2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

එළබටු සෙම් රෝගීන්ගේ මිතුරෙක්

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 150

ආයුර්වේදයට අනුව වෘහති යන නාමයෙන් හඳුන්වන එළබටු සොලනම් මෙලොන්ගෙනා (Solanum Melongena) යන නාමයෙන් උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබයි. එළබබටු ආහාරයක් ලෙස ද ඖෂධයක් ලෙස ද ආසියානු රටවල භාවිතා කරයි.

එළබටු රෝග වළක්වා ගැනීමටත් බොහෝ රෝගවලට ප්‍රතිකාරයක් ලෙස ද යොදාගනී. එළබටුවල පවතින පෝෂණ ගුණය පිළිබඳ සැලකීමේදී වැඩිපුරම අන්තර්ගතව පවතින්නේ ජලයයි. එය ග්‍රෑම් 76කි. ප්‍රෝටීන් ග්‍රෑම් 8ක් ද, මැග්නීසියම් මිලිග්‍රෑම් 11, පොස්පරස් මිලිග්‍රෑම් 20, කැල්සියම් මිලිග්‍රෑම් 7, යකඩ මිලිග්‍රෑම් .19, සෝඩියම් මිලිග්‍රෑම් 2 අඩංගු වේ. මීට අමතරව විටමින් ඒ, විටමින් සී සහ විටමින් කේ ද අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල ද අන්තර්ගතව පවතී.

ආයුර්වේද විද්‍යාවට අනුව එළබටු වාත, පිත් දෝෂ සමනය කරයි. මේ නිසා අර්ශස් රෝගීන්ට ද ඉතා හිතකර එළවළුවක් ලෙසින් මෙය හැඳින්විය හැක. එළබටු ස්වසන පද්ධතියේ බොහෝ රෝග ගණනාවකටම ගුණදායක වන අතර විශේෂයෙන් කැස්ස, ඇදුම වැනි රෝගීන්ට වඩාත් ගුණදායක එළවළුවක් ලෙස හැඳින්විය හැක.

ඉදිමුම තත්ත්වයන් ඇති විටදී වේදනා නාශක ඖෂධයක් ලෙසින් හැඳින්වෙන එළබටු කෑම රැචිය ඇති කිරීමටත්, හෘදය උත්තේජනයක් ලෙසද එළබටු උපයෝගී වේ. ආඝාතය, හෘද රෝග වැනි රෝගවලදී ද දියවැඩියා රෝගයට ද මෙය ඉතා ගුණදායක එළවළුවක් ලෙස හැඳින්වේ.

එළබටුවල පවතින කහට, තිත්ත රසය, බෝ නොවන රෝග රැසකට ‍මෙන්ම අධික රැධිර පීඩනයට, ශරීරයේ අහිතකර කොළොස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට සහ ස්නායු දුර්වලතා මඟහරවා ගැනීමටද ගුණදායක වේ. කැල්සියම් යහමින් අඩංගු නිසා අස්ථිවල පෝෂණයට ඉතා ගුණදායක එළවළුවක් ලෙස සැලකේ.

මෙහි අඩු කැලරි ප්‍රමාණයක් අන්තර්ගත වේ. සීනි, මේදය අඩුය. කෙඳි වැඩි නිසා අධික තරබාරැවට ඉතා හිතකර එළවළුවක් ලෙසින් හැඳින්විය හැක. ආහාර දිරවීම පහසු කරයි. එළබටු නිතර නිතර ගැනීම ශරීරයට අහිතකර නොවේ.

එළබටුවල ඇති යකඩ ප්‍රමාණය නිසා රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ. එළබටු ලෙල්ලේ පවතින නැසුනින් (Nasunin) නම් ප්‍රතිඔක්සිකාරකය මොළයට ඉතා හිතකරයි. මතක ශක්තිය, බුද්ධි වර්ධනය ඇති කරයි.

රැධිර කේෂනාලිකාවල බිත්ති ශක්තිමත් කරයි. පිළිකා නාශක ගුණයක් එළබටුවල පවතී. සෙම් සහිත රෝගීන්ට ගුණදායක එළවළුවක් ලෙසින් මෙය හැඳින්විය හැක.