2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

සමහරු වැව් ගැන කියන්නෙ බොරු!

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 370

මහින්ද කුමාර දළුපොතගේ වැවට නමක් පොත පසුගියදා සූරිය ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. මේ කතුවරයා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසුණු ලිපියකි.

ඕනෑම නමක් හැදෙන්නේ පුරාණෝක්තියක් සමඟයි. වැව්වලටත් නම සෑදීමට එලෙස පුරාණෝක්ති බලපා තිබේ. වැව අපට සංස්කෘතියකි. නමුත් එදා ගැමියන් අතින් නඩත්තු වුණු වැව් සංස්කෘතිය ඉංග්‍රීසීන්ගේ උරුමයක් ලෙස දෙපාර්තමේන්තුවලට පවරා ඇත. ලොකු වැව් වාරිමාර්ග දෙපාර්තමේන්තුවටත් කුඩා වැව් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටත් අයත්ය. ඉස්සර වැව් නඩත්තු කළේ විදානේවරු හා ගොවීන් අතිනි. අද ඒ නඩත්තුව කරන්නේ කොන්ත්‍රාත් ක්‍රමයටය.

අප රටට උරුමව ඇත්තේ වාපී ශිෂ්ටාචාරයකි. එහි වංහුං පාසල් දරුවන්ට කටපාඩම් කරවනු ලබයි. විශාල වැව් තැනූ රජවරැන්ගේ නාමලේඛනයන් සේම ඔවුන්ගේ වාරි කටයුතු කටපාඩම් කෙරෙයි. එහෙත්, ඒ අධ්‍යාපනයට වැවට වතුර මෙන් ජීවිතයට අර්ථවත් වැව් බැඳීමේ ජනශ්‍රැති මඟහරිනු ලැබේ. එවිට දිය සිඳුණු වැවක් මෙන් ලබන ආශ්වාදනීය දැනුම හීනවෙයි.

වැවක් වාන් දමන්නා සේ හද උතුරා යන රසයත්, ජීවන අත්දැකීම් ගොන්නත් වැව්වලට නම් හැදුණු හැටි විමසන විට වටහාගත හැකිය. එමෙන්ම පරිසරයට, ගහට කොළට හා සොබාදහමට ඇලුම් කළ හැකි සංවේදී මිනිස් ප්‍රජාවක් බිහිකරගැනීමේ හැකියාවද මතුවෙයි. එය ජාතික සංවර්ධන අවශ්‍යතාවයකි.

අපේ වැව්වලට නම් හැදුණු හැටි කෙසේදැයි කියා තවමත් ජනශ්‍රැති අධ්‍යයනයක් සිදුවී නැත. එහෙත්, වැව් පිළිබඳව වාරිමාර්ග අමාත්‍යංශයක්ද ගොවිජන සේවා දෙපාර්තමේන්තුවක්ද ඇත. ඒ දෙකට, ලංකාවේ සියලු වැව් අයිතිවෙයි. නමුත් පාසල් දරැවන්ට වැවට නම් හැදුණේ කෙසේදැයි දැනගැනීමට හැකි විධිමත් අධ්‍යයනයක් හෝ ලේඛනයක් හෝ නොමැත.

අප රටට අනන්‍ය වූ වැව් වර්ග ගණනාවක් ඇත. ඒවා අදාළ පාරිසරික තත්ත්වයක් යටතේ භාවිතයට ගැනෙයි. මහවැව්, ගම්වැව්, වාරිවැව්, ගොඩවැව්, ඇළවැව් හා කුලුවැව් ඒ අතරින් කිහිපයකි. මෙහිදී ඉතා වැදගත් සාධකයක් වන්නේ පොදුවේ මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගන්නා වූ වැව්වලට පමණක් නම් භාවිත කිරීමය. ඒ අනුව ගම්වැව්, මහවැව් හෝ වාරිවැව් එයට අයත් වේ. මලුතිස රජතුමාගේ මිහින්තලා සෙල්ලිපියේ වැව් වර්ග තුනක් සඳහන් වේ.

අනෙක් අතට වැවක් යනු, මිනිස් ඉදිකිරීමකි. ස්වාභාවිකව වැව් නිර්මාණය නොවෙයි. වැවක් ලෙස පිළිගැනීමට මූලික සාධක රැසක් එකට ගොනුවී තිබිය යුතුය. වෑ බැම්ම, දිය හොරොව්ව, මඩ හොරොව්ව, දිය පැන්නුම, ගිල්ම, වැව් තාවුල්ල හා වැව් ඉස්මත්ත වැවක් බවට පත්වීමට අවශ්‍ය මූලික සාධකයෝ වෙති. මේ සාධක සොබාදහමට අනුගතව එහෙත් මිනිස් ශ්‍රමයෙන් ගොඩනගන්නකි.

වැව්වලට නම් හැදී තිබෙන ජනමූලාශ්‍ර විමසීම කාලෝචිත ජනශ්‍රැති විමර්ශනයකි. එමඟින් සැඟවී තිබෙන ඓතිහාසික මූලාශ්‍ර රැසක් යළි ජනගත කිරීමේ ඉඩ සැලසේ. ටිකිරි හැන්දෑව වැවක් වූයේ, බ්‍රිතාන්‍ය පාලන යුගයේ රදළ ලියක් සැඟවීමට ගත් ආයාසයක් වෙනුවෙනි. එසේම සාලිය කුමාරයා වැව් තැනුවාය කියා ඉතිහාසයේ කිසිදු සඳහනක් නොවේ. එය ගාලේ වැව ආශ්‍රිතව හඳුනාගත හැකි සාධකයකි.

කලා වැවේ පුවත අපූරු පුරාවෘත්තයකි. එය විශ්වාස කළ නොහැකි තරම්ය. එහෙත් ධාතුසේන මහරජතුමා සිය නාමය වෙනුවට කලාසිටාගේ නම යොදන්නේද ජනමූල අවශ්‍යතාවක් ලෙසිනි.

ප්‍රබල පුද්ගල චරිත වාපී ශිෂ්ටාචාරයට දක්වා ඇති දායකත්වය දිවියා උඩ බැන්ද වැව මගින් හඳුනාගත හැකිය. පොරොන්දුවක තරම අදටත් අපූරු මූලාශ්‍රයකි. මෙයින් නූතන සමාජයටද ඉගෙනගැනීමට කදිම ආදර්ශයක් පවතී.

ඇතැම් වැව්වලට නම් පටබැඳීමේදී භාෂාවද බලපා ඇත. පානම වැව ඊට නිදසුනකි. පාලි භාෂාවේ මහිමයන් සොබාදහමේ මහිමයන් නිසා පාෂාණ වාපී යන්න පානම බවට පත්වී ඇත. එලෙසින් බලනවිට වැව් වටා පිහිටි ගල්තලා පමණක් නොව සොබාදහමේ රටාවන් සියල්ල වැව්වලට නම් පටබැඳීමට හේතු වී තිබේ.

සැඟවුණු ඓතිහාසික මූලාශ්‍ර කොතෙක්දැයි මේ ජනශ්‍රැති මගින් අවබෝධ වනු ඇත. තම්පිලුවිල් වැව බඳු සැඟවුණු මූලාශ්‍ර තවත් කොතෙක් සැඟවී තිබේදැයි අපට හඳුනාගැනීමට මේ ජනකතා මගින් අවස්ථාව උදාවේ. එසේම මහසෙන් රජතුමා දේවත්වයට පත්වූයේ මින්නේරි වැව තැනීමේ සත්ක්‍රියාව හේතුකරගෙනය. නමුත් ඔහුගේ සහෝදරියගේ කවුඩුල්ල වැව විනාශ කළේ ඊර්ෂ්‍යාව හේතුවෙනි. මිනිස් සිතුවිලි සතු යහගුණ මෙන්ම දුර්ගුණද වැව් ආශ්‍රිත පුවත් කියවීමෙන් පැහැදිලි වෙයි.

අපේ වාපී ශිෂ්ටාචාරයට කුලම යන දෙමළ යෙදුම භාවිතයට ආවේ දුරාතීතයේ සිටය. ඒ, ආශ්‍රිත ජනප්‍රවාදයන්ද මෙයට ඇතුළත් වෙයි. බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදී මිණුම් කටයුතු කළ සුද්දන්ගේ ආවතේවකරුවන් කී විලස සිතියම්ගත කරනවිට වැව් රැසකට කුලම් යනුවෙන් යොදා තිබෙන සාධකද දැකගත හැකිවේ.

මේ අනුව බලනවිට අපේ වැව් පදනම් කරගෙන ගොඩනැගී තිබෙන පුරාකතා හා ජනප්‍රවාද සරල ලෙසින් බැහැර කළ නොහැකිය. මක්නිසාද යත් මෙරට ඉතිහාසයේ එක් ප්‍රබල ජනශ්‍රැති ගබඩාවක් ලෙස වැවට නමක් ජන සංස්කෘතිය හඳුනාගත හැකිය. එම අත්දැකීම් බෙදාගැනීමේ අරමුණ ඇතිව දයාබර පාඨක ඔබ වෙත වැවට නමක් ඉදිරිපත් කළ බව දක්වනු කැමැත්තෙමි. ඒ නිසාම ඓතිහාසික, සංස්කෘතික, සමාජීය හා පාරිසරික විවිධත්වය වැව්වලට නම් පටබැඳීමේදී කෙසේ වෙනස්වේදැයි හඳුනාගත හැකි ලෙසින් මේ පොතට වැව් 50ක නම් පටබැඳි ජනමූලාශ්‍ර පමණක් එකතු කළ බව සැලකුව මනාය.

  පාඨක