- කමල් පෙරේරා
දීර්ඝ කාලයක සිට සාහිත්‍ය නිර්මාණයේ යෙදෙන කමල් පෙරේරා නවකතා, කවි, කෙටිකතා, යොවුන් කතා රාශියක්ම රචනා කළ ලේඛකයෙකි. ඔහුගේ කෙටි කතා සහ නවකතා දෙමළ බසට සහ ඉංග්‍රීසියට ද පරිවර්තනය වී තිබේ. විචාරකයන් අතර ඔහු වඩාත් පිළිගැනෙන්නේ මානවීය කෙටිකතාකරුවෙක් ලෙසටයි. කමල් පෙරේරාගේ නවතම කෙටිකතා කෘතිය “කැරකෙන හංසරාජයා” සහ ඔහුගේ කෙටිකතාවල ඉංග්‍රීසි පරිවර්තන ඇතුළත් Talking To Flight පසුගියදා නිකුත් කෙරිණි. මේ කෙටිකතා කලාව ගැන අප සමඟ කමල් දැක්වූ අදහස්ය.
කෙටිකතා කලාවේ තමන්ටම ආවේණික සලකුණක් තැබූ ලේඛකයන් අපට හිටියා නේද?
ඔව්. බොහෝ කෙටි කතාකරුවන්ගේ නිර්මාණ තුළ තමන්ගේ අනන්‍යතාවය තිබෙනවා. කෙටිකතාකරුවකුට තිබෙන වටිනාකම ඒක තමයි. නමක් නැතුව වුණත් කෙටිකතාව ලියපු ලේඛකයා හඳුනාගත හැකිවීම. කේ. ජයතිලකගේ, වික්‍රමසිංහගේ, ජී.බී. සේනානායකගේ කෙටිකතා අපට හඳුනාගැනීමට පුළුවන්. ඒක තමයි ලේඛකයාගේ අනන්‍යතාවය. මම ලියන කෙටිකතාවලිනුත් මටම අවේණික කතා රටාවක් රඳවන්න උත්සාහ කළා.
ඔබේ කෙටිකතාවල ඇතුළත් ගුණාංග ගැන කිව්වොත්?
ඔව්... මම හැමවිටම මානවීය ගුණ තේමාකරගැනීමට උත්සාහ කරනවා. චරිත දිහා සානුකම්පිතව බලනවා. නිර්ධන පන්තිය ද ධනවත් පන්තිය ද යන කාරණයට වැඩිය චරිතවල මානසිකත්වය නිරෑපණය කිරීමටයි. මම පෙළඹෙන්නේ. කැරකෙන හංසරාජයා කෘතිය තුළින් මම සමාජයේ අවදානමට ලක්වූ චරිත, සමාජය විසින් නොතකා හල චරිත සහ වර්තමාන සංසිද්ධි පැවසීමට ගත් උත්සාහයක් නිරෑපණය වෙනවා. සමකාලීන සමාජ තත්ත්වයන් මානවහිතවාදී දෘෂ්ටියකින් මෙහිදී පැවසෙනවා.
සමහර අලුත් ලේඛකයන්ගේ නිර්මාණවලින් වැඩිපුර දක්නට ලැබෙන්නේ ආකෘතිමය හරඹ බවට චෝදනාවක් නැගෙනවා නේද?
ලේඛකයකුට තිබෙන වැදගත්ම මූලාශ්‍රය තමයි තමන් කම්පනයට පත්කළ කතාවක්. ලියන්න යමක් තිබිය යුතුවීම. ලියන්න යම් හරවත් දෙයක් තිබෙනවා නම් ලියන්න ක්‍රම ඕනෑතරම් තිබෙනවා. මේක නවක වගේම ප්‍රවීණ ලේඛකයන්ටත් තිබෙන ප්‍රශ්නයක්. සමහරු ලියන ආකෘතිය ගැන අනවශ්‍ය විදිහට අවධානය යොමු කරනවා. ඒකට හේතුව කියන්න දෙයක් නැතිවීම කියලයි මට හිතෙන්නේ. එවිට කතාවක් ලියැවෙනවා වෙනුවට හරස්පද ප්‍රහේලිකාවක් තමයි ලැබෙන්නේ.
ලේඛකයන් පවසන්නේ අකෘතිය වෙනස් කිරීමෙන් පාඨකයාට අපූර්වත්වයක් ළඟාකරවීමට උත්සාහ කරන බවයි.
සාහිත්‍ය කලාවේදී අපූර්වත්වය ඇතිවන්නේ රසිකයාට තේරැම්ගත නොහැකි දේවල් බොරු හරඹයකින් ඉදිරිපත් කිරීමෙන් නෙවෙයි. හැමවෙලේම පාඨකයා කම්පනයට පත්කිරීමට සමත් නිර්මාණයක් කළ යුතුයි. මහාචාර්ය සරච්චන්ද්‍ර තමන්ගේ “කල්පනා ලෝකය” කෘතියේ පවසන්නේ නාට්‍යාගාරයට යන ප්‍රේක්ෂකයා ඉන් එළියට එනවිට වෙනස් වී සිටිය යුතු බවයි. නාට්‍යය සාර්ථක වන්නේ එවිටයි. ඒක සාහිත්‍යයටත් අදාළයි. නිර්මාණය තුළින් ජීවන ධර්මතාවයක් ගැන පාඨකයාට අවබෝධයක් ලබාදිය යුතුයි. ඒ වෙනස ඇති කළ නොහැකිනම් සාර්ථක ලේඛකයෙක් වන්නේ නැහැ.
මෑතකදී බිහිවූ අලුත් පරපුරේ කෙටිකතාකරැවන් අතර ඔබගේ සිත් ගත් පිරිස ගැන කිව්වොත්?
කීර්ති වැලිසරගේ, එරික් ඉලයප්පආරච්චි, ලියනගේ අමරකීර්ති, නිශ්ශංක විජේමාන්න, ජයතිලක කම්මැල්ලවීර වගේ අපේ පරම්පරාවේ පිරිසෙන් පසුව ලේඛක ලේඛිකාවන් ගණනාවක්ම ඉන්නවා. නකුල වැලිසරගේ ඉතා හොඳ කෙටිකතා පොත් දෙකක් ලිව්වා. නමුත් කිසියම් හේතුවක් නිසා ඒවා සමාජයේ අවධානයට ලක්වුණේ නැහැ. කාංචනා ප්‍රියකාන්ත, විරාජිනී තෙන්නකෝන්, ප්‍රභාත් ජයසිංහ, සුදර්ශන සමරවීර ආදී වශයෙන් සඳහන් කළහැකියි. මේ සියලු දෙනාම බලාපොරොත්තු දල්වන කෙටිකතාකරුවන් ලෙස සඳහන් කළහැකියි.
සිංහලෙන් නිර්මාණ සාහිත්‍යය ගැන අධ්‍යයනයට තිබෙන ඉඩකඩ මඳ බව සමහරු පවසනවා.
දැන් හොඳ පරිවර්තන රාශියක් තිබෙනවා. ස්වතන්ත්‍ර කෘති තිබෙනවා. ඒවා කෙටිකතා කලාවට වගේම පොදුවේ නිර්මාණ සාහිත්‍යයටත් ඉවහල් කරගතහැකියි. කොන්ස්තන්තීන් පව්ස්තොව්ස්කිගේ “රන් රෝස” පොත ආරියවංශ රණවීර පරිවර්තනය කර තිබෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍රගේ කල්පනා ලෝකය, ඒ.ටී. සුරවීරගේ සමාජීය සාහිත්‍ය අධ්‍යයනය වගේ පොත් අප අතර තිබෙනවා. මහාචාර්ය අමර කීර්තිගේ කෙටිකතා කලාව න්‍යායික සහ තුලනාත්මක අධ්‍යයනයක් පොත කෙටිකතා කලාවට අගනා දැනුමක් සපයන කෘතියක්. කෙටිකතා කලාවේ නූතන හැඩරුව වටහා ගැනීමට එය ඉවහල් වෙනවා. ගැටලුව තිබෙන්නේ අපේ ක්ෂණික සමාජය තුළ බොහෝ ලේඛකයන් පවා අධ්‍යයනය කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් පවා ස්ටාර් වැඩසටහන් වගේ එක රැයකින් තරු බිහිකරන රැලිවලින් බලපෑමට ලක්වෙලා. මේ නිසා අලුත් පරම්පරාව සාහිත්‍යයට යොමුවෙනවා අඩුයි.
කියවීම අඩු සමාජයක සංවේදී බවක් නැහැ නේද?
ඔව්... ඔවුන්ට රටට මොනවා වුණත් කමක් නැහැ. ඒකනේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් යෝජනා කරන්නේ රටේ පාලකයා වෙනස් කරනු වෙනුවට ජනතාව වෙනස් කළ යුතුයි කියලා.
අවුරුදු කීපයකට පෙර කෙටිකතා සහ කවි පොත් පළ වුණේ අඩුවෙන්. ඒ ගැන කතා වුණෙත් අඩුවෙන්. මෑතක සිට ඒ තත්ත්වයේ වෙනසක් අපට පේනවා නේද?
ඔව්. කවිය සහ කෙටිකතාව කියන නිර්මාණ ශානරයන් දෙකම එක්තරා විදිහකට ගර්භීත කලාවක් ලෙස සැලකුණේ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. අපි ලංකා ලේඛක සංවිධානය විදියට පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට බලපෑම් කළා. කවි සහ කෙටිකතා කෘතිවලටත් ඇගැයීමක් කළයුතු බවට. රජත පුස්තක සම්මාන ප්‍රදානය ඇරඹීමට ඒ බලපෑමත් හේතු වුණා. නමුත් නවකතාව තමයි වඩාත් ජනප්‍රිය ශානරය වන්නේ. කෙටිකතාව තමයි සාහිත්‍ය අංග අතර තිබෙන වඩාත් සූක්ෂම ශානරය. එය බුද්ධිමත් කියැවීමක් ඇවැසි පාඨකයන් අතර තමයි පවතින්නේ.
ඔබේ කෙටිකතා පොත් ඉංග්‍රීසියෙන් පළවී තිබෙනවා. ජාත්‍යන්තර කෙටිකතා සමඟ සසදන විට අපි ඉන්න තැන ගැන ඔබට අදහසක් තිබෙනවාද?
අපේ සිංහල කෙටිකතා ලෝක සාහිත්‍යයට යනවා අඩුයි. ඒ නිසා අපේ කෙටිකතා සැසඳෙන්නේ නැහැ. ඒක ඉතින් ලේඛකයන්ට කළහැකි දෙයක් නොවේ. ඉන්දියාවේ සාහිත්‍ය ඇකඩමියේ හැම අවුරැද්දකම කෙටිකතා එකතුවක් ඉංග්‍රීසියෙන් පළ කරනවා. අපේ සංස්කෘතික අමාත්‍යාංශයට හෝ විශ්වවිද්‍යාලයකට එය කළහැකියි. මේ නිසා ලෝකය තුළ අපේ කෙටිකතාව ඉන්න තැන ගැන පැහැදිලි අදහසක් දැරීම අපහසු වෙලා.
කුසුම්සිරි