බරණැස බඹදත් රජතුමාට නැණවත් පුරෝහිතයෙක් උන්නා. එතුමා බොහෝම කරුණාවන්ත යහපත් කෙනෙක්. හැබැයි රජතුමාට වඩා වයසින් අඩුයි. එය රාජකාරියට බලපෑවේ නෑ.
මේ රජතුමාට හිටියේ එක පුතයි. රජතුමා ඔහුට යුවරජකම දුන්නා. ඒ කුමරු රටවැසියන් සමඟ බොහෝම සුහද වුණා. ඔවුන්ගේ අවශ්‍යතා නොපමාව ඉටුකර දුන්නා. වැසියෝ ද යුවරජතුමාට බෙහෙවින් ආදරය කළා. පුතා වැසියන් සමඟ ඕනෑවට වඩා ඇසුරු කිරීම ගැන රජතුමා බිය වුණා. තමා මැරෙන්න පෙර රජකම බලෙන් ගනීයැයි සැක කළා. යුවරජතුමා කැඳවූවා. මෙසේ කිව්වා.
ඔබ මෙනුවරින් වහා පිටවී යන්න. ඈතකට ගොස් ජීවත් වන්න. මා මියගිය පසු ඇවිත් රජකම ගන්න. අදම යන්න.
යුවරජතුමා පිය රජුගෙන් හේතු ඇසුවේ නෑ. බිසවත් සමඟ එපුරෙන් පිටවී ගියා. පිටිසර වන පෙතක අසපුවක් හදාගෙන පලවැල කා ජීවත් වුණා. බිසවද යහපත් ස්ත්‍රියක් රජගෙදර දී වාගේම නොඅඩුව ආදරය සෙනහස එතුමාට පෑවා. කාලය දුකසේ ගෙවී ගියා. බඹදත් රජතුමා මිය ගියා. ආරංචිය යුවරජු දැනගත්තා. බිසවත් සමඟ බරණැස බලා ආවා. එන අතරමඟදී දැකුම්කළු පර්වතයක් දුටුවා. මේ දෙන්නා ඒ අසල නැවැතී ගිමන්හැරියා.
ස්වාමීනී! මේ පර්වතය රත්තරන් වුණොත් ඔබතුමා මට ඉන් කොපමණ දෙනවාද? බිසව විහිළුවට ඇසුවා.
යුවරජ කෝපයෙන් මෙන් තොපට කුමකට ද දෙන්නේ. ඒ සියල්ල මම ගන්නවා. කියා නපුරු බැල්මක් හෙළුවා.
බිසව කල්පනා කළා. මේ මිනිසා මහ පුදුම මිනිසෙක්. මම ඔහුට කොපමණ දුක් විඳගෙන ආදරයෙන් ගෞරවයෙන් සැලැකුවාද? ඔහුට මා ගැන අබමල් රොනක ආදරයක් නෑ. කමක් නෑ. ඔහු මගේ සැමියා මගේ යුතුකම් මම කරනවා. ඇය සිතුවා. දෙදෙනාම විඩා හැර බරණැසට ආවා. යුවරජ මහරජ ලෙස කිරුළු පැළැන්දුවා. බිසව අගබිසව වුණා. කිසිම සම්පතක් දුන්නේ නෑ. ඇය ප්‍රසිද්ධියට පමණක් අගබිසව වුණා. ඇය සමඟ යහන්ගත වුණේ නෑ. මේ රජතුමා අධික කාමභෝගි වුණා. අන් බිසවුන් සමඟ අගබිසවට පේන්නම කෙළිදොලෙන් කල්ගත කළා.
මේ යහපත් අගබිසව සැලුණේ නෑ. සිත දැඩි කරගත්තා. රජතුමාට කළයුතු මෙහෙවර ඉටුකළා. මේ අතර නැණවත් පුරෝහිතතැන අගබිසවට වී ඇති අකටයුත්ත දැනගත්තා. එය නොදන්නා ලෙස එතුමිය හමුවෙන්න ගියා. හමුවී මෙසේ ඇසුවා.
අගබිසවුන්වහන්ස! තනියම රාජ්‍ය සම්පත් භුක්ති විඳිනවා. අපට මිහිරි බොජුන් වේලක් නොදෙන්නේ ඇයි? අගබිසව වුණාම අප ගැනත් බලන්න එපායෑ.
අනේ පුරෝහිතතුමනි! ඔබතුමාට දෙන්න මටත් ලැබෙන්න ඕනෑනේ.
ඒක මහපුදුම කතාවක්නේ. මෙපුර ඉසුරු බර ස්ත්‍රිය ඔබයිනේ.
පුරෝහිතතුමනි! මම මොන ඉසුරු ද මම ජීවත් වෙනහැටි දන්නේ මම පමණයි. රජතුමා අගබිසව නම පමණක් මටදී ඉසුරු වෙනත් ස්ත්‍රීන්ට දෙනවා. ඔවුන් සමඟ සළෙලු ජීවිතයක් ගත කරනවා කොටින්ම මම උන්නාද මළාද බලන්නේ නෑ. බිසව කඳුළු දෙනෙතින් කිව්වා.
හරි පුදුමයි! පුරෝහිත කිව්වා. ඔබ දෙන්නා දුක්බර කාලවකවානුවේ හොඳින් හිටියා නේද?
වනයේ වෙසෙනකොට හොඳින් හිටියා. රජකම පතා එනකොටම වෙනස් වුණා.
ඇයි ඔබට තරවටු කළාද?
නෑ. හිත රිදෙව්වා.
කුමක් ද කෙළේ.
එවිට බිසව දැන් තත්ත්වය සහ එදා රන් පර්වත කතාව ද කිව්වා.
හොඳයි අගබිසවුනි! ඔබතුමියට ඔය කතාව රජතුමා අබියස ප්‍රකාශ කළ හැකිද?
පුළුවනි!
මම දැන් රජතුමා හමුවීමට යනවා ඔබතුමියත් එන්න.
හොඳමයි! බිසව කිව්වා.
අගබිසව සමඟ දෙබස එතැකින් නතර කළ පුරෝහිත රජතුමා බැහැදැක්මට ගියා. රජතුමා හමුවී සුවදුක් විමසන විට අගබිසව ආවා. රජතුමාට ගරුකොට පසෙකට වුණා.
අගබිසොවුන් වහන්ස! ඔබතුමිය අපට කිසිම සැලකීමක් නෑනේ. රජතුමාගේ මව්බිසව අගබිසව කාලේ අප කැඳවා ආහාර පාන පුද සැලකිලි කළා. ඔබතුමිය ඇයි අප මඟහැර ඉන්නේ.
අනේ පුරෝහිතතුමනි! ඔබට දෙන්න තබා මටවත් හරිහමන් සංග්‍රහයක් මේ රජගෙදරින් ලැබෙන්නේ නෑ. ඉතින් කොහොමද ඔබට දෙන්නේ.
ඇයි ඔබතුමිය මෙපුර අගබිසවනේ. භාග්‍යවන්තම කාන්තාවනේ.
ඒ නමට පමණයි. හරිම අගාභ්‍යසම්පන්නයි.
පුදුමයි. පුදුමයි.
පුදුමයක් නොවේ මේ රජතුමා මගේ හිත දරුණු ලෙස රිදවනවා. එහෙත් මම වෙනස් වුණේ නෑ. එදාවාගේම දැනුත් ආදරෙයි. ගරු කරනවා. කියා මඟදී වූ ස්වර්ණ පර්වත කතාවද කිව්වා. ඉතින් දැන් මොනවා දෙයිද?
රජතුමා එය අසාගෙන ඉඳ මෙසේ කිව්වා.
පුරෝහිත යමක් කරතොත් එය කිවයුතුවන්නේය. නොකරන දෙය නොකිය යුතුය වන්නේය. නොකරන දෙය කියන්නා අඥානයෙකි. වචන මාත්‍රයට සතුටු වෙනවා අනුවණයන්ගේ ස්වභාවය තත්වූ පරිදි හැර තුච්ජකොට සිතීමයි.
එබස් අසා අගබිසව නැවත රජතුමාට නමස්කාර කළා. ඔබවහන්සේ ස්වභාවයේ සිටින සේක්වා. හිතන්න රජතුමනි! යමෙක් නුඹවහන්සේ රටින් නෙරපන ලද්දේ ද ඔහු සිතේ දුකට පත්වන්නේ ද? ඔහුගේ සිත ශක්තිය ඇතිවනසේ කටයුතු කර කටයුතු කර රමණයට පවා ඉඩහරින්නේද? යනුවෙන් බිසව දුක්විඳි කාලය මතක් කරදුන්නා.
දේවයන්වහන්ස මේ ලෝකයේ යම් ස්ත්‍රියක් දිළිඳු ස්වභාවය ඇත්තීද ඇය ඒ දිළිඳු බව විඳී. යම් ස්ත්‍රියක් කීර්තිමත් වූ උපභෝගී සම්පත් පිරි පොහොසත් ඇත්තියක් වේද? ඇය ඒ පොහොසත් බව විඳී.
දේවයන්වහන්ස මේ අගබිසව උතුම්ය. සුරූපීය. අගබිසෝ තනතුරට ඉතාමත් සුදුසුය. තවදුරට හිතන්න දේවයන්වහන්ස. ඔබතුමා දුක්විඳින කල මේ බිසව ඔබතුමා සමඟ දුක බෙදාගත්තා. ආදරය දැක්වූවා. උතුම් බිරියක් වුණා. එබැවින් ගුණයහපත් වූ ඔබවහන්සේ මෙතුමියට පුදසත්කාර නොකිරීම නම් සුදුසු නැත. කියා තවදුරටත් අගබිසගේ ගුණ පුරෝහිත වර්ණනා කළා. කළගුණ ගැන පහදා දුන්නා.
රජතුමා පුරෝහිත කළ කරුණු කාරණා අවබෝධ කර ගත්තා. සිදුවූ පමාවට අගබිසවගෙන් සමාව ගත්තා. සියලු රාජ්‍ය සම්පත් ලබාදුන්නා.
(සුබ්බච ජාතකය ඇසුරින්)