2018 නොවැම්බර් 22 වන බ්‍රහස්පතින්දා

රිදී තිරයටත් ආ අ‍ෙප් කාලේ මිනීමැරුම්

 2018 නොවැම්බර් 22 වන බ්‍රහස්පතින්දා, ප.ව. 12:31 503

අපේ ජීවිත කාලය තුළ අපි සුන්දරත්වය නොඅඩුව විඳ ගත්තෙමු. එම සුන්දරත්වය සිතට දැනෙන්නට එක් හේතුවක් වූයේ ගුවන් විදුලියෙන් ඇසුණු ගීතය. විවිධ සංගීත ආරවලින් සැදි විවිධ පදමාලා ඇති විවිධ ගායන ශෛලීන් ඇති සින්දු ලෝකයක අපි ජීවත් වූයෙමු. විනෝදය පිරි සිනමාවේත් අතිශ්‍ය කලාත්මක සිනමාවේත් රසය අපි නොඅඩුව උකහා ගත්තෙමු. අද තරම් ශබ්දයෙන් දූෂිත නොවූ කැළිකසළින් දූෂිත නොවූ පරිසරයක අපේ ළමා හා යොවුන් විය ගතකරන්නට අපට වාසනාව තිබිණි.

ඒ හාසමාන වන බිහිසුණු බව පිළිබඳ ලැබෙන පුවත්වලිනුත්, ඍජුව බිහිසුණු බවට මුහුණ දීමෙනුත් ඉහත කී සුන්දරත්වයට හාත්පසින් වෙනස් වූ ජීවිත අත්දැකීම් අපේ ළමා හා යොවුන් වියේදී අපට නොඅඩුව ලැබුණේය.

අප උපත ලබන කාලය වනවිට බිහිසුණු මිනීමැරුම් නඩු සහ රටේ ආන්දෝලනයට තුඩු දුන් ඒහා බැඳුණු මංකොල්ල රාශියක් සිදුවී තිබිණි. හාරලක්ෂ මංකොල්ලය, ටර්ෆ් ක්ලබ් මිනී මැරුම ඉන් දෙකකි.

යාම්තමින් පත්තරයක් කියවා ගතහැකි කාලයේ පටන් දශක ගණනාවක් ගතවන තුරු මේ දක්වාම බිහිසුණු අපරාධ පිළිබඳ තොරතුරු අපි කියවිමු. අපේ කාලයේ කවිකොළකාරයෝ එම සිද්ධි ගැන කවිකොළ අච්චු ගැසූහ. බිහිසුණු අපරාධයක් ගැන පුවතක් ගීයකින් අසාගන්නට නොහැකිවූයේ කලාතුරකිනි.

ජීවිතයේ අඳුරු පැත්ත ගැන අපට දනවමින් පළමු අපරාධය පිළිබඳ තොරතුරු අපේ කනවැකුණේ අපට අවුරුදු හතක්වත් නොවූ තරම් වයසේදීය. ඒ ගෝඨාභය කිරඹකන්ද ඝාතනය පිළිබඳ බිහිසුණු තොරතුරු රැසයි. ගෝඨාභය අපට වඩා අවුරුදු තුනකින් පමණ වැඩි වයසේ සිටි ශිෂ්‍යයෙකි. ගල්කිස්සේ හේන විද්‍යාලයේ ඔහු හතර වැනි ශ්‍රේණියේ ඉන්නාවිට අප සිටියේ ඊට පන්ති දෙකක් පමණ පහළින්ය. ඔහුට හතර වැනි ශ්‍රේණියෙන් පස්වැන්නට සමත් විය නොහැකි විය. හතරවැනි ශ්‍රේණිය අසමත් වී සිටි ඔහු මරණයට ලක්වූයේ ඒ වසරේ පෙබරවාරි මාසයේය. අපට ගෝඨාභය හොඳින් මතකය. එසේ වූයේ ඔහුගේ නම ඒ වනවිට සුලබ නමක් නොවීම නිසාය. පාසල් මිදුලේ ඔහු දිවයන අයුරු මට අද පවා මතකයට නැගේ. ගෝඨාභයගේ සිරුර ළිඳකින් ගොඩගත් සැටි, පාසලට අල්ලපු වත්තේ සිටි නිතර පාසලේ වැඩට උදව් කළ ආච්චි ළමයින් වටකර ගෙන විස්තර කළා මට හොඳින් මතකය. කිරඹකන්ද යන ඔහුගේ වාසගමත්, පෝලින් ද ක_ස් ගැනත් ඔහුගේ පියාවූ බෝධිපාල කිරඹකන්ද ගැනත් තොරතුරු දැනගත්තේ පුවත්පත්වලිනි.

ඉන් අනතුරුව කැලැත්තෑව මිනී මැරුම් ගැනත්, දොඩම්පේ මුදලාලිගේ මරණය ගැනත්, කුලරත්න නඩුව ගැනත්, මැතිව් පීරිස් නඩුව ගැනත් තොරතුරු ඇතුළත් මිනී මැරුම් නඩු කිහිපයක් ගැනම තොරතුරු අපට පුවත්පත්වලින් කියවාගත හැකි වූයේය.

ගෝඨාභයගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පියාට අත්අඩංගුවට ගත්තේ ඇයිද යන්න කුඩා කාලයේ අපට තේරුණේ නැත. තාත්තා කෙනෙක් දරුවකුගේ මරණයට වගකිවයුතුය යන්න අපට තිබූ අත්දැකීම් අනුව කොහොමටවත් සිතාගන්නට නොහැකි වූයේය. ගෝඨාභය මියගියදා විවේක කාලයේදී පාසලට ආ බව එකල ළමයි කතා වූහ. හේන විද්‍යාලයේ අප දන්නා හඳුනන ශිෂ්‍යයන් තිදෙනෙක් පමණ කිරඹකන්ද නඩුවට සාක්ෂි දුන්හ.

ගෝඨාභය ඝාතනයට වරදකාරිය ලෙස තීන්දුව පෝලින් ද ක_ස් හට මුලින්ම මරණීය දණ්ඩනය නියම වූයේය. පසුව අග්‍රාණ්ඩුකාරතුමා විසින් ඇගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට ලිහිල් කරන ලදී. ලැබුණු තොරතුරු අනුව පසු කාලයක සිරෙන් නිදහස් වූ ඇය 1991 පමණ ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා ගොස් තිබේ. ගෝඨාභය ඝාතන නඩුව ගැන දැන් තොරතුරු සොයනා අයෙකුට මහාගුප්ත බවක් සිතට දැනෙනු නොඅනුමානය. පෝලින් ද ක_ස් ගෝඨාභයව ළිඳට දමනවා දුටු ඇසින් දුටු සාක්ෂියක් ඉදිරිපත් වී නැත. මරණ දඬුවම නියම වූ වේලේ ඈ කළ ප්‍රකාශය උසාවියේ සිටි අය ගල්ගැසී අසා සිටි බව වාර්තාවල සඳහන් විය.

පූජනීයයයි සැලකෙන ඕනෑම දෙයක් නාමයෙන් මා දිවුරා සිටින්නම්. මේ අපරාධය මම නොකළෙමි. මම නිවැරදිකාරියයි. යනුවෙන් කී ඇය තවදුරටත් මෙසේ කියා ඇත. “මරණකරුගේ දේහය නිවසට ගෙන ආ විට එතැන බියැන්කා ජැක්සන් නම් කාන්තාවක් සිටියා. ඇගේ මෙහෙකාර ළමයා නෑදෑයන්ට දැනුම් දී තිබුණා දරුවාගේ පියා දරුවාව එදා හවස වත්තල නිවසකට එක්කර ගෙන ගියබව. සාන්ත රීටා පල්ලියේ සන්ක්‍රිස්තියන් මේ නඩුවට සාක්ෂියට කැඳව්වේ නැහැ. ඔහු එදා හවස 6.30ට මේ ළිඳෙන් වතුර ගනිද්දී දරුවාගේ මිනිය ළිඳ තුළ තිබී නැහැ. අධිකරණයේ සනාථ වූ ආකාරයට දරැවා දියේ ගිලී මිය ගොස් තිබුණේ හවස 3.00ට පමණය.

පෝලින් ක_ස්ට මරණ දඬුවම නියම කළ වේලේ මතුකළ ප්‍රශ්නයට මා දන්නා තරමින් මෙතෙක් පිළිතුරු ලැබී නැත.

ටෝල්ස්ටෝයිගේ පොත්, මාරි කොරලි ලියූ පොත් ඇතුළු පල්ලිය විසින් තහනම් කළ පොත් ඈ අභිරුචියකින් කියවා ඇති බව වාර්තා වී තිබේ. ඈ ගැන පළවෙන වාර්තා අනුව වරින්වර ඈ තමා ගැන පළකළ විශේෂ ප්‍රකාශ කිහිපයක් ඇත. නිතරම මගේ දුර්වලකම වූයේ තහනම් ගහේ ගෙඩි කෑමයි. ඉන් එකකි. ජීවත්වන්නට ආදරය ඕනෑය. ආදරය නැතිව මොන ජීවිතයක්ද පෝලින් ද ක_ස් පිළිබඳව මේ වනවිට පළවී ඇති විවිධ තොරතුරු වාර්තා සැලකිල්ලෙන් කියවූ විට ඈ කිනම් චේතනාවක් නිසා අප දන්නා ගෝඨාභය මරා දැමුවාදැයි සිතාගත හැකි නොවේ.

කැලැත්තෑව ද්විත්ව මිනීමැරුම්වල වරදකරුවන්ට එම මිනීමැරුම් සිදුකරන්නට තිබූ චේතනාව නම් ඉතාමත් පැහැදිලිය. හැට ගණන්වල සිදුවූ එම මිනීමැරුම් හේතුවෙන් ඇල්ෆ්‍රඩ් සොයිසා, කළු ඇල්බට් සහ විලී මාමාට මරණ දඬුවම් නියම වූයේ 1972 දීය. ඒ වනවිට පුවත්පතකින් කරුණු කියවා අපට පැහැදිලිව යමක් අවබෝධ කරගන්නට හැකිවූ වයසයි. එම චූදිතයින් පී.කේ.ජී. පෙරේරා ඝාතනය කර ඇත්තේ අති බිහිසුණු ආකාරයෙන් බව සාක්ෂිවලින් හෙළිදරව් විය. එහෙත් සන්දු සාගරව මෙම චූදිතයන් මරා දැමූ බව අධිකරණයේ සනාථ වී නැත. එම මිනීමැරීමට මේ තිදෙනාම වැරදිකරැවන් වී නොමැත.

පද්මිණි කුලරත්න මහත්මිය මරාදැමීම පිළිබඳව චෝදනා එල්ලවූයේ ඇගේ සැමියා වූ දොස්තර කුලරත්නට (ඩේමන් ගාමිණී කුලරත්න) සහ ඔහුගේ මව වූ ලෝරා කුලරත්නටයි. ගාල්ලේ සුමුදුසිරි නම් නිවසේ මෙම මිනීමැරුම සිදුවූ බව වාර්තා විය. පද්මිණි කුලරත්නට වස දීමෙන් ඇයව මරා දැමුණු බවට ඉහත කී අයට චෝදනා ඉදිරිපත් වුවද ඒවාට අධිකරණයේ සනාථ වී නැත. චූදිතයන් නිදහස් වී තිබිණි.

දරුවන් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලමින් මරා දැමීමේ සිද්ධි දෙකක් පිළිබඳ අපරාධයක් දැනට දශක දෙකකට කලකට උඩදී වාර්තා විය. මතුගම සමන් කුමාර සිසුවාගේ ඝාතනය පළමු වැන්නයි. දෙවැන්න අලුත්ගම සදීප ලක්ෂාන් දරුවාගේ පැහැරගැනීම සහ මරාදැමීම පිළිබඳ නඩුවයි. දරුවාගේ පියා ලක්ෂ 25ක කප්පමක් මිනී මරුවාට ගෙවා තිබිණි. එසේ පසුව අනාවරණය වූ තොරතුරු අනුව කප්පම් මුදල් ඉල්ලන විටත් මිනීමරුවා දරුවාව මරා දමා තිබිණි.

මෙරට ඉතිහාසයේ සුප්‍රකට සිදුවීමක් වූ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ සිද්ධියේ සැකකරු වූ අජිත් කුමාරව අල්ලාගන්නට දිවයින පුරා පොලිස් දැල එලා තිබුණත් ඔහුව අත්අඩංගුවට ගැණුනේ අහඹු සිද්ධියකිනි. පොලිසිය කෑගල්ල ප්‍රදේශයේ කුඹුරක හොර කසිප්පු තිප්පලක් වටලන අවස්ථාවේ ඒ අසල මඩුවක සැඟවී සිටි අජිත් කුමාර තමාව අල්ලාගන්නට ආවේය යන සැකය නිසා දුවගොස් තිබේ. පොලීසිය ඔහුව අල්ලාගෙන ඇත්තේ එසේ දිව ය්දදීය. සදීප ලක්ෂාන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවූ එවකට 17 වියේ පසුවූ අමිල නුවන් සිල්වා ද හසුවී ඇත්තේ සැක කටයුතු අන්දමින් පා පැදියකින් ගමන් කරමින් සිටියදීය.

ශ්‍රී ලංකාවේ අවසාන වශයෙන් මරණ දඬුවම විදි මරු සිරාද ආදරය ඉදිරියේ මෘදු හදවතක් ඇත්තකු ලෙස ක්‍රියාකොට ඇති බව ඔහු ලියූ කවිවලින් පැහැදිලිව පෙනීයයි. කැලැත්තෑවේ නඩුවේ චූදිතයන් කෙරෙහි කිසිදු අනුකම්පාවක් අප තුළ ඇති නොවන නමුත් මරු සිරා හෙවත් සිරිපාල ගැන නම් දන්නා සෑම කෙනෙක් තුළම ඇත්තේ අනුකම්පාවකි.

අපේ ලෝකය ලස්සන කළේ ගීතවලින් සහ චිත්‍රපටවලින් බව මෙම ලිපිය ආරම්භයේදී සඳහන්කොට ඇත. බිහිසුණු මිනීමැරුම් ඊට වඩා හාත්පසින් වෙනස්ය. ඒවායේ සුන්දර බවක් නැත. එහෙත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ සිද්ධිය හැර අනෙක් සෑම මිනී මැරුමක්ම චිත්‍රපටයකට තේමාවූ කතාවක් බවට පත්වී චිත්‍රපටයක් ලෙසින් අප ඉදිරියට නැවත ආයේය. ඇතැම් මිනී මැරුම් පිළිබඳ තොරතුරු ඇති චිත්‍රපටවල නටමින් ගයන වේග රිද්ම ගායනා ද වේ.

උද්වේගකර දේ කෙරෙහි සිතේ සැඟවුණු ළැදියාවත් අප සැමදෙනා තුළම තිබීම ඊට හේතුවී තිබේ. ජීවිතය සළිත කළ තොරතුරු රැගත් කතා පසුකලෙක චිත්‍රපට හෝ ගීත වී අපේ ජීවිත කාලය තුළම අප ඉදිරියට පැමිණ තිබේ. ඒ පිළිබඳ පුදුම විය යුතු නැත. අතිශය සාර්ථක ඛේදාන්ත නාට්‍ය බවට පත් සොෆොක්ලීස්ගේ ඊඩිපස්, ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර්, මැක්බත්, හැම්ලට් මේ සැම එකකටම මූලාශ්‍රය වී ඇත්තේ ඝාතනයන්ය. සත්‍ය සිදුවීම කලාත්මක ලෙස අප ජීවිතය තුළම ප්‍රතිනිර්මාණය වී තිබේ.  

 සමන් පුෂ්ප ලියනගේ