- ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රසේකර
ජයසිරිමා බෝ හාමුදුරුවනේ, මාතොටින් එන, පැන මඩ කඩිති වැනි ගීත රාශියක් රචනා කළ මහින්ද චන්ද්‍රසේකර සම්මානනීය ගීත රචකයෙකි. රජරට කේන්ද්‍ර කරගනිමින් නිර්මාණකරණයේ නියැලෙන ඔහුට රාජ්‍ය සංගීත උළෙලේ සම්මාන සහ රජරට සම්මාන රාශියක්ද හිමිව තිබේ.
මෑතකදී ඔබ නිර්මාණය කළ ගීත ගැන කිව්වොත්?
සුනිල් එදිරිසිංහ ගායනා කරන රජපෙරහැර මැද ඇතා නටනවා තමයි මෑතදීම ලියූ ගීතය. ඊට අමතරව කරැණාරත්න දිවුල්ගනේ ගයන මේ සිහින හරි පුදුමයි, දුටුවාද තරුවක්, වගේම රූපවාහිනියේ නුගසෙවණ තේමාගීතයත් රචනා කළා.
මෑතකදී මහාචාර්ය සුනිල් ආරියරත්න අප සමඟ පැවසුවේ අද සුභාවිත ගීතරචකයන්ට ඉල්ලුමක් නැති බවයි. ඒ නිසා ගීත නොලියා සිටින බවයි. මේ ගැන ඔබගේ අදහස කුමක්ද?
එහෙමම කියන්නත් බැහැ. සමහරැ අපෙන් ගීත ඉල්ලනවා. පොදුවේ ගත්තම අද ගීත නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස වැටිලා තිබෙන්නේ. කලකට පෙර ගායකයෙක් අවුරුදු පහකට වරක්වත් සංගීත තැටියක්, කැසට්පටයක් නිකුත් කළා. එවිට ඔවුන්ට ගීපද රචනා අවශ්‍ය වුණා. බොහෝ දෙනාට ආරාධනා කර ගීත ලියවාගත්තා. ඒ තත්ත්වය අද අඩුයි තමයි. බොහොම කලාතුරකින් තමයි එවැනි ආරාධනා එන්නේ.
අද විද්‍යුත් මාධ්‍යවල ගීත ප්‍රචාරය වන වැඩසටහන් පැය 24 පුරාම අහන්න ලැබෙනවා නේද?
ඔව්. ඒක නම් ඇත්ත. ඒවා ගීතද කියන එකයි ප්‍රශ්නෙ. ඒකට වෙන නමක් අපට හොයාගන්න වේවි. සුභාවිත ගීතයෙන් කරන්නේ සිත නිවීමයි. අපගේ ජීවිතයට තුන්වැනි ඇහැක් ලබාදෙනවා. ආනන්දය වගේම ප්‍රඥාවත් ලබාදෙනවා. ඒ මොකක්වත් නැති දේකට අපි කොහොමද ගීතය කියන වටිනා නම ලබාදෙන්නේ. අද ඇහෙන බොහෝ දේවල් තනුවකට වචන කිහිපයක් ගොනුකරපු අවස්ථාවක්.
මුලින්ම හින්දි තනුවලට පද යෙදීමේ ගීත රචනා කලාවක් අපට තිබුණා නේද?
ඔව්. අපි කලකට පෙර හින්දි තනුවලට වචන දමා ගීත රචනා කළා. කරැණාරත්න අබේසේකර ශූරීන් වගේ රචකයන් මධුර හින්දි තනුවලට වචන මාත්තු කළා. ඒක හරි අපූරැවට කළා. සමහර ගීත අපට හිතන්නවත් බෑ, හින්දි තනුවකට වචන එකතු කළා කියලා. ඒ තරම් නිර්මාණශීලී විදිහට රචනා කර තිබෙනවා. අද බොහෝවිට ඒක වෙනවා. නමුත් හරිම බාලයි. අද ඒ රචකයන්ට සාහිත්‍යය, ගීතය ගැන හැඟීමක් නෑ. මොනවහරි තනුවකට සක්ක පද ඔබන එක තමයි කරන්නේ. ඒ අත්දැකීම්වල කිසි බරක් නෑ. ඒ ගීත අහන අසන්නා කිසිම සහකම්පනයකට පත්වන්නේ නැහැ. මුලින්ම රචකයා එම පදමාලාවෙන් කම්පනය විය යුතුයි. එහෙම දෙයකුත් නෑ.
ගීත රචනය කියන්නේ වෙනම සාහිත්‍යාංගයක්. මේ යන විදිහට ගීත සාහිත්‍යයට කුමක් වේවි කියලද ඔබ හිතන්නේ?
මේ යුගයේ තරුණ ගීතරචකයෝ පිරිසක් යහපත් කාර්යයක නියැලී සිටින බව පේනවා. නමුත් අනිත් ධාරාව විශාල නිසා මේ ගීතරචකයන්ගේ හඬ ඇසෙන්නෙ නැහැ. රජී වසන්ත වෙල්ගම ඒ අතරින් ඉදිරියෙන්ම සිටින නිර්මාණශීලී රචකයෙක්. ඔහුගේ මේ තරම් සියුමැලිද කළුගල් ගීතය රටේ ජනතාව ආදරයෙන් වැළඳගත්තා. රවී සිරිවර්ධන, සමුද්‍ර වෙත්තසිංහ, නයනසේන වන්නිනායක, ශර්මිලා හුසේන් වගේ අලුත් පරපුරක් අපට ඉන්නවා. ඔවුන් අප කරපු කාර්යයේ දැන් යෙදිලා ඉන්නවා. මගේ නම් අනාගතය ගැන සුබවාදී බලාපොරොත්තුවක් තමයි තිබෙන්නේ. අද ගීතය සාහිත්‍යාංගයක් ලෙස විශ්වවිද්‍යාල පවා පිළිගන්නවා.
එදා රජයේ ගුවන්විදුලියෙන් ගීත නිර්මාණයට විශාල දායකත්වයක් ලැබුණා නේද?
ඔව්. රජයේ ගුවන්විදුලිය පමණයි එදා තිබුණේ. හොඳ ගීත බිහිවීමට අනුග්‍රාහකයා වුණේ ගුවන්විදුලි සංස්ථාව තමයි. අමරදේව - මහගම සේකර සුසංයෝගයෙන් විශිෂ්ට ගීත රාශියක් බිහිවුණා. අදත් අපි ඒවා රසවිඳිනවා. නමුත් එහෙම දෙයක් කරපු ගුවන්විදුලිය අද නිහඬයි. අද වුණත් ගුවන්විදුලියට පුළුවන් මාසිකව යම්කිසි ගීත ප්‍රමාණයක් නිර්මාණය කරන්න. මහාචාර්ය සුනිල් ආරියරත්නට ආරාධනා කළා නම් එතුමා ගීත කිහිපයක් දෙන්නෙ නැද්ද? ආචාර්ය නන්දා මාලිනී ඒවා ගායනා කරන්නේ නැද්ද? ඕනෑ නම් පෞද්ගලික ගුවන්විදුලියකට වුණත් මේ කාර්යය කළ හැකියි.
මෙවර රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ ගීතරචනා සාහිත්‍ය සම්මානය ගැන ගැටලුවක් මතුවූ බව පැවසුණා. ඔබගේ පොතකුත් අවසන් වටයට නිර්දේශ වී තිබුණනේ?
ඔව්. නමුත් මගේ පොත නම් ඒකට ගැලපෙන්නෙ නෑ. මගේ සියලුම ගීත අතරින් තෝරාගත් ගීත තමයි, ඒ පොතට ඇතුළත් වුණේ. සරෝජා, සහ ජයසිරිමා හාමුදුරුවනේ කියලා ගීත පොත් දෙකක් එයට පෙර පළ කළා. අලුත් ගීත පොතට පෙරදී ලියූ සියලුම ගීතවලින් තෝරාගත් ගීත තිබුණා. ඒ නිසා එය සාහිත්‍ය සම්මාන කොන්දේසිවලට වලංගු වන්නෙත් නැහැ, සමහර ගීත කලින් පළවී තිබූ නිසා. නමුත් විනිශ්චය මණ්ඩලයත් දන්නෙ නැහැනේ, මේ ගීත පළවුණාද නැද්ද කියලා.
ජ්‍යෙෂ්ඨ ගීත රචක සුනිල් සරත් පෙරේරාගේ සඳකත්මිණ කෘතියට සම්මානය ලැබුණා. එතුමාගේ ගීතවලට සම්මානය දීම පිළිබඳ කිසිම ගැටලුවක් නෑ. එතුමා සම්මාන හිමිවිය යුතු කෙනෙක්. මෙතන ගැටලුව තියෙන්නේ අනුගමනය කරන තාක්ෂණික ක්‍රමය සම්බන්ධයෙන්. එහි එක ගීතයක් මෙයට පෙර පළවී තිබුණා කියලා විනිශ්චය මණ්ඩලයට වගේම ගීතරචකයාටත් මතකයක් නැතුව ඇති. මේ නිසා සම්මාන ඇවැසි අය නියම ප්‍රමිතියට අයදුම්පතක් පුරවා යොමුකිරීමේ අවස්ථාව තිබිය යුතුයි. මගේ පොතෙත් පළවූ ගීතරචනා තිබෙනවා. එයට බැරිවෙලාවත් සම්මානය ලැබුණානම් එහි වැරුද්ද මගේද? විනිශ්චය මණ්ඩලයේද? ක්‍රමවේදය තමයි වෙනස් විය යුත්තේ.
අද අලුත් ගීත රචක පරම්පරාවේ සිහිනයක් තිබෙනවා, කෙසේ හෝ වියදම් කර ගීතයක් පටිගත කරගෙන යූටියුබ් එකට දැමීමට. ඒක ගැන ඔබ හිතන්නේ කුමක්ද?
ඇත්තටම මොකක් හරි රස මනසක් තිබෙන කාට වුණත් ගීත හෝ කවි ලියන්න පුළුවන්. නමුත් ඒවායේ විවිධ මට්ටම් තිබේවි. රංචාගොඩ ළමයා, නෝනහාමිනේ, බුයිඅප්පු වගේ ජනකවීන් එදා හිටියේ. ඒ අතරෙම ඇලපාත මුදලි, ගජමන් නෝනා වගේ විදග්ධ අයත් හිටියා. යූටියුබ් එකට ගීතයක් කරල, තම තෘප්තිය සඳහා දැමීම ගැන කිසි ගැටලුවක් නෑ. අපිත් සතුටු විය යුතුයි, තවත් කෙනෙක් ගීතරචනයට පිවිසෙනවා කියලා. ඔවුන්ගේ අඩුපාඩු හදාගැනීමට අපි උදව් කළ යුතුයි. හුඟක් දෙනෙකුට වෙන්නේ එක් ගීතයක් ලියූ පමණින් මහා ලොකුවට හිතන්න ගැනීමයි. එක් තනුවක් දැමූ පමණින් කේමදාස මාස්ටර්ටත් අභියෝග කිරීමයි. එහෙම ගමනක් යන්න බැහැ.
ගීතරචනා කලාවට පිවිසීමට හුඟදෙනෙක් කැමතියි. ඔවුන්ට ඔබ කියන්නේ කුමක්ද?
මේක ජනප්‍රිය කලාවක් තමයි. කවියට වඩා නාදය, තනුව කටහඬ වගේ සම්පත් ගීතයට තිබෙනවා. කවිය බුද්ධිය අමතන ගැඹුරු මාධ්‍යයක්. ගීතය හදවත අමතන මාධ්‍යයක්. ගීතය අහනකොට අපි රසාලිප්ත ලෝකයකට පිවිසෙනවා. නමුත් කලාවන්ගෙන් උත්තම කලාව කවියයි. මේ නිසා ජනප්‍රිය ගීතයට වැඩිදෙනෙක් ඇලුම් කරන එක පුදුමයක් නොවෙයි. නමුත් නවකයන් මේ ක්ෂේත්‍රයට පැමිණිය යුත්තේ හොඳ නිර්මාණ හරහායි. කුමාරතුංග කියල තියෙන්නේ නම පළවනු එකෙකී, පල්වනු එකෙකී කියලා. හොඳ නිර්මාණ නැත්නම් නම පල්වේවි. ඒ නිසා අලුත් ආරකින් අලුත් ඇසකින් යමක් දෙස බැලීමට හුරැවිය යුතුයි. ඒකට කියන්නේ අපූර්වත්වය. තමන්ගේ සලකුණ ඒ ගීතය මත තැබිය යුතුයි. ගීත රචනයට පිවිසෙන කෙනෙක් භාෂාව හොඳින් හැදෑරිය යුතුයි. ජනශ්‍රැතිය වගේ දේවල් දැනගෙන සිටීමත් අවශ්‍යයි. සාරංගදේව කියන ආචාර්යවරයා සංගීත රත්නාකරය නම් කෘතියේ පවසනවා, ගීත රචනයට සුදුසුකම් 27ක් පැවතිය යුතු බව. මේක හැදෑරිය යුතු කලාවක්. ඒ සඳහා කැපවීම අවශ්‍යයි.
කුසුම්සිරි