටුණේ 1975 පටන් ශ්‍රී ලාංකීය පිලට තේරුණු ක්‍රීඩකයන් අතිනි. 1971 රාජකීය සාන්ත තෝමස් තරගයේදී රාජකීය පිලේ ජගත් ප්‍රනාන්දු 160ක් රැස්කොට නව වාර්තාවක් තබද්දී දුලිප් මෙන්ඩිස් තෝමසුන්ගේ පිල වෙනුවෙන් නොදැවී ශතකයක් රැස්කළේය. ඉන්පසු 1972 දී දුලිප් මෙන්ඩිස් 184ක් රැස්කොට කළින් වසරේ ජගත් ප්‍රනාන්දු පිහිට වූ වාර්තාව බිඳ දැමුවේය. 1972 ආනන්ද නාලන්ද මහ ක්‍රිකට් ගැටුමේදී 118ක් රැස්කරමින් බන්දුල වර්ණපුර බිඳ දැමුවේ 111ක් රැස්කොට පී.එම්. ජයතිලක විසින් 1928 තබා තිබූ වාර්තාවකි. 1972 දී ආනන්ද පිල වෙනුවෙන් දඟපන්දු යැවූ අජිත් ද සිල්වා ක්‍රිකට් වාරය තුළ කඩුලු 60 ගණනක් බිඳ දමා පාසල් වාර්තාවක් තබා තිබුණේය.

1972 මාර්තු මස විසි ගණන්වල සිකුරාදාවක ඩේලි නිවුස් පුවත්පතේ ලංකාවේ ප්‍රධාන පාඨශාලාන්තර ක්‍රිකට් ගැටුම් 12ක් ඇති අතිරේකයක් තිබිණි. ඒ එකම සති අන්තයේ ආනන්ද - නාලන්දා, මහින්ද - රිච්මන්ඩ්, සාන්ත අන්තෝනි - ත්‍රිත්ව, යාපනයේ ප්‍රධාන පාසල් වූ හින්දු විද්‍යාලය සහ යාපනයේ මධ්‍ය මහ විදුහල අතර ගැටුම, මොරටුවේ වේල්ස් කුමාර - සාන්ත සෙබස්තියන් ගැටුම, ශ්‍රී සුමංගල - වාද්දුව ම.ම.වි. ගැටුම ආදී ක්‍රිකට් තරග තිබිණි. ඊට පෙර සති අන්තයක රාජකීය - සාන්ත තෝමස් තරගය පවත්වා නිමාකොට තිබුණේය.

1975 සිට ඇරඹුණු ලෝක ක්‍රිකට් කුසලාන සීමිත ඕවර තරගවලට පාසල් ක්‍රීඩකයන් සූදානම් කෙරුණේ 1971 ඕවර 50 පාසල් අතර ක්‍රිකට් තරගාවලියේ සිටය. එවකට සීමිත ඕවර තරග ක්‍රිකට් ක්‍රීඩාවට අලුත්ය. එම තරගාවලි නම් කළේ “වැස්ලින්” කුසලාන තරගාවලිය ලෙසයි. එම තරග එස්.එස්.සී, එස්.සී.සී. සහ සී.සී.සී. ක්‍රීඩාපිටිවල පැවති නිසා තරගයෙන් තරගයට මාරුවෙමින් ළඟ ළඟ පිහිටි පිට්ටනිවලට යමින් ක්‍රිකට් ලෝලීහු පාසල් අතර තරග නැරඹූවෝය.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් උත්කර්ෂයට නැංවූ සංචාර දෙකක් පිළිබඳව විශේෂයෙන් කරුණු කිව යුතුය. ඉන් පළමු වැන්න 1969 අගභාගයේදී ඉන්දියාවේ සංචාරය කළ ලාංකීය පාසල් ක්‍රිකට් පිලයි. එම කණ්ඩායමට නායකත්වය දුන්නේ මිත්‍ර වෙත්තමුණිය. ආනන්දයෙන් ආනන්ද ජයතිලකත් ඊට එක්විය. නාලන්දයෙන් ලෙස්ලි නාරංගොඩ සහ බන්දුල වර්ණපුර එක්වූහ. දුලීප් ඊට එක්වූයේ මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලෙනි. සංචාරයෙන් අනතුරැව ඔහු සාන්ත තෝමසුන්ගේ පිලට ආයේය. අජිත් ද සිල්වා මෙම සංචාරයට එක්වූයේ ධර්මාශෝක විද්‍යාලයෙනි. සංචාරය නිමා කළ පසු ඔහු ආනන්දයට ආවේය. රාජකීය විද්‍යාලයේ ජගත් ප්‍රනාන්දු ද මෙම පිලේ සිටියේය.

දෙවැන්න 1971/72 දී ඕස්ට්‍රේලියානු පාසල් ක්‍රිකට් පිලේ මෙරට සංචාරයයි. අසිත ජයවීර රාජකීය පිල නියෝජනය කරමින් ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන්නේය. වර්ණපුර සහ දුලිප් මෙම තරගවලදී පිත්තෙන් දස්කම් පෑ අතර අජිත් ද සිල්වා සහ වේල්ස්කුමාර විදුහලෙන් ආ අජිත් මෙන්ඩිස් මෙම තරගවලදී දස්කම් පෑවෝය.

සුලෝහිත සංග්‍රාමය, නිල් හටන, මොරටු හටන, මැංගුස්ටීන් හටන (Battle Of Saints) සාන්තුවර හටන ආදී නම් පාසල් අතර මහ ක්‍රිකට් ගැටුම්වලට අපේ කාලයටත් පෙර සිට භාවිත වූ ඒවාය. පාසල් ක්‍රිකට් තරගවලදී තරම් තමන්ගේ පිලට ජයඝෝෂා නගමින් සටන් පාඨ කීම ජාත්‍යන්තර තරගයකදී පවා සිදුනොවූයේය. ඒවා දේශපාලන සටන් පාඨවලට වඩා අතිශය සුන්දරය.

ඇර ඕකට - ඇරෝ
හතරෙ එකක් - ඇරෝ
හයේ එකක් - ඇරෝ
ලනුව උඩින් - ඇරෝ
ලනුව යටින් - ඇරෝ
ඇර, ඇර ඇර - ඇරෝ

තමන්ගේ පිළට අවාසි වූ තැනක් වෙතොත් සිත සනසා ගන්නා පාඨද වේ.

What’s The Matter – Minor Matter 
Are We Worry – No, No
වරෙක එය මෙසේ කියනු ලැබිණි.

What’s The Matter - හොස්සෙ ගැට” බිග් මැච් කාලයට පාසලෙනුත්, ගෙදර වැඩිහිටියන්ගෙනුත් විනෝද වීමේදී තහංචි පැනවෙනවා අඩුය. ඒ කාලයට එක්ව ගායනා කරන වෙනම ගීත වර්ගයක් තිබිණි. වයසක බර්ගර් ජාතික අංකල්ලා ගායනා කරන විශේෂ ගී වර්ගයක් ද එකල විය. ඇතැම් ගීතවලට පොඩි අසභ්‍ය කතා මිශ්‍ර වී තිබුණ ද අපි ජීවිතයේ ඉදිරියට ගෙන ආවේ ඒවායේ තිබූ උත්ප්‍රාසය, නාට්‍යමය රසය මිස ඒවායේ තිබූ කුණුහරප නොවේ. බර්ටෝල්ට් බෙෂ්ට් ද තරුණ කාලයේ එවැනි “වල් ගීත” ගායනා කළ බව ඔහුගේ චරිත කතාව අධ්‍යයනය කිරීමෙන් දතහැකිය.

අප අගය කළ පාසල් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රිකට් සමාජවලට ක්‍රීඩා කරන්නට ගත්විට අපි ඒ ඒ ක්‍රිකට් සමාජ අතර තරග නරඹන්නට ගත්තෙමු. ඊට පෙර පාසලෙන් පිටවූ අලුත ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ තරග රසවිඳගතිමු. අපේ පළමු අන්තර්ජාතික සීමිත ඕවර තරගය වන 1973 දී එංගලන්තය සමඟ පැවති තරගයෙන් අපි ජයගතිමු. එංගලන්තය විසින් ලබාගත් ලකුණු 212 හඹායද්දී පළමු ඕවරයේම හතරේ පහරවල් 3ක් ලබාගන්නට වර්ණපුර සමත් වූයේය. එකල මැලේසියාවට එරෙහිව ලංකාව ලබාගත් දැවැන්ත 726 ලකුණු සංඛ්‍යාව අප කාගේත් සිත් පිනවන්නක් විය. එහිදී අනුර තෙන්නකෝන් සහ වර්ණපුර යන දෙදෙනාම ද්විත්ව ශතක වාර්තා කළ අතර දුලිප් නොදැවී 122ක් ලබාගත්තේය.

පී. සරා කුසලානය සඳහා වූ අන්තර් සමාජ ක්‍රිකට් තරග නැරඹූ ක්‍රීඩා ලෝලියෝ තරගාවලියේ තමා ආසාකරන සමාජයට හිමි ලකුණු මට්ටම (තරගාවලියේ Points ගණන) හොඳින් දැනගෙන උන්හ. සැවොම සවස 7.30ට ඉංග්‍රීසි වෙළෙඳ සේවයේ ටොමී පෙරේරා කියන ක්‍රීඩා විස්තරවලට සවන් දුන්හ.

ශිෂ්‍යයන් ලෙස ක්‍රිකට් තරග නැරඹූ අපට 1975 බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ මෙරට ක්‍රිකට් සංචාරය කිසිදින අමතක වන්නේ නැත. නීග්‍රෝ සම්භාවයක් ඇති ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩාවේ  මුල්වරට අප දුටුවේ මෙම තරගවලදීය. ඒ බටහිර ඉන්දීය කොදෙව් පිල මෙරටට පැමිණ ක්‍රීඩා කළේ අවුරුදු 15කට පමණ කාලයකින් පසුව බව කියවේ.

1975 බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ අවසාන වශයෙන් යෙදී තිබුණේ ඕවර 50 තරගයකි. පාන්දර පහට අප එස්.එස්.සී. පිටියේ ගේට්ටුව ළඟට යනවිටත් එදා යාර 20කට වැඩිය දිග පෝලිමක් තිබුණේය. ඒ වනවිට ක්‍රිකට් ඉතිහාසයේ ඉන් පෙර කිසි දිනක නොවූ තරම් සෙනගක් එම තරගය නරඹන්නට එදින පැමිණ සිටියහ. උදේ 9.00 වනවිට සියලු ප්‍රවේශපත් විකිණී අවසන් විය. මහ ක්‍රිකට් ලැදි සෙනගක් ගේට්ටු පෙරළාගෙන එස්.එස්.සී. පිටියට ආයේය. බොහෝ අය තුවාල ලැබුවෝය.

මා දන්නා එක් ශිෂ්‍යයෙක් ද එවේලේ බිම වැටුණු විට ඔහුගේ අත උඩින් අත පාගාගෙන 50ක් පමණ දෙනා එක නිමේෂයකදී ගේට්ටුවෙන් ඇතුළු වී තිබිණි. එක් කාරුණික පොලිස් නිලධාරියෙක් ඔහුව ජීප් රථයේ නංවාගෙන කොළඹ මහ රෝහලට ගෙනගොස් මැහුම් යොදා අවශ්‍ය ප්‍රතිකාර දුන්නේය. රෝහලේදී අතේ පැලුණු තැන්වලට මැහුම් යොදා වෙළුම්පටිවලින් වෙලා ඔහුව රෝහලෙන් නිදහස් කොට තිබුණේය. ඔහුව රෝහලට රුගෙන ආ පොලිස් නිලධාරියා එවිට ඔහුගෙන් මෙසේ ඇසුවේය.

“ඔයාව කොහාටද ඇරලවන්න ඕන? මම ජීප් එකේ එක්කගෙන යන්නම්.”

“ග්‍රවුන්ඩ් එකටයි යන්න ඕනා. දැන් මැච්එක පටන් අරන් ඇති.” ඔහුගේ පිළිතුර විය. රීඩ්මාවතේ බිලූම්ෆීල්ඩ්, SSC, NCC, CCC ආදී පිට්ටනිවල ගස් යට රැඳී (එකළ එම පිට්ටනි වටා ගස් තිබුණේය) ක්‍රිකට් තරග නැරඹුවේ අතිශය විචාර බුද්ධියෙන් යුතු ක්‍රිකට් ලැදි පිරිසකි. ක්‍රීඩා තරග යද්දීම රසකතා, දේශපාලක විග්‍රහා, කලා විචාර එම ගස් යට සිදුවුණේය.
තරග නරඹද්දී පිපාසාව නිවා ගත්තේ සත පහට දහයට විකුණු අන්නාසි කෑලිවලිනි. දිවා ආහාරය ගන්නට සිදුවූ අවස්ථාවල ජාතික පොළේ වට්ටක්කා හොදි සමඟ තිබූ පාන් ක්‍රීඩාලෝලීහු දිව්‍ය භෝජනයක් සේ රසවිඳිගත්හ.

♦ සමන් පුෂ්ප ලියනගේ    

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00