යාපනේ එහෙමත් නැත්නම් යාල්පානමේ තියෙන ඉස්තරම් රස කොළඹ අපිට සමීප කරවන හොඳම තැනකට පහුගියදා අපි ගොඩවුණා. ඒ තමයි වැල්ලවත්තේ යාල් අවන්හල. මැරීන් ඩ්‍රයිව් එකේ පිහිටලා තියෙන මේ අවන්හල කොළඹ තියෙන හොඳම යාපනේ කෑම අවන්හලක් විදිහට ප්‍රසිද්ධයි.
අවන්හල මහල් දෙකකින් සමන්විතයි. උඩු මහල වායුසමනය කරලා නිසා එතැන ආහාර ගනිද්දී කෑමවල මුළු වටිනාකමෙන් සියයට දහයක් වැඩිපුර අයකරනවා. හැබැයි පහත මාලයට වඩා නිස්කලංක බවකුත් උඩු මහලේ තියෙනවා. මෙතැන සේවය කරන්න ඉන්න වේටර් මහත්තුරු ගොඩක් අය යාපනෙන් ආපු දෙමළ අය නිසා ටිකක් විතර සිංහලෙන් වැඩ කරන්න අමාරුයි. ඒ නිසා දෙමළ පොඩ්ඩක්වත් බැරිනම් ඉංග්‍රීසියෙන් සන්නිවේදනයේ යෙදෙන්න සිද්ධ වෙනවා.
අපි එතැනට යන වෙලාවේ ජැෆ්නාවලටම ආවේණික ඔඩියල් කූල් තිබුණෙ නෑ. කොහොම වුණත් මෙනු එකේම ගහල තියෙන විදිහට ඔඩියල් කූල් තියෙන්නෙ ඉරිදාට විතරයි. හැබැයි අපිට ඒ වගේම රසවත් කෑමක් මුණගැහුණා. ඒ තමයි කඩේ පාන් සමඟ ක්‍රැබ් කරි විත් ටී. මේකට පදමට ටෝස්ට් කරලා ගත්තු පාන් බාගයකුත් කකුළුවන් දෙන්නෙක්ගෙන් සමන්විත ක්‍රැබ් කරියකුත් රසම රස සම්බෝලෙකුත් කිරි තේකකුත් ලැබෙනවා. කකුළුවාගේ රස නම් ආයෙ වචනයෙන් විස්තර කරන්න බැහැ. තුනපහ හරි ගාණට දාලා තිබ්බෙ කකුළුවාගේ රසය ගාණට ඉස්මතු වෙන විදිහටයි. එක් අයෙකුගේ ආහාර වේලක් විදිහට නම් කරලා තිබුණත් දෙන්නෙක්ට හොඳට සෑහෙන විදිහට ඒක පිළිගැන්වෙනවා.
ඊට අමතරව චිකන් පිට්ටු කොත්තුවකුයි, චිකන් පරාටා එකකුයි අපි රස බැලුවා. ඒ දෙකෙන් මුල් තැන ලැබෙන්නෙ චිකන් පිට්ටු කොත්තුවට තමා. සාමාන්‍ය කොත්තුව වගේ බඩ දවාගෙන යන රසකට වඩා හරිම සෞම්‍ය රසයක් තමයි ඒකෙ තිබුණෙ. අනික යහමින් චිකන් දාලාත් තිබුණා. හැබැයි මේ පිට්ටු කොත්තුවේ පෙනුම නම් ඒ තරම් හොඳ නැහැ. චිකන් පරාටා කියන්නේ හරියට බිත්තර රොටියක් වගේ එකක්. වෙනස තමයි ඒකෙ මැද්දට බිත්තර වෙනුවට චිකන්, කැරට්, ලූනු අඩංගු මිශ්‍රණයක් යොදලා තිබීම. කොහොම නමුත් ඒකෙ චිකන් රසයට වඩා කැරට් රසය වැඩිපුර ඉස්මතු වෙන නිසා කැරට් පරාටා කියලා කිව්වත් වැරදි නෑ.
මේ හැම ආහාර දීසියක්ම පිළිගන්වන්නේ ඇලුමිනියම් පිඟාන උඩින් කෙසෙල් කොළයක් යොදලා නිසා දෙමළ කෑම අත්දැකීම උපරිමයෙන් විඳින්න පුළුවන්. කිලෝමීටර සිය ගණනකට එහා පිහිටි අත්දැකීමක් කොළඹදී මවන්න යාල්ට පුළුවන් වෙලා තියෙන්නේ ඒ විදිහටයි.
I සුරංග