ජනාධිපතිවරයා පසුගිය නොවැම්බර් මස 19 දින මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කවුරුත් බලාපොරොත්තුව සිටියේ මහ මැතිවරණයක් එනු ඇත කියාය. රටේ දේශපාලන පක්ෂ මෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු විවිධ රාජ්‍ය ආයතන මැතිවරණය සඳහා යුහුසුළුව සූදානම් වෙමින් සිටියේය. එහෙත් 2019 ජනවාරි මස 05 දිනට නියමිතව තිබූ එම මහ මැතිවරණය පසුගිය 13 දා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඒකමතිකව නිකුත් කෙරුණු අතුරු තහනම් නියෝගයක් මඟින් දෙසැම්බර් මස 07 දා දක්වා මේ වනවිට අත්හිටුවා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස මැතිවරණය පැවැත්වීම අත්හිටවූයේ මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා නොවැම්බර් 09 දින නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලූ පෙත්සම් 13ක් සලකා බලමිනි. දේශපාලන පක්ෂ 5ක්ද මෙම පෙත්සම්කරුවන් අතරට අයත් විය. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සංධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය එම දේශපාලන පක්ෂ 5 වෙයි. එජාප මහ ලේකම් කබීර් හෂීම්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන්, ජවිපෙ අනුර කුමාර දිසානායක, එක්සත් ජාතික පෙරමුණේ ලාල් විජේනායක, මැතිවරණ කොමිෂමේ සාමාජිකයකු වන මහාචාර්ය ආර්. රත්නජිවන් හූල්, නීතිඥවරුන් වන අරුණ ලක්සිරි, ලාල් විජේනායක යන අයද සෙසු පෙත්සම්කරුවෝ වූහ.
මෙම පෙත්සම් 13ට අමතර වශයෙන් ඒවාට එරෙහිව කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය ජී. එල්. පීරිස්, ආචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය ජගත් වැල්ලවත්තගේ,වෛද්‍ය සිසිර සේන ද සිල්වා, අමාත්‍ය උදය ගම්මන්පිල සහ නීතීඥ ප්‍රේමනාන් සී. දොළවත්ත යන අයද මැදිහත්කාර පෙත්සම් ගොනුකර තිබිණි.
මෙම සියලු පෙත්සම් සලකා බැලුණේ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේය. පසුගිය 12දා උදේ ගොනු කර තිබූ මෙම පෙත්සම් හදිසි කරුණක් ලෙස සලකා එදිනම සවස 2.00 සිට සලකා බැලීම ඇරඹිණි. එදින පස්වරු 5.30 දක්වා පෙත්සම්කරුවන් කරුණු ඉදිරිපත් කළ අතර පසුදා උදේ නීතිපතිවරයා ස්වකීය මතය ප්‍රකාශ කළේය. අතරමැදි පෙත්සම් සලකා බැලීම පස්වරු 5.00 දක්වා සිදු කෙරිණි. දින දෙකක කාලය තුළ පැය 12කට වැඩි කාලයක් මෙම පෙත්සම් සලකා බැලීමට ගත කර තිබිණි. අනතුරුව 13 වැනිදාම පස්වරු 6.00ට පමණ සිය නියෝගය ප්‍රකාශ කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමත් විය.
එම නියෝගය අනුව පාර්ලිමේන්තුව විසිරවීමේ ජනාධිපතිගේ ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම දෙසැම්බර් මස 07 දක්වා අත්හිටුවා ඇත. එසේම මෙම සියලු පෙත්සම් දෙසැම්බර් 4, 5 හා 6 යන දිනවල විභාග කර අවසන් කිරීමට ද නියෝග කෙරුණි. තවද නොවැම්බර් මස 14 වැනි දිනට පෙර පෙත්සම්කාර සහ වග උත්තරකාර දෙපාර්ශවයේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට ද නොවැම්බර් මස 17 දින තෙක් ලිඛිත ප්‍රති විරෝධතා ගොනු කිරීමට ද නියම කෙරුණි. එසේම නඩු තීන්දුවේ පිටපත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට යැවීමට ද නියෝග කර ඇත.
ජනාධිපතිවරයා විසින් නොවැම්බර් මස 9 දා මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ දක්වා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 (ඇ) අනු ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 ව්‍යවස්ථාවේ 2 අනු ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ 5 අනු ව්‍යවස්ථාව යටතේ ජනපතිට ලැබුණු බලතල අනුව මෙම නියමයන් කරන බවය. එසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයේ මහ මැතිවරණය ජනවාරි 5 දින පැවැත්වෙන බවද නාම යෝජනා පත්‍ර 19 වැනිදා සිට 26 දින දක්වා බාර ගන්නා බවද සඳහන් කර තිබුණි.
පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසු මැතිවරණ දිනය හා නාම යෝජනා පත්‍ර දින මෙතෙක් ප්‍රකාශයට පත් කළේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් නමුදු මෙවර ඒ සියලු දවස් ජනාධිපති විසින් තීරණය කර තිබීම විශේෂ විය. එසේම මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට මැතිවරණය සඳහා වූ කාල සීමාව ද මෙවර මාස දෙකකට පමණ සීමා වූ කෙටි කාලයක් විය.
පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් ජනාධිපති ලේකම්, නීතිපති, මැතිවරණ කොමිෂන් සභාව, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ද නම්කර තිබුණි. පෙත්සම් සලකා බැලීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 12 දා පෙරවරු 11.00ට ආරම්භ කළ අතර මුලින්ම කරුණු දැක්වීමට ඉදිරිපත් වූයේ දෙමළ ජාතික සංධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඊ. කනගඊස්වරන් මහතාය. එහෙත් එයට විරෝධය පළකළ අතිරේක සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්නම් පැවසුවේ මේ පෙත්සම සඳහා නීතිපතිවරයාට නොතීසි ලැබී නැති අතර එසේ නොතීසි ලැබී නැති විටෙක නඩුව ආරම්භ කිරීමට ඉඩ දිය නොහැකි බවය.
එදිනම සවස 2.00ට පෙත්සම් යළි කැඳවූ අවස්ථාවේදී පෙනී සිටි නීතිපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය පෙන්වා දුන්නේ මෙම පෙත්සම්වලින් අභියෝගයට ලක්කර ඇත්තේ අතිගරු ජනාධිපතිවරයාගේ විධානයක් වන නිසා ඒ පිළිබඳ ජනාධිපතිගේ උපදෙස් ලබාගැනීමට තමාට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවය. එහෙත් එම ඉල්ලීම සැලකිල්ලට නොගත් විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නේය.
මුලින්ම කරුණු දැක්වූයේ පෙත්සම්කාර දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්පන්දන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඊ. කනගඊෂ්වරන් මහතාය.
“ජනාධිපතිවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධියි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එහි 70 (1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව නියමිත කාලය අවසන් වීමෙන් පසු පමණක් විසුරුවා හැරීමට බලය තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු සෘජු බලතල පිළිබඳ සඳහන් වන්නේ එම වගන්තියේ පමණයි. 70 (7) වගන්තිය අනුව වෙනත් හේතුවක් මත පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් තුනෙන් දෙකක බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක ඉල්ලීම අනුව විසුරුවා හැරිය යුතුයි. මේ හැර විසුරුවා හැරීමට ජනාධිපතිට අභිමතානුසාරි බලයක් නැහැ. අනිත් හැමවිටම ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතුයි”
එහිදී ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේ මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපති ගත් අත්තනෝමතික, ඒකාධිපති, ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන තීරණයක් බවයි.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ තිලක් මාරපන පැවසුවේ ජනාධිපතිවරයා කළ මෙම ක්‍රියාව හේතුවෙන් ව්‍යවස්ථාවේ 70 වගන්තිය සමඟ කියැවෙන 33 වගන්තිය උල්ලංඝනය වී ඇති බවකි. ජනාධිපති සිය බලය අයුතු ලෙස භාවිත කර ඇති නිසා ඔහු ගත් ක්‍රියාමාර්ගය බල රහිත කරන ලෙස නීතීඥවරයා ඉල්ලා සිටියේය.
මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්න ජීවන් හූල් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා ප්‍රකාශ කළේ ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධි අතර එලෙස නීතියට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව පවත්වන මැතිවරණය ද නීති විරෝධී බවයි. යම් දිනක ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආවොත් එම අවස්ථාවේදී ද ඔහුට මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මේ අනුව බලය ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ජනාධිපති නීතීඥ චිරාන් කොරයා, ලාල් විජේනායක වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න, මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඩ්, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය වෙනුවෙන් නීතීඥ සුරේන් ප්‍රනාන්දු ද මුල් දිනයේදී විනිසුරුවන් හමුවේ කරුණු දැක්වූහ.
පසුදින (13) නීතිපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය වග උත්තරකරුවන් වෙනුවෙන් කරුණ දක්වමින් මෙසේ කීවේය. මේ කරුණු දැක්වීම පැය 1 ½කට වැඩි කාලයක් තුළ සිදුවිය.
&19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) වගන්තිය ප්‍රකාරවයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා ඇත්තේ ඔහු ගත් ක්‍රියා මාර්ගය නිත්‍යනුකූල නිවැරදි එකක්. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මෙන්ම ඉන් අනතුරුව ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) වගන්තියේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) වගන්තිය මඟින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් සීමා කර නැහැ. අභිබවා ගොස් නැහැ. ඒ අනුවයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ”
නීතිපතිවරයා පෙන්වා දුන් තවත් කරුණක් වූයේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ නියෝග අභියෝගයට ලක්කිරීමට කිසිවකුටත් ඉඩ නැති බවයි. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි අවස්ථා බවට ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වීම හා ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවල පමණකැයි නීතිපති අවධාරණය කළේය. මේ නිසා මෙම විසිරවීමට අභියෝග කිරීමට කිසිවකුටවත් ඉඩක් නැත යන්න ඔහුගේ ස්ථාවරය විය.
අනතුරුව අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතීඥවරුන් වන ගාමිණී මාරපන, අලි සබ්රි, මනෝහර ද සිල්වා යන අය පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා අධිකරණයට කැඳවීමට හෝ ඔහුගේ කටයුතු පිළිබඳ ප්‍රශ්න කිරීමට කිසිවකුටවත් හැකියාවක් නොමැති බවයි. ඒ අනුව ජනාධිපතිගේ ක්‍රියාවක් හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවූ බවට මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නියම නොකර නිෂ්ප්‍රභ කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
පෙත්සම් විභාග කරන මුල් දිනයේ අධිකරණ භූමියේදී අමාත්‍ය වාසුදේව නානායක්කාරට පිරිසකගෙන් විරෝධතා එල්ල වූ අතර ඔවුන් කලහකාරී ලෙස හැසිරෙනු දක්නට ලැබිණි. මේ නිසා 13 දා අධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයේ කැරලි මර්දන පොලිස් නිලධාරීන් රැසක් රැකවල්ලා සිටි අතර ජල ප්‍රහාර එල්ල කර පිරිස් විසුරුවා හැරීමට යොදාගන්නා බවුසර් ද තැන තැන නවත්වා තිබුණි. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ආරක්ෂක වළල්ලක් ස්ථාපිත කර තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වන අය තරයේ පරික්ෂා කිරීමට ද ඇතුළු වන පුද්ගලයන් සීමා කිරීමට ද කටයුතු යොදා තිබුණි.
මෙම පෙත්සම් විභාග කරන දින දෙකේදීම අංක 502 දරන අධිකරණ ශාලාව මැති ඇමැතිවරුන්ගෙන් නීතීඥයන්ගෙන් සහ විදේශීය තානාපති නිලධාරීන් ආදීන්ගෙන් පිරී පැවති අතර සිදුවන්ගේ කුමක්ද යන්න පිළිබඳ සැම දෙනාම දැඩි විමසිල්ලෙන් සිටිනු දැකගත හැකිවිය. එසේම අධිකරණ පරිශ්‍රයෙන් පිටත ද විශාල ජනකායක් තීන්දුව ප්‍රකාශ කරන තුරුම රැඳී සිටියහ.
I යසවර්ධන රුද්රිගු