2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

දේශපාලනඥයන්ගේ කරල පැහෙන මාලවී යෝගය

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 339

අද දේශපාලනඥයකු වීමට අවශ්‍ය වන ප්‍රධානතම සුදුසුකමක් වන්නේ ඡන්දදායකයා ඇදබැඳගෙන තමාට නතුකර ගැනීමේ ශක්තියයි. ඇතැම් දේශපාලනඥයන්ගේ කතා අසන්නට වේදිකා ඉදිරිපිට වරු ගණන් බලාසිටින ජනතාව දැකගත හැකිය. ඉන්දියාවේ කීර්තිමත් නායක ජවහල්ලාල් නේරු මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ආදීහු කතාවේ බලයෙන් අසන්නන් වෂීකෘත කර ගැනීමට සමත්වූවෝ වෙති.

මෙවැනි හපන්කමක් කළ හැකි වූයේ ඔවුන්ට මාලවී යෝගය උදාවී තිබූ නිසාය. මෙලෙස මාලවී යෝගය ලැබූ විට ජනතාවගෙන් ගරුබුහුමන් ලැබීමට, ප්‍රභූන්ගෙන් සැලකිලි උරැම වීමට, ජනතාව අතර කැපීපෙනීමට හේතු වේ. ඒ නිසාම විවිධ වරප්‍රසාද දිනාගැනීමටද හැකි වේ.

මීන ලග්නයෙන් ජන්ම දායාදය ලැබූ කෙනකුට සිකුරු ග්‍රහයාගේ උච්ඡක්ෂේත්‍ර රාශිය වන මීන රාශිය උරුම වී තිබියදී ලග්නයේ වෙනත් ග්‍රහයන් නොමැතිව සිකුරු ග්‍රහයා එතැනම යෙදී ඇතිනම් මාලවී යෝගය ලැබීමේ වාසනාව උදාවනවා ඇත.
තවද කිසියම් ජන්මියකු කන්‍යා ලග්නයෙන් ඉපදී එහි හත්වැනි රාශිය මීන රාශිය වූ අවස්ථාවක එම සිකුරැ ග්‍රහයා එම මීන රාශිය වන්නේ නම්ද සිකුරු ග්‍රහයා මීන රාශියේ හත්වැන්නේ උච්ඡක්ෂේත්‍රව සිටීමටද මාලවී යෝගය ජනිතවීම සිදුවේ.

ලොව නව තාක්ෂණයේ විද්‍යුත් ශක්තීන්හි ආකර්ෂණ බලය සුබවාදී වී සුබ ග්‍රහයෝගයන් ජන්මියාට උදාකරන්නා සේ අසුබවාදී වූ විට අසුබ ග්‍රහයෝගයන් ජන්මියාට උදාකරවන බව විශේෂයෙන් මතකයට නැගිය යුතු වේ. මාලවී යෝගය පංච මහා පුරිස ලක්ෂණවලින් එකක් වන්නේය. ගෞතම බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලැබුවේද පංච මහා පුරිස ලක්ෂණවලින් එකක් වූ මෙම මාලවී යෝගය ද සමගිනි. කෙසේ වෙතත් සුබවාදී ග්‍රහයෝගයන් ලබමින් බැබලුණු ජනතාවාදී නායකයන් මෙන්ම උතුමන්ටද අසුබ ග්‍රහයෝග යෙදීමෙන් කරදර කම්කටොළුවලට මුහුණදීමට සිදුවූ අවස්ථා දක්නට ඇත.

මාලවී යෝගය කිසියම් ජන්මියකුට උරැම වූයේ නම් ඔහු හෝ ඇයට ප්‍රභූන්ගේ හා උතුමන්ගේ ගරැ සැලකිලි, තාන්න මාන්න එමට ලබන්නට වාසනාව පෑදෙන්නේය. කෙත්වතු, භවයෝග ඉතා සශ්‍රීක ලෙස ලබන්නට මාලවී යෝගය යෙදුණ ජන්මියා සමත් වේ. තමා වෙසෙන සමාජයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ගරුබුහුමන් ලැබීමේ ඉමහත් වූ භාග්‍ය ලැබීමට, සැප සම්පත් ආඩ්‍ය කර ගැනීමටද ඔවුහු වාසනාවන්තයෝ වෙති. මෙම ජන්මීන්ගේ කතා විලාශයන් මෙන්ම අඟපසඟද, අන්‍යයන් ඉතා හුරැබුහුටි ලෙස ආකර්ෂණය කිරීමේ නැතහොත් වශීකෘත කිරීමේ හැකියාවද උදා කෙරේ. මාලවී යෝගය යෙදුණු ජන්මීන් නිදහස් පරිසරයක නිවීහැනහිල්ලේ නිවහල්ව ජීවත් වීමට දැඩි ලෙස ප්‍රිය කරති. මෙම ජන්මීන්ට මිනිසුන් වශීකෘත වන්නේය. එසේම පිරිස් බලය ඔවුන් වටා රොක් වන්නේය. නිතරම ප්‍රණීත ආහාරපානවලට, රසයට ප්‍රිය වන්නේය. මොවුන්ට මිතුරන්ද අඩු නැත.

මිතුරියන්ද වැහි වැහැලාය. එසේම කෙළිබිමට, කෙළිසෙල්ලම්වලට ආශාව දක්වයි. අසීමිත පැතුම් ගොන්නක් කරපින්නා ගනී. විනෝදාංශ වැඩවලට, ශෘංගාරාත්මක දේට ඇළුම් කරයි. කොහොමත් මෙම යෝගය යෙදුණු විට ජන්මීන් රාගයෙන් මත්වන අවස්ථාද දැකිය හැකිය. එසේම කාමෝද්දීපනය වන ලෙස හැඟීම් දනවයි. කොටින්ම කිවහොත් සෙසු ග්‍රහයන්ගෙන් යම්කිසි මැඩපැවැත්වීමක් නොතිබුණහොත් අසුබවාදීව ජන්මියා තම ජීවිතය පරදුවට තබා කෙළිසෙල්ලම්වලට නිරත වෙයි. මාලවී යෝගයෙන් උපන් ජන්මියා තම ජීවිතය ඉතා වාසනාවන්ත කර ගැනීමට සමත්කම් දැක්වුවද අනෙකුත් ග්‍රහයන්ගේ චිත්ත පීඩාවට, පීඩනයට ලක්නොවී සිටියහොත් පමණක් සුබවාදීව වාසනාව කරපින්නාගත හැකි වන්නේය. 

කිසියම් ජන්මියකු ජන්ම දායාදය ලබා කේන්ද්‍රගත ලග්නය හතර, හත, දහය යන්නාවූ කේන්ද්‍රස්ථානයක බලවත්ව සිකුරැ ග්‍රහයා සිට උච්චක්ෂේත්‍රව, එසේත් නැතිනම් ස්වක්ෂේත්‍රව යෙදී ඇත්නම් මාලවී යෝගය යෙදී තිබෙන බව සක්සුදක් සේ පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය. මාලවී යෝගය යෙදී තිබුණත් කිසියම් ජන්මියකුට අසුබවාදී ග්‍රහචාරයනටද මුහුණදීමට සිදුවීම වළකාලන්නට නොහැකි වේ.

සිකුරු නොමැත්තේ නම් කිවි ග්‍රහයාගේ බලසම්පන්න තෙජෝ බල පරාක්‍රම මහිමය නිසා මාලවී යෝගය යෙදෙන්නේය. ග්‍රහ මණ්ඩලයේ ඉතා ගෘංගාරාත්මකව හැසිරෙන සිකුරැ වඩාත්ම ඇළුම් කරන්නේ ජන සමාජයට, සුපිරිසුදු පරිසරයට, ආදර බන්ධනයට, කාමස්වාදයට සහ විසිතුරැ ඇඳුමට පැළඳුමටය. මාලවී යෝගය ලබා ඇති ජන්මියාට ඉහත කී දෑ සුවිශේෂී වේ.

 

දේශමාන්‍ය
ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද,
මහාචාර්ය හේමපාල පතිරණ