සීසර් ඝාතනය
වැඩිම ගැටුම් අමෙරිකාවේ
කඳුළු ගෑස්: දුම්බෝම්බ මදිවාට කුළුගෙඩිත් සටනට
නරකම පාර්ලිමේන්තුව දකුණු අප්‍රිකාවේ
මැතිසබේ ගැටුමකින් මුලින්ම මියගියේ අමෙරිකාවේ මන්ත්‍රීවරයෙක්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 70 වසරක ගෞරවණීය ඉතිහාසය පිළිබඳ පුරාජේරු නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙන්නට වූයේ පසුගිය නොවැම්බර් 15දාය. මැති ඇමැතිවරු පාර්ලිමේන්තු සභා ගැබ දෙවනත් කරමින් ඩෙඟා නටන්නට ගත් කලය. ''දෙවියන් පා තබන්නටවත් මැලිවන තැන මෝඩයෝ පිණුම් ගසති'' යැයි කියන කියමන සනාථ වෙන ආකාරය රටේ ලෝකයේ කාටකාටත් එදා ඇස් පනාපිටම දැකබලා ගන්නට හැකිවිණි. හුදීජන පහන් සංවේගය උදෙසා මේ නරිනාටකය රඟදක්වා පෙන්වූයේ මහජන නියෝජිතයන් යැයි තමන්ම කියාගන්නා උදවියය. මේ අලකලංචිය දුටු, රටේ සකල ජනීජනයා හඬන්නද සිනාසෙන්නද යැයි සිතාගත නොහැකිව අන්ද මන්දව සිටියහ. සමස්ත ලෝකය තුළ අපේ ප්‍රතිරෑපයේ දැලි ගෑවී ගියේය. නමුත් අපේ රටේ මඳක් පමාවී කරළියට නැංවුණද මෙයට පෙර අන්තර්ජාතික තලයේ පාර්ලිමේන්තු සභා ගර්භයන්හි මෙවන් නරිනාටක බොහෝ වතාවක් රඟදැක්වී තිබේ. කෙතරම් වතාවක් රඟදැක්වී තිබේද යත්, දැන් එය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේම අනිවාර්යය අංගයක් යැයි සිතෙන තරම්ය.
පාර්ලිමේන්තු අලකලංචි නැතහොත් මහජන සභා තුළ ගැටුම් ග්‍රීසියේ උපන් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය වචනය තරම්ම පැරැණිය. ලෝකයම දන්නා පැරැණිතම සිද්ධිය මහා ඛේදවාචකයකි. එය සේක්ෂ්පියර් විසින් ශෝකාන්ත නළුවකට නැංවූ ජූලියස් සීසර් ඝාතනයයි. තමන්ගේම සගයන් විසින් වටකර පිහියෙන් ඇණ මරාදැමුණු සීසර්ගේ මරණය ප්රජාතන්ත්රවාදී මහජන සභා ඉතිහාසයේ වැරදි පූර්වාදර්ශයක් සැපයූ කෘරතර සිද්ධියකි. එදා මෙන් අදත් පාවාදෙන්නන් මෙන්ම පස්සෙන් පැමිණ පිහියෙන් අනින බෘටස්ලාගෙන් හිඟයක් නැත. මේ නිසාම සීසර්ගේ සිද්ධියෙන් පසු ලෝකයේ පාර්ලිමේන්තු තුළින් ගහමරාගැනීමේ අවනඩු ගණනාවක්ම වාර්තා වී තිබේ.
උගන්ඩාවේ අරගලය
මැසඩෝනියාව නාසය බිද දැමීම
යුක්රේන ගුටිබැට හුවමාරුවක්!
දියුණු යැයි සම්මත අමෙරිකාව එංගලන්තය ඇතුළු ප්‍රධාන රටවල් 44ක් එහිදී කැපීපෙනෙන සිද්ධි සඳහා ප්‍රසිද්ධව තිබේ. අපේ අසල්වැසි ඉන්දියාව, පාකිස්තානය මෙන්ම අරාබිකරයේද, අප්රිකාවේද, මැදපෙරදිග සහ ජපාන කොරියා රටවලද මේ සිද්ධි වාර්තාගතය.
මෑත කාලයේ ලෝකයේ එපාම කරපු පාර්ලිමේන්තු ගැන වාර්තා වන්නේ අප්‍රිකාවෙනි. එයිනුත් මුල්තැනට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුවයි. එරට පුරුද්දට වගේ සිදුවන පාර්ලිමේන්තුව තුළ ගහමරාගැනීම් නිසාය. තුර්කිය, ජපානය, යුක්රේනය සහ පේරු රාජ්ජයද ඊළඟට මුල්තැන ගත් රටවල්ය. පේරු රාජ්ජය තුළින් 1988 සිට 2011 දක්වා කාලය තුළ විවිධ මතගැටීම් හේතුකොට පාර්ලිමේන්තුව කැළඹී ගිය ප්‍රධාන අවස්ථා 05කට වැඩියෙන් වාර්තාගතය. දකුණු අප්රිකාවේද කැරැට්ටුව එලෙසමය. 1988 සිට 2011 දක්වා කාලය තුළ එරට පාර්ලිමේන්තුව තුළින් වාර්තා වූ ගැටුම් ලෝකයේම අවධානය දිනාගත්තේය. අපේ රටේ සිදුවූ පාර්ලිමේන්තු අලකලංචියේදී එළියට ආ මිරිස් කුඩු සහ පිහිතල ගැනද ප්‍රසිද්ධියේ කතාබහට ලක්විණි. ලෝකයේ මෙතෙක් සිදුවූ මැතිසබේ ගහමරාගැනීම් තුළදී ගම්මිරිස් කුඩු ප්‍රහාර මෙන්ම පාර්ලිමේන්තුව තුළට කුළුගෙඩි රැගෙන ගිය අවස්ථාද වාර්තාගතය. දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව තුළ කඳුළු ගෑස් ප්‍රහාරයකටද විපක්ෂයේ නියෝජිතයන්ට මුහුණදීමට සිදුවූයේ 2011 නොවැම්බරයේ 22දාය. ඒ අනුව, ඒ සිද්ධියට යාන්තම් වසර 7ක් සැපිරුණේ මේ නොබෝදාය. කොසොවෝ පාර්ලිමේන්තුවේද යුක්රේන පාර්ලිමේන්තුවේද කඳුළු ගෑස් සහ දුම්බෝම්බ ප්‍රහාර දක්නට ලැබුණි.
අපේ රටේ දක්නට ලැබුණේ පොත්පත්, කුණුබක්කි අහසින් යන අවස්ථාය. නමුත් අන්තර්ජාතිකව සිදුවූ පාර්ලිමේන්තු ගහමරාගැනීම්වලදී අහසින් යන පුටු ප්‍රහාර, මෙන්ම බොක්සිං කරාටේ සංදර්ශනද, මහජන නියෝජිතයන් මෙන්ම නියෝජිතවරියන් ගෙඩිපිටින් අහසින් ගිය අවස්ථාද වාර්තාගතය. ඉන්දියානු පාර්ලිමේන්තුවේදී ගම්මිරිස් ප්‍රහාරයකට ලක්වන්නට මන්ත්‍රීවරුන්ට සිදුවූ අවස්ථාවක් වීඩියෝ සහිතව වාර්තා වී තිබේ. මන්ත්‍රීවරු දෙපිල බෙදී සපත්තු ප්‍රහාර එල්ල කරගත්තේ සර්බියා පාර්ලිමේන්තුවේ හටගත් අරගලයකදී 2009 වසරේදීය. වැඩේ ඇරඹුවේ මන්ත්‍රීවරියකි. ලෝකයේ විවිධ රටවල සපත්තු ප්‍රහාර වැඩිම ගණනක් වාර්තා වූයේ මේ වසරේදීය. අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ටද මාධ්‍යවේදියකුගෙන් සපත්තු ප්‍රහාරයක් එල්ල විය. යුක්රේන පාර්ලිමේන්තුවේදී කතානායකට කුණු බිත්තර ප්‍රහාරයක්ද එල්ල විය. සෝමාලියාවේ සිදුවූ මෙවන් අලකලංචියකදී එක් මහජන නියෝජිතයකුගේ රැවුල උගුල්ලා දමන්නටද තවත් නියෝජිතයන් පිරිසක් සැරැසෙනු දක්නට ලැබුණි.
ඉතාම නරක කැරුට්ටුවක් සහිත තායිවාන පාර්ලිමේන්තුවද නිතර ගහමරා ගැනීම්වලට ප්‍රසිද්ධය. 2004දී ජනාධිපතිවරණ ඡන්ද නැවත ගණන් ගැනීම සම්බන්ධයෙන් මුල්වරට වාර්තාගත ගැටුමක් එහි ඇතිවිය. 2004 මැයි 07 තායිවාන පාර්ලිමේන්තුවට පොලීසිය කඩාවැදුණේ ෂූ ෂින්ග්යූ සහ විලියම් ලායි මන්ත්‍රීවරුන්ගේ ගුටිබැට හුවමාරුව දුරදිග යාම නිසාය. එහිදී ෂූ ෂින්ග්යූ හට ඇල්කොහොල් පරීක්ෂණයකටද මුහුණදෙන්නට සිදුවිය..
මැසිඩෝනියාවේ සභාගැබට හමුදාව
ඉන්දියාවේ ගම්මිරිස් කුඩු සටන
දකුණු කොරියාව හා තායිවානයේ මන්ත්‍රීවරියන්ගේ සටන්
ආහාරපාන අහසින් ගියේද තායිවාන පාර්ලිමේන්තුව තුළදීය. චීනය සමඟ ඍජු ප්‍රවාහන සබඳතා පිළිබඳ යෝජනා පත්‍රයක් හපකර ගිල දමන්නට වැන්ග් ෂූ හූයි නියෝජිතවරිය වරෙක කටයුතු කළාය. තවත් නියෝජිතවරියක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කෙල ගැසුවාය. 2017 වසරේ ජුලි 13-14 දෙදින තායිවාන පාර්ලිමේන්තුව නොකඩවා දින දෙකක් එකදිගට ගැටුම්වලට මුහුණ දුන්නේය. චීනයේ අගමැති ලින් චුවාන් හට වතුර බෑගයකින් ප්‍රහාර එල්ල වූයේ පාර්ලිමේන්තුව අමතන්නට තැත් කරද්දීය. එතැනින් කතාව නැවැත්වූ ඔහු පිටව ගිය අතර පාර්ලිමේන්තුව පසුදාට කල් ගියේය. එදින අපේ රටේ සිදුවූවාක් මෙන්ම කතානායක අසුන සහිත ආගාරයට අරක්ගත් විපක්ෂ මන්ත්‍රීහු පුටු ඔසොවා පහරදීමට තැත් කරමින් වතුර බෑග් ප්‍රහාර එල්ල කරමින් නැවත වතාවක් ඩෙඟා නටන්නට වූහ. පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර කල් දමන්නට එය හේතුවක් විය.
පාර්ලිමේන්තුවක් තුළට සන්නද්ධ හමුදාව කඩාපැන බලය අල්ලාගත් අවස්ථාවක්ද මෑත කාලයේ වාර්තාගතය. අපේ දේශපාලන ලොක්කන්ද පුරාජේරැවක් ලෙස උපුටා දැක්වූ මේ සිද්ධිය වාර්තා වූයේ ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවෙනි. 1981 පෙබරවාරි 23දා ලුතිනන් කර්නල් අන්තෝනියෝ ටෙජෙරෝ 200ක සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් සමඟ පාර්ලිමේන්තුවට කඩා පැන්නේය. එදා අගමැතිවරයකු පත්කර ගැනීම උදෙසා ඡන්දය පැවැත්වූ දිනයකි. හමුදා කාණ්ඩය පාර්ලිමේන්තුව සහ ජනතා නියෝජිතයන් පැය 18ක් රඳවා තබාගන සිටීමට සමත් වූහ. එදා පාර්ලිමේන්තුව තුළ වෙඩිහඬ නැගුණද කාටවත් තුවාල සිදුවූයේ නැත. පසුදා ජුවාන් කාලෝස් රජු නීතිය හා සාමය ඉල්ලා කළ රූපවාහිනී කතාවෙන් පසු කුමන්ත්‍රණය නැවැතී ගියේය.
පාර්ලිමේන්තු ගැටුම් ගැන තවත් ඉතාමත් නරක කැරැට්ටුවක් සහිත රට වන්නේ තුර්කියයි. එහි මෑතකදීම හටගත් මැතිසබේ හටන වාර්තා වූයේ 2018 මේ වසරේ මාර්තු 13දාය. 2019 ඡන්දය සඳහා මැතිවරණය කොට්ඨාස සංශෝධනයට පනතක් ගෙන ඒම සම්බන්ධයෙනි. නියෝජ්‍ය කතානායකවරයා පනතට පක්ෂ ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශ කිරීමත් සමඟ ගුටිබැට හුවමාරුව ඇරුඹුණේය. එර්දෝගන් ජනාධිපතිගේ ධුර කාලය දිගුකිරීමට හේතුවන පනත් සංශෝධනයකට එරෙහිව පසුගිය 2017 වසරේ ජනවාරි 12 හටගත් ගුටිබැට හුවමාරුවකදී පාලක පක්ෂ මන්ත්‍රීවරයකුගේ නාස්පොල්ල බිඳී ගියේය. ප්‍රධාන විපක්ෂ මන්ත්‍රීවරු කතානායක ආසනය ඇතුළත් ප්‍රධාන වේදිකාව වටලා ගත්හ. මේ සටනේදී මන්ත්‍රීවරයකු මුෂ්ටි ප්‍රහාරයකින් මියගියේය. පස්දෙනකුට තුවාල සිදුවිය. මුල්වරට මන්ත්‍රීවරියන් පිරිසක්ද කෙහෙවලු පටලාගත් අතර ඒ හේතුවෙන් ඔවුන් 6 දෙනෙකුට තුවාල සිදුව තිබුණි
කොසෝවෝ දුම් බෝම්බ
සෝමාලියා: රැවුල් ගැලවීම
යුක්රේන පාර්ලිමේන්තුවද ලොව හිනස්සන නරිනාටක අඩුවක් නැතිව රඟදැක්වූ කරළියකි. 2010 අප්‍රේල් 27 රුසියානු නාවුක කඳවුර සම්බන්ධ විවාදය ඇවිල ගියේ කුණු බිත්තර මදිවාට කඳුළු ගෑස් සහ දුම්බෝම්බ ප්‍රහාරයන්ද එල්ල කරගනිමිනි. කතානායකවරයා කූඩවලින් ආරක්ෂා කර ඉවත් කරගන්නට කාර්ය මණ්ඩලයට සිදුව තිබුණි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය වෙන් කරන කොරිඩෝවේ අතුරා ඇති පලසේ රතු ඉරි දෙකකින් එකිනෙකා අතර දුර පරාසයක් වෙන්කර තිබේ. සාමාන්‍යයෙන් අසිපත් දෙකක දුර ප්‍රමාණයයි. සම්ප්රදාය නම් මේ අවකාශය ඉක්ම නොයාමයි. නමුත් 1972 ජනවාරි 31 විවාදයක් අතරතුරදී මේ සම්ප්රදාය කඩාදැම්මේ නිදහස් සමාජවාදී පක්ෂ මන්ත්‍රීවරියක වන බර්නදෙත් ඩෙව්ලීන් විසින් කොන්සර්වේට් පක්ෂයේ රෙජිනෝල්ඩ් මෝඩ්ලින්ගේ මුහුණට දමාගැසීමත් සමඟිනි. ඇයට හය මසක් පාර්ලිමේන්තුව තහනම් කැරිණි. 1976 මැයි 27දා විවාදයක් අතරතුරදී කම්කරු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් රතු ධජයේ ගීතය ගයමින් සෙංකෝලය ඔසොවාගන විරෝධයක් පෑවේය.
අමෙරිකාවේ කොංග්‍රසය හෙවත් මැතිසබය තුළද ඉතිහාසගත ගුටිබැට හුවමාරු සිදුව තිබේ. වාර්තාගත අන්දමට 1798 පෙබරවාරි 15 සිට 2017 මැයි 29 දක්වා වසර 219ක කාලය තුළ 12 වතාවක් විවිධ අලකලංචි එහි වාර්තාගතය. පෙඩරල් නියෝජිත රෝජර් ග්රිස්වර්ල්ඩ් විපක්ෂයේ මැතිව් ලියෝන් හට හැරමිටියෙන් පහරදීම එහි ඈත ඉතිහාසයේ වාර්තාගත කරුණයි. 1837 වසරේ දෙසැම්බර් 4 අර්කන්සාස් ප්‍රාන්ත සභාවේ හටගත් ආරවුලකදී ජනතා නියෝජිතයකු හට සිදුවූ පහරදීමකදී ඔහු මියගියේය. වේවැලක් කැඩෙන තුරු ජනතා නියෝජිතයකුට පහරදීමක් මෙන්ම පිස්තෝල ඇදගැනීමේ සිද්ධියක්ද අමෙරිකාවේ මැතිසබේ ගැටුම් අතර වාර්තාගතය.
යුරෝපා පාර්ලිමේන්තුවද යකා නැටූ අවස්ථාවක් ගැන වාර්තා වන්නේ 1988 වසරේදීය. දෙවැනි ජෝන් පාවුළු පාප්තුමන් සභාව අමතා දේශනයක් කරනා අවස්ථාවකදීය. මන්ත්‍රී ඉයන් පෙයිස්ලී (අන්ත ක්‍රිස්තු) ලෙස පාප්තුමන්ට අපහාස කරමින් කෑගැසූ අතර, අනෙක් මන්ත්‍රීවරු ඉයන්ට අතට හසුවූ දෙයින් දමා ගසමින් හූ හඬ නැගූහ.
අපේ අසල්වැසියා වන ඉන්දියාවේද මැතිසබේ වාර්තාගත අලකලංචි බොහෝමයකි. ඒවා බොහෝමයක් ප්‍රාන්ත සභාවලින් වාර්තා වී තිබේ. නමුත් 2014 පෙබරවාරි 13 ඉන්දීය පාර්ලිමේන්තුව තුළ තෙලන්ගානා ප්‍රාන්තය අලුතෙන් පිහිටුවීම සම්බන්ධව පැවැති විවාදයේදී ලොකු හටනක් දක්නට ලැබුණි. කතානායකවරයාගේ මයික්‍රෆෝනය කඩා බිඳ දමා ගම්මිරිස් කුඩු දියර හතරවටේ දමාගසා ගනිමින් සටන් පාඨ කියමින් මහා ජංජාලයක් සිදුකිරීමට එදා සභිකයෝ සමත් වූහ. අන්තිමේ මේ සටන ඉන්දියානු වීදි පුරාද පැතිර ගියේය. නමුත් අවසනදී තෙලන්ගානා ප්‍රාන්තය පිළිගැනීමට රජය කටයුතු කළේය.
නේපාලයේද පාර්ලිමේන්තුව අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ හුටපටයක් හේතුවෙන් 2015 ජනවාරියේදී උණුසුම් විය. නව ව්‍යවස්ථාවට විරෝධය පෑ විපක්ෂ මන්ත්‍රීවරු මයික්‍රෆෝන් ගලවා දමමින්, පුටු උඩ නගිමින්, පොත්පත්, පුටු මෙන්ම සිය සපත්තුවලින් දමාගසමින් යකා නටන්නට වූහ. මේ සිද්ධිය පාලනය කිරීමට ආරක්ෂක අංශ කැඳවූ අතර එහි සාමාජිකයන් තිදෙනෙකුටද අනතුරු සිදුවූයේය.
ඉතාමත් ආසන්න පාර්ලිමේන්තු අලකලංචිය වාර්තා වූයේ පාකිස්තානයෙනි. ඒසියා බීබී නම් වූ ක්‍රිස්තියානි කාන්තාව මරණ දඬුවමෙන් මුදාහැරීම සම්බන්ධයෙන් ඇතිවූ විවාදයකදීය. අන්තගාමී ආගමිකයන් වෙසෙන ඒ රටේ ප්‍රධාන ආගමේ නායකයාට අපහාස කළා යැයි බිබී'ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි. ඇයට මරණ දඬුවම තීන්දු වූ අතර වසර 8ක කාලයක් සිරගතව සිටියේය. ඒ අතර ශ්‍රේෂ්ඨාධිකරණය ඇය මුදාහැරියේය.
සුගත් පී. කුලතුංගආරච්චි