අලි ගම්වැදීම ගැමියන්ගේ දේපළ හා ජීවිත විනාශ කිරීම ආදී චෝදනා අඩුවක් නැත. කාලයක පටන් පවතින අලි - මිනිස් ගැටුම හේතුවෙන් ඝාතනය වූ අලි ඇතුන් ප්‍රමාණය ඉහළය. එවැනි තත්ත්වයක් තුළ අලි - මිනිස් ගැටුම දෙපාර්ශවයටම සහනයක් වූ ගම්වදින අලි පලවා හරින නිවි නිවී දැල්වෙන විදුලි පහනක් නිර්මාණය කරන්නට ශ්‍රී ලංකා යුද හමුදාවේ පර්යේෂණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාව සමත්ව සිටිති.
වන අලි පැමිණීම වළක්වන්නට සාර්ථක ක්‍රමයක් ලෙස හඳුනාගෙන ඇති මෙය ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව කී යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසුවේ යුද හමුදා පර්යේෂණ විශ්ලේෂණ හා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් රේණුක රොවෙල් මහතාගේ අධීක්ෂණයෙන් එහි තාක්ෂණ අංශ ප්‍රධානී කර්නල් සුදත් දේශප්‍රිය උදයසේන මහතා විසින් මෙය නිර්මාණය කර තිබෙන බවය.
ජාතික නව නිපැයුම් තරගාවලිය - 2018 විවෘත අංශය වෙනුවෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙන මෙම නිර්මාණය මහජන සාමය හා ආරක්ෂාව යටතේ ඉදිරිපත් කර තිබුණි. අලි ඇතුන් ගම් වැදීම නිසා පීඩාවට පත්ව තිබූ ප්‍රදේශ ගණනාවක මෙම විදුලි පහන් ස්ථානගත කිරීම මඟින් ජනතාවටත් වන අලින්ටත් පීඩාවකින් තොරව පිටත් වීමට හැකියාව ලැබී තිබෙන බවට තොරතුරු රාශියකි. වන අලි පලවා හරින නිවි නිවී දැල්වෙන විදුලි පහනේ නිමැවුම්කරැ කර්නල් සුදත් දේශප්‍රිය උදයසේන මේ පිළිබඳව අදහස් දැක්වීය.
ඇත්තටම මේ අදහස මතු වුණේ මගේ රියදුරු නිසයි. ඔහුගේ පදිංචිය විලච්චි - දෙගෑව ප්‍රදේශයේ. එයාට සහ ගමේ අයට අලි ප්‍රශ්නය දරුණුවට තිබුණා. මෙයාගෙ ගෙදර තිබුණෙත් අලිමංකඩක් කිට්ටුවමයි. එයාගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න අපි මොනවද කළ යුත්තේ කියලා හිතුවා. ඊට අදාළ විවිධ ක්‍රම ගැන හිතුවා. ගොඩක් තිබුණේ මානසික බාධාවන් සිදු කිරීමයි. මේ නිසා අලින්ගේ ජීව විද්‍යාත්මකව තිබෙන දුර්වලතාවයක් පිළිබඳව හෙවුවා. එතැනදී දැනගත්තා අලින්ගෙ සන්නිවේදන ක්‍රමය කකුලේ සහ ඇසේ තිබෙන බව. රෑ දවල් දෙකේම අලියා හැසිරුණාට රෑට තමයි වැඩියෙන් ඇවිදින්නේ. මේ නිසා අලියාගේ පෙනීම සහ ඇස් ආශ්‍රිතව යමක් කළ යුතුයි කියලා හිතුවා. මේ ගැන හොයද්දී ජපානයේ මහාචාර්යවරයෙක් කරපු අධ්‍යයනයක් ගැන තොරතුරු ලැබුණා. ඔහු කරලා තිබුණේ අලින්ගේ සහ මිනිසුන්ගේ පෙනීම පරිවර්තනය වෙලා තිබෙන ආකාරය පිළිබඳවයි. අලියා වර්ණ අන්ධතාවයෙන් පෙළෙනවා. අලියාට පේන්නේ කොළ පාටට ආසන්න පාට පමණයි. රූට පේන්නේ නැනෝ මීටර් 420 – 490 අතර ආලෝකය පමණයි. මේ නිසා අලියාගේ ඇහේ සෛලවලට ලොකු ආලෝකයක් දරන්න අමාරුයි. මේ නිසා අපි පිළියමක් විදිහට මේ නිර්මාණය කරන්න අදහස් කළා
ආලෝකය භාවිතයෙන් අලි ඇතුන් බිය ගන්වා පලවා හැරීමට සහ එය පරිසරයට හානියක් නොවන අයුරින් සිදු කිරීමට අරමුණු කරගෙන තිබුණි. ඊට අලි ඇතුන්ගේ ජෛව විද්‍යාත්මක දුබලතාවයක් ඉලක්ක කරගැනීමටත් සතාගේ මනස තුළ ප්‍රභල මානසික බාධාවක් ඇති කිරීමටත් පියවර ගෙන තිබිණ. මෙමඟින් ජනතාවටත් ඔවුනගේ දේපළවලටත් හිරිහැරයක් නොවන පරිදි ආරක්ෂිත හා පරිසර හිතකාමී අයුරින් නිර්මාණය කිරීමට ද උත්සාහ දරා ඇත. මේ හරහා අලි පරපුර අනාගතයට ආරක්ෂාකාරී ලෙස රැක ගැනීමට ද අරමුණු කරගෙන තිබිණි.
මෙහෙම නිර්මාණය කරපු විදුලි පහන් කීපයක් පළමු වරට මගේ රියදුරු කැලුම් මහතාගේ නිවස ආසන්නයේ පිහිටෙවුවා. ඊට පස්සේ එම ප්‍රදේශයේ අලි කරදරය නැති වුණා. වැඩේ සාර්ථකයි කියලා තේරැණා. මේ අතරේ ඒ ප්‍රදේශයේ වට්ටක්කා වගා කළ ගොවීන් පිරිසක් හේන් අවට මේ විදුලි පහන් කීපයක් ස්ථාපිත කළා. එහිදී හේන්වලට අලි කරදරයක් එල්ල වුණේ නෑ. මෙතැනදී හෙළි වුණා අලින්ට නිවි නිවී දැල්වෙන ආලෝකය සහ තනි ආලෝක කදම්බයක් දිහා බලන්න අපහසුයි කියලා. මේ නිසා අපි හදපු ලයිට් එක මීටර් සීයක විතර දුරකට ක්‍රියාත්මක වෙනවා. එය මීටර් 50ක දුරකදී දෙගුණයක් ප්‍රබලව පේනවා. මේ නිසා අලියාට ඉන් ඉදිරියට එන්න බැරිවෙනවා. මේ කරුණු අනුව අපි අලින්ගේ උස ප්‍රමාණය දිහා බලලා අඩි 8ක උසකින් මේ පහන් ස්ථාපිත කළා. විදුලි පහන් දෙකක අතර දුර අඩි 20ක් විතර වෙනවා. එතකොට මේ කිට්ටුවටවත් අලින්ට එන්න පුළුවන්කමක් නෑ.
මෙම විදුලි පහන් සඳහා LED මාදිලියේ බල්බ භාවිතා කර තිබෙන අතර ඒවා තනි සුදු පැහැතිය. දැනට මේ නිර්මාණය ගල්ගමුව, වලස්වැව, නොච්චියාගම, තඹුත්තේගම සහ විලච්චිය දෙගෑව ප්‍රදේශවල ස්ථානගත කර ඇති අතර ඒවායෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. මාස 9කට ඉහතදී ඉදි කළ විදුලි පහන්වල ක්‍රියාකාරීත්වය තවමත් එසේම පවතින අතර යුද හමුදාවේ ප්‍රතිපාදන හරහා ව්‍යාපෘති සිදුකර තිබුණි. ඒ අනුව සියල්ලම ජනතාවට නොමිලයේ ලබාදීම විශේෂිතය.
විදුලි පහනක් නිර්මාණය සඳහා LED බල්බ් පහක්, ආවරණයක්, රඳවනය, බැටරිය, චාර්ජරය, වයරය ඇතුළු මූලික උපකරණ කීපයකින් සමන්විතය. මේවා සාමාන්‍ය වෙළෙඳපොළෙන් ලබාගත හැකි ඒවාය. යුද හමුදාව මෙය නිර්මාණය කර ඇත්තේ අවශ්‍යතාවය ඇති පිරිසට මෙය නරඹා ඒ අනුව තවත් නිෂ්පාදනයක් සිදු කළ හැකි ආකාරයටය. ඊට හේතුව මෙම නව නිපැයුම යම් කෙනෙක් හෝ පිරිසක් වෙළෙඳ භාණ්ඩයක් ලෙස අලෙවි කිරීම නවතාලීමට හැකි පරිදිය.
අලි මිනිස් ගැටුම අර්බුදයක් ලෙස හැඳින්වුවද මේ සඳහා විසඳුම් සොයන පිරිස් පිළිබඳව හෝ එම නිර්මාණයන් පිළිබඳව දැනුම්වත් කිරීමට අවස්ථාව විරල බව කර්නල් සුදත් දේශප්‍රිය උදයසේන මහතාගේ අදහසය. වැඩිදුරටත් ඔහු පවසන්නේ මෙතෙක් සිදුකළ හදාබැලීම් අති සාර්ථක බවය. යුද හමුදා පාබල රෙජිමේන්තුවේ සිට සක්‍රීය ලෙස යුද මෙහෙයුම්වලට දායක වී ඇති කර්නල් උදයසේන මහතා යාපනය ප්‍රදේශයේ පැවති යුධ මෙහෙයුමකදී තුවාල ලබා පූර්ණ කාලීනව ආබාධිත වූ සෙබළෙකි. ඔහු මෙම නිර්මාණයට අමතරව අලි පලවා හැරීම සඳහා භාවිතයට ගන්නා අලි වෙඩිල්ල වෙනුවට නව නිර්මාණයක කිරීමේ කාර්යක නිරතව සිටී. ඒ සඳහා මිරිස් හා ගම්මිරිස් භාවිත කරන්නට නියමිත බවද සඳහන් කළේය. මෙය කිසිදු සත්ත්වයකුට හානියක් නොවන තාවකාලිකව අඩපණ කිරීමේ හැකියාවකින් යුතු එකක් බවද පැවසූ අතර රාත්‍රියේ ගමන් කරන ජනතාවට අලින්ගෙන් ආරක්ෂා වීමට හැකි ඇඳුමක් නිර්මාණය කිරීමේ කටයුත්තක ද නිරතව සිටින බව සඳහන් කළේය.
ස්තූතිය
(යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාට)
සමන්ත ප්‍රදීප් විල්තෙර