දිනෙන් දිනම වැඩිවෙමින් පවතින සෞඛ්‍ය අවදානමක් ලෙස අංශභාගය නැතහොත් පක්ෂඝාතය රෝගය හැඳින්විය හැකිය.
සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවිපෙවෙතක් පවත්වා ගැනීමට අසමත් වීම නිසා මෙවැනි රෝගවලින් ජීවිත කාලයම ගෙවා දැමීමට බොහෝ අයට සිදුවී ඇත. වැදගත් කාරණය වන්නේ මෙවැනි රෝගයකට ලක්නොවී ආරක්ෂා වීමේ හැකියාව අප සතු බව අවබෝධ කර ගැනීමයි.
මෙහිදී සාමාන්‍යයෙන් සිදුවන්නේ මොළයේ සෛල මිය යාමයි. මොළයේ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් හා පෝෂණය නිසි පරිදි නොලැබීම නිසා මොළයේ යම් යම් ස්ථානවල ස්නායු සෛල මියයාම සිදුවේ. එවිට එම ස්ථාන මඟින් පාලනය වන්නාවූ ශරීරයේ කොටස් අඩපණ වේ. සංවේදන නොලැබී යන අතර ක්‍රියාකාරීත්වයත් දුර්වල වේ.
ආඝාතය නැතහොත් Stroke ලෙස හඳුන්වන මෙය මොළයට රුධිරය සපයන රැධිරවාහීනිවල මේද හෝ රැධිර කැටියක් හිරවීමෙන් සිදුවන අවහිරතාවයක් නිසාත් එසේම අධික රුධිර පීඩනය නිසා රුධිර නාළයක් පිපිරීමෙන් ඇතිවන අභ්‍යන්තර ලේ ගැලීමක් නිසාත් සිදුවිය හැක.
එකවර ශරීරයේ එක් පාර්ශවයක අප්‍රාණිකතාවයක් ඇතිවීම, කතාව අපහසු වීම, කට පැත්තට යාම, ඉතා තදබල රෝගී අවස්ථාවන්හීදී සිහිමද ගතිය වැනි රෝග ලක්ෂණ ප්‍රධානව ඇති කරයි. මෙය හදිසි රෝග අවස්ථාවක් නිසා ඉතා ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. එමඟින් රෝගියාට ඇතිවන බලපෑම් අවම කර ගත හැකිවන්නාසේම මරණයෙන් ගලවා ගැනීමට ද අවස්ථාව සැලසේ. මොළයේ සෛලවලට සිදුව ඇති හානි ප්‍රමාණය අනුවද මරණය පවා සිදුවිය හැක.
නමුත් අංශභාගය සියයට අනූවක්ම වළක්වා ගතහැකි රෝගී තත්ත්වයක් බව සිහිතබා ගතයුතුය. ඒ සඳහා කළයුතු මූලිකම දේ වන්නේ නීරෝගී ජීවන රටාවකට හුරුවීමයි. මෙහිදී හෘදය හා රුධිර වාහිනි පද්ධතියේ නීරෝගී බව ආරක්ෂා කරගැනීම සඳහා මූලිකවම පියවර ගතයුතුය.
අධික තෙල්, ලුණු, සීනි සහිත ආහාර මෙන්ම පිටිවලින් නිෂ්පාදිත ආහාර පාලනය කළයුතුය.
අධික රුධිර පීඩනය, රුධිරගත කොලොස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම මෙන්ම දියවැඩියාව රෝගය මෙයට ප්‍රධානම හේතු ලෙස දැක්විය හැක. එබැවින් වෛද්‍ය පරීක්ෂණවලට සහභාගිවී රුධිර පීඩනය, කොලොස්ටරෝල් හා රුධිරගත මට්ටම් පාලනය පිළිබඳව අවධානය යොමුකළ යුතුය. ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුය. නිවැරදි ලෙස ඖෂධ භාවිතය කළ යුතුය.
මෙවැනි රෝගීන් දුම් පානයෙන් වැළකීම හා මත්පැන් පානයෙන් වැළකීම අනිවාර්ය වේ.
වඩා වැදගත්ම කාරණය වන්නේ ක්‍රියාශීලී දිවිපෙවෙතක් පවත්වා ගැනීමයි. ඒ සඳහා දිනපතා හෝ සතියකට දින දෙකක් හෝ තුනකටත් ව්‍යායාම්වල යෙදීම අත්‍යාවශ්‍ය කාරණයකී. දිනපතා ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි සැහැල්ලු ව්‍යායාමවල යෙදීමට උනන්දු විය යුතුය. එමඟින් ශරීර අභ්‍යන්තර සියලු පද්ධතීන් නිසි ක්‍රියාකාරිත්වයන් ඇතිවන අතර ශාරීරික මෙන්ම මානසික සැහැල්ලු බව, මාංශ පේශී, අස්ථි සන්ධිවල ශක්තිමත් බව මෙන්ම චලන පරාසය පවත්වාගැනීමටත් එමඟින් හැකියාව ලැබෙයි.
එසේම යෝග ව්‍යායාම මඟින් මානසික මෙන්ම ශරීරික සමබරතාවය පවත්වා ගැනීමට උපකාරී වෙයි. මානසික විවේකී බව ඉතා වැදගත් සාධකයකි. මානසික අසමතුලිත බව ආතතිය මඟින් ශරීරයේ රසායනික වෙනස්කම් ඇති කරයි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඇතුළු සියලු රෝගයන්ට මඟ සලසයි.
දේහ බර නිසි ලෙස පවත්වා ගැනීම සඳහා ආහාර, ව්‍යායාම හා මානසික සමබරතාවය යන සාධක තුනම බලපාන අතර අලුත් එළවළු, පළතුරු, පලා වර්ග වැඩිපුර ආහාරයට එක්කර ගැනීම පිටි සහ සීනි අධික ආහාර ලුණු, තෙල් අධික ආහාර පාලනය කළ යුතුය.
තරබාරුව අංශභාගය මෙන්ම අනෙකුත් සියලු රෝගයක්ම මෙයට ප්‍රබල හේතු සාධකයක් වන බැවින් ශරීරයේ උසට සරිලන බරක් පවත්වා ගැනීම වැදගත් වේ. ජානමය සාධක සහිත පුද්ගලයන් මෙවැනි රෝගයකට ගොදුරු වීමේ අවදානම වැඩි කරයි. එබැවින් එවැනි පුද්ගලයන් නිසි කලට නිසි වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීම මෙන්ම කල්තබාම ආරක්ෂක උපක්‍රම භාවිතය ඉතා වැදගත් වේ.
නිවැරදි ආහාර පුරුදු හා චර්යා රටා කුඩා කල සිටම අනුගමනය කළයුතුය. එවිට ජානමය සබඳතාවයන් ඇති රෝගියෙක් වුවද එහි තීව්‍රතාවය අඩුකරගැනීමට හැකියාව ලැබෙයි.
ආයුර්වේදයේ ස්වස්ථ්‍ය සංරක්ෂණ ක්‍රම, එනම් නිරෝගීභාවය ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේදයක් දක්වා තිබේ. නිරෝගී දිවි පැවැත්මක් සඳහා පුද්ගල දින චර්යාව වෙනස් විය යුතු ආකරයේ සහ අනුගමනය කළයුතු පිළිවෙත් පිළිබඳව ස්වස්ථ්‍ය දත්ත යටතේ දැක්වෙයි. උදෑසන අවදිවීමේ සිට රාත්‍රී නින්දට යාම දක්වා ඔබ විසින් සිදුකරන ක්‍රියාවක් නිසි පරිදි පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. මෙමගින් බොහෝ රෝග උවදුරුවලින් ආරක්ෂා විය හැක.
කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල