2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

නැවුම් මුහුදු ආහාර එක්ක හලාවත සොඳුරු නවාතැන Chilaw City Hotel

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 241

අතීතයේදී හලාවත කියන්නේ සංචාරකයන් අතර ඒ තරම් ප්‍රසිද්ධ පුරවරයක් නෙමෙයි. කොහොම නමුත් මීට දහඅට අවුරුද්දකට පෙර හලාවත මුහුදු වෙරළ අද්දර ඉදිවුණු හෝටලයක් හලාවතට සංචාරකයන් අද්දවාගන්න සමත්වුණා. හලාවත අඹකන්දවිල පාරේ සුදුවැල්ල වෙරළ තීරයේ ඉදිවුණු මේ හෝටලය තමයි Chilaw City Hotel.

හලාවත නගර මධ්‍යයේ ඉඳන් මීටර 500ක දුරින් පිහිටා තිබෙන මේ හෝටලය තමයි හලාවත ප්‍රදේශයේ තිබෙන ලොකුම හෝටලය. හලාවත කලපුවටත් හැමිල්ටන් ඇළටත් යාබදව පිහිටි මෙතැන සුඛෝපභෝගී කාමර 62ක්, උත්සව ශාලා දෙකක්, සම්මන්ත්‍රණ ශාලාවක්, අවන්හල සහ බාර් වගේම පිහිනුම් තටාකයකුත් දකින්න පුළුවන්. 

හෝටලයට මෑතකදී එක්වුණු කාමරවල ඉඳන් මුහුද වගේම කලපුවත් හරි අපූරුවට දැකගන්න පුළුවන්. කොහොම නමුත් සියලුම කාමරවල පෞද්ගලික බැල්කනියක්, තේ සහ කෝපි සෑදීමේ පහසුකම්, LED කේබල් ටීවී, වායුසමීකරණ ආදී නවීන පහසුකම් අන්තර්ගතයි. ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා ද ගැලපෙන ආකාරයෙන් මුළු හෝටලයම සැලසුම් කර ඉදිකර තිබීමත් විශේෂත්වයක්. 

ඊට අමතරව 400 දෙනා බැගින් අසුන් පැනවිය හැකි අරලිය සහ Lagoon View නම් උත්සව ශාලා දෙකකුත් මෙහි තිබෙනවා. සම්මන්ත්‍රණ ශාලාව තුළ 100කට අසුන් ගත හැකියි. මේ නිසාම සංචාරකයන්ට නවාතැන් සැපයීමට අමතරව හෝටලය විවාහ සහ වෙනත් උත්සව සඳහා ඉඩකඩ ලබාදීමට ප්‍රසිද්ධියක් උසුලනවා. 

මේ‍ හෝටලයේ ආහාරපාන අත්දැකීමත් ගොඩක් සුන්දරයි. දැවැන්ත අවකාශයක් තුළ ඉදිකර ඇති අවන්හලට කලපුව හොඳින් දර්ශනය වෙනවා. ඒ වගේම පිහිනුම් තටාකය පිහිටා තිබෙන්නේත් අවන්හලට කෙළින්ම මුහුණලායි. නැවුම් මුහුදු ආහාර සමඟ දේශීය ආර මුසු කරගත් මෙහි කෑම බීම පංකාදුයි කිව්වොත් හරියටම හරි.

මෙතැන සිට සංස්කෘතික ත්‍රිකෝණය, ආනවිලුන්දාව කුරුලු අභයභූමිය, පඹල කඩොලාන කෞතුකාගාරය සහ විවේක මධ්‍යස්ථානය වගේම විල්පත්තුව, කල්පිටියේ ඩොල්පින් සහ තල්මසුන් නැරඹීම, තලවිල ශාන්ත ආනා දේවස්ථානය, මුතුරාජවෙල, දැදුරු ඔය ත්‍රාසජනක බෝට්ටු සවාරි ආදී අත්දැකීම් රැසක් විඳගන්න පුළුවන්. 

 සනත් වීරසූරිය
    සේයාරූ - ශාන් බන්දු වීරසිංහ

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00