මළබද්ධය රෝගයක් ලෙස අද සමාජයේ බොහෝ දෙනාට ගැටලුවක්ව පවතින, බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. මෙය විවිධ හේතූන් මත ඇතිවන අසහනකාරී අවස්ථාවකි.
නිසි පරිදි නිතිපතා මළ පිට නොවීමෙන් ආහාර මාර්ගයේ පහළ කොටසේ මළ එක්රැස් වීම සිදුවේ. එවිට මෙම මළවල අඩංගු ජලය විශාල ප්‍රමාණයක් සිරුරට නැවත අවශෝෂණය වීමෙන් මළ තවදුරටත් තද සහ වියළි බවට පත්වී එය තවත් දරුණු අතට හැරීම සිදුවේ. එවිට ඒවා සිරුරෙන් පිටකිරීම තවත් අපහසු වෙනවා සේම අපහසුවෙන් පිට කිරීම නිසා ගුදයේ පටක ඉරී යාමත්, රුධිරය පිටවීම සිදුවිය හැකිය. අවශ්‍යතාවය තිබියදීත් මළ පිට නොකර සිටීමෙන් තවදුරටත් වියළි බවට පත්වී මළබද්ධය තීව්‍ර වෙයි.
වයස් භේදයකින් තොරව මෙම රෝගී අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවෙයි. එමෙන්ම ගැහැනු පිරිමි මෙන්ම කුඩා දරැවෝ ද විවිධ හේතූන් නිසා මේ රෝගයේ විඳිති. ඇතැම්විට උපතින්ම ඇතිවන ව්‍යූහාත්මක වෙනස්කම් ද බලපෑම් ඇති කරයි.
සාමාන්‍යයෙන් මෙම අවස්ථාවට මුහුණ දීමට වැඩි අවදානමක් ඇති පිරිස ලෙස වැඩිහිටියන් කාන්තාවන්, විජලනයට පත්වූවන් කෙඳි ආහාර අඩුවෙන් පරිභෝජනය කරන්නන් හා ව්‍යායාම් අඩු පුද්ගලයන් ලෙස දැක්විය හැකිය. මළබද්ධය ඇතිවීමට මීට අමතරව වෙනත් හේතු බලපායි.
ඖෂධ භාවිතය නිසා, උදාහරණ ලෙස වේදනා නාශක, අධි රුධිර පීඩනයට ගන්නා ඖෂධ, මානසික රෝග සඳහා ගන්නා ඖෂධ, අම්ල පිත්ත රෝගයේදී ගන්නා ඖෂධ සහ යකඩ අඩංගු විටමින් වර්ග භාවිත කිරීම, නිතර තේ, කෝපි, මත්පැන්, පැණි බීම පානය කිරීම මඟින් ද මළබද්ධය ඇතිවිය හැක.
මීට අමතරව ආහර මාර්ගයේ සිදුවන අවහිරතා නිසා ද මළබද්ධය ඇතිවිය නැත. විශාල ලෙස ආහාර මාර්ගයේ පණුවන් සිරවීම, මහාන්ත්‍රයේ ඇතිවන පිළිකා හා ගුද මාර්ගයේ ඇතිවන පිළිකා නිසා ද අවහිරවීම් ඇති කරයි. මෙහිදී මළ සමඟ රුධිරය පිටවීමක් ද බොහෝ විට දක්නට ලැබෙයි. එමෙන්ම ගුද මාර්ගයේ ඉරීම් තුවාල ඇති විටදී ද මළ සමඟ රැධිරය පිටවීමත් දක්නට ලැබෙයි.
මීට අමතරව ආහාර මාර්ගයෙන් පරිබාහිරව අනෙක් ඉන්ද්‍රියන් හා සම්බන්ධ ලෙඩ රෝග හේතුවෙන් ආහාර මාර්ගය අවහිර වීමෙන් සිදුවිය හැකිය. ගර්භාෂගත පිළිකා, මුත්‍රාශ්‍ර පිළිකා, හර්නියා මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැක.
සමහර රෝගයක් නිසා ඒ තුළ තුවාල කැළැල් හටගැනීමත් එමඟින් ආහාර මාර්ග කුහරය පටුවීමත් සිදුවිය හැක. එමෙන්ම බඩවැල් ගැටගැසීමත් ආහාර අවහිරතා ඇතිවීමට තවත් හේතුවක් වේ. බඩවැල් ආශ්‍රිත ශල්‍යකර්මවලින් පසුව මෙලෙස ඇතිවීමට පුළුවනි.
මීට අමතරව ගුද මාර්ගය ආශ්‍රිත මාංශපේශීවල ක්‍රියාකාරීත්වයන්ගේ දුර්වලතා නිසාද මළ පිට කිරීමේ අපහසුතා ඇතිවිය හැක. ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග මෙන්ම සුසුම්නාවට හානි සිදුවිය නිසාද මළබද්ධය ඇති වෙයි.
හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසාද, එනම් තයිරොයිඩ් ග්‍රන්ථියේ හා පැරාතයිරොයිඩ් ගන්ථයේ ක්‍රියාකාරීත්වයන්ගේ වෙනස්කම් හේතුවෙන්ද මළබද්ධය ඇතිවේ.
මෙලෙස මළබද්ධය ඇතිවීමට බොහොමයක් හේතුවල බලපෑමක් ඇතිවුවද බහුලවම දක්නට ලැබෙන්නේ අපට වෙනස් කර ගත හැකි හේතු සාධක සහිත අවස්ථාවයි. කෙසේ නමුත් මළ නිසියාකාරයෙක් පිට නොවීම නිසා උදරයේ වේදනාව, උදරය පුරවා දැමීම, ඔක්කාරය, වමනය, කෑම අරැචිය වැනි අසහනකාරී ලක්ෂණයන්ට මුහුණ පෑමට සිදුවනු ඇත.
එසේම මළබද්ධය අවස්ථාවකදී අර්ශස්, ගුද මර්ගයේ අවට පටක ඉරී යාම, ගුද මාර්ගය පහත් වී එළියට නෙරා ඒම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැක.
කෙඳි බහුල ආහාර නිතර ආහාරයට ගැනීම, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, ව්‍යායාම්වල යෙදීම ආදිය මඟින් නිසි පරිදි සිරැරේ ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න ද මළ පහකිරීමේ අපහසුතාවය දිගින් දිගටම පවතීනම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් ලබාගන්න.
කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල