නොවැම්බර් මාසය වැහි කාලයත් සමඟ ගෙවීයද්දී එළඹෙන උඳුපත් මාසයේ සීතල අද මෙන්ම එදාත් ගත දැනෙන්නට ගත්තේය. උඳුවප් මාසයේ සීතලත් එකල රේඩියෝවෙන් ඇසුණු නත්තල් ගීතත් අපගේ මතකයේ රැඳීඇත්තේ වෙන වෙනම දැනෙන සංවේදනයක් ලෙස නොව තනි හැඟීමක් ලෙසයි. එකල නිතර රේඩියෝව පණගන්වා තිබීම සෑම නාගරික ගෙදරකම පුරුද්දක් විය. ගුවන් විදුලියට සවන් දෙන්නට එය ඉදිරියට එන්නටම ඕනෑ නොවීය. ඉන් ඇසුණු නත්තල් ගීත, මිදුලේ සිටියත්, සාලයේ සිටියත්, පාරේ සිටියත් සැමගේ සවනත වැකී නත්තල් හැඟීම සිතට දැනුණේ ජාති, ආගම්, භේදයකින් තොරවය.
නත්තල ළංවෙද්දී අපේ කිතුනු මිතුරෝ තමන්ගේ සේවාස්ථාන, පාසල් හෝ විශ්වවිද්‍යාලවල කැරොල් ගීත ගායනා කරන්නට පුහුණු වූහ. එම කැරොල් ගීත බොහෝවක් ගුවන් විදුලියෙන්ද ප්‍රචාරය වූයේය. අපට ඇසුණු නත්තල් ගීතිකා රාශියක් ලියා තිබුණේ අපේ පන්සලේ පියතුමා හෙවත් මර්සලීනු ජයකොඩි පියතුමාය. එතුමා සිංහල බෞද්ධ අපට සමීප අපේ සරල සුගම සිංහල බසින් කිතුනු ගී ලීවේ නවසිය පනස් ගණනවලටත් පෙර සිටය. එම ගීත නිසා අප දන්නා පරිසරයක තිබෙනා බෙත්ලෙහෙමත් අපට මැවී පෙනුණේය.
සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගව හලකට තරැවක් යනවා
අහසට පොළොව ගැටේ
නත්තල ළංවන විට රේඩියෝවෙන් වැඩිපුරම ඇසෙන්නට ගත්තේ එකල ධර්මරත්න සහෝදරයින් (මිල්රෝයි ධර්මරත්න ඇතුළු) ගායනා කළ බෙත්ලෙහෙමේ ගීතයයි.
කලකට පෙර ඒ බෙත්ලෙහෙම්
ශුද්ධ වූ නගරේ - ජේසු මෙලොවට බිහිවුණේ
පුංචි ගව මඩුවේ
මෙම ගීතයට පදනම් වූ මුල් ගීතය Jester Hariston විසින් 1956 දී ලියූවකි. Mary’s Boy Child නමින් ලෝ සුපතල එම ගීතය භාෂා 20කට පමණ පරිවර්තනය වී තිබේ. එහි මුල් පද මෙසේය.
Long time Ago in Bethlehem
So the Holy Bible Says
Mary’s boy child Jesus Christ
He born on Christmas day
1956 දී හැරී බෙලා ෆොන්ටේ නම් කැලිප්සෝ ගායකයා මෙය ගායනා කළේය. පසු කලෙක Bonny M ගායක කණ්ඩායම ද මෙය ගායනා කරද්දී එය අතිශය ජනප්‍රිය වූයේය. මෙම ගීතයද සිංහල බසට පරිවර්තනය කර ඇත්තේ මර්සලීනු ජයකොඩි පියතුමාය. එම සිංහල ගීතය නත්තලට ගැයෙන ජන ගීයක් හා සමානය.
දැන් නත්තල් කැරොල් ගීත ගායනා කරන්නේ එකම ස්ථානයක, බොහෝ විට වේදිකාවක් මත ඉන්නා ගායක සමූහයක් විසිනි. එහෙත් ඉස්සර මීගමුව, හලාවත පැත්තේ කතෝලික ගම්වල නත්තල් කැරොල් කරත්ත ඉතාමත් ජනප්‍රිය වූ බව අපේ කතෝලික සොයුරෝ කියති. නත්තල් කැරොල් කරත්තයේ අනිවාර්ය චරිත කිහිපයකි. ගේබ්‍රියල් දේව දූතයාට දිළිසෙන ඇඳුමකින් සරසා එක් ළමයකු සූදානම් කර ගැනුණි. ලස්සන ගැහැනු ළමයකු මරියතුමියටත් තවත් අයකු ජුසේතුමාටත් අංගවස්ත්‍රවලින් සරසා ගැනේ. කුඩා දරුවකු ගැනීම අපහසු නිසා බොහෝ විට ජේසු බිළිඳාට ගත්තේ බෝනික්කෙකි. මේ සියලු දෙනාට කැරොල් කණ්ඩායමට එක්වී එකල ගෙයින් ගෙට ගිය සැටි දැන් අපේ වයසේ ඉන්නා අය ආදරයෙන් සිහිපත් කරති. ගෙයින් ගෙට යද්දී ගෙවල්වලින් කැරොල් කණ්ඩායමට නොඅඩුව සංග්‍රහ කිරීම එකල පුරැද්දක් විය.
සෑම නත්තල් කැරොල් කණ්ඩායමක්ම පාහේ නොවරදවා ගායනා කළ තවත් එක් අතිශය සුන්දර ගීතයක් ගැන නොකියාම බැරිය. එහි පද රචනයත්, චමත්කාර තනුවක් විසින් ඈත දේසෙක, ඈත අතීතයක සිදුවූ ජේසු බිළිඳාණන්ගේ උපත අපට ආගන්තුක නොවන සිදුවීමක් ලෙස අපට සමීප කර තිබේ. සමූහයක් විසින් එය ගායනාකරන විට ඇසෙන්නේ රිද්මයානුකූලව මුහුදක රැලි නැගෙන්නාසේමය.
රෑතරු බබලනවා - මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා - මල් වැහැලා වාගේ
රැව් පිළිරැව් දෙනවා - ගීත නාද වාගේ
බිළිඳෙකු හිනැහෙනවා - මුහුදක රැලි වාගේ
සිත සුළං එනවා - උයනක සිරි වාගේ
ගොපළුන් දුර එනවා - පැණි බඹරුන් වාගේ
එක්දහස් නවසිය හැට ගණන්වල මුල්භාගයේ පැවති දෙවැනි වතිකානු සභාවෙන් ඒ ඒ රටවල සංස්කෘතියට අනුරූපව ක්‍රිස්තියානි සදහම් පණිවිඩ ගෙනයන්නට තීරණය කෙරිණි. එසේ වුවද මර්සිලීනු ජයකොඩි පියතුමා අපේ සංස්කෘතියට අනුරෑප ලෙස ගීතිකා රචනා කළේ ඊට වසර ගණනාවකට පෙරය.
ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණ නත්තල් ගීතවලට 1970 ගණන්වල අලුතෙන් එක්වුණු ගීතයකි, අනිල් භාරතී ගායනා කරන බෙත්ලෙහෙම් පුරේ - දිළිඳු ගවලෙනේ ගීතය මේරි නිල්මිණි නම් කන්‍යා සොයුරියක විසින් ගායනා කළ බාලොලි බාලොලියේ නම් නත්තල් ගීතිකාවක් ද හැත්තෑ ගණන්වල මැදහරියේ ගුවන් විදුලියෙන් නත්තල් කාලයේ ප්‍රචාරය වූයේය.
බාලොලි බාලොලියේ - බාලොලි බාලොලියේ
මිනිස් වෙසින් ආ - විමුක්තියේ හඬ
මරිය මවුන් - නැළවිල්ලට මුසු කොට
ස්වර්ග රාජ්‍යයේ දොරගුළු හැර ලන්නට
සීත රැයේ බෙත්ලෙහෙමෙන් මතුවිය
නත්තල් දා රාත්‍රී 12.00 අවදි වී දසකින් ඇසෙන රතිඤ්ඤා හඬ අසන්නට අපි කුඩා කල පටන් ආසා කළෙමු. සිංහල අවුරුද්දටත් වඩා අහස් ගුණ්ඩු අහසේ පියාසර කළේ නත්තල්දාට සහ ජනවාරි පළමු වැනිදාටයි. දැන් කාලයේ මෙන් විවිධ විසිතුරු ගිනිකෙළි රූපවාහිනියෙන් සහ සැබෑවටම අප ඒ කාලයේ දැක තිබුණේ නැත. අහසට විහිදීගොස් පුපුරණ අහස් කූරු දෙස ඒ නිසා අපි ආසාවෙන් බලාසිටියෙමු. පාර දිගේ මහ රෑ අහස් කූරු යැවීම වෙනම ප්‍රමෝදයක් සිතට ගෙන දුන්නේය. එකල පාරේ ගැටව් දෙපිල බෙදී එකිනෙකා වෙත පාර දිගේ ඔට්ටුවට අහස් කූරු යවා ගත්තෝය.
නත්තල උදාවෙන රාත්‍රියේ පල්ලියේ දේව මෙහෙයට යන සෙනඟ දෙස අපි දොරකඩට වී බලාසිටියෙමු. ඒ යන සෙනග ලස්සන ඇඳුම්වලින් සැරසී සිටියා හොඳින් මතකය. ඒ කාලයේ ඒ සෙනඟ අතර වැඩිපුර ගියේ බර්ගර් නෝනාවරු සහ මහත්වරුය. ලස්සන බර්ගර් යුවතියෝද ඒ අතර සිටියහ. පසු කාලයේ ඒ අය හුඟදෙනෙක් ඕස්ට්‍රේලියාව සංක්‍රමණය වූහ.
අප සමඟ කුඩා කාලයේ සෙල්ලම් කළ අපේ මිතුරන් සිතා සිටියේ නත්තල් දා උදෑසන නත්තල් ගහේ එල්ලා ඇති තෑගි ඔවුනට නත්තල් සීයා ගෙනා ඒවා බවයි. දැන් කාලයේ ඉලෙක්ට්‍රොනික කෙළිබඩුවලින් ක්‍රීඩාකරන කුඩා ළමුන් මෙන් නොව ඒ කාලයේ ඉතා සරල කෙළිබඩුවලින් ළමෝ තෘප්තිමත් වූහ. ඇතැම් ඒවා තනා තිබුණේ ලීවලින් හෝ කාඩ්බෝඩ්වලිනි. බඩ මිරිකූ විට ක්‍රෑක් හඬ නගනා ගිරවකුගෙන් අපේ පුංචි සන්දියේ යහළුවකු සති තුනක් පමණ සෙල්ලම් කළා මතකය. මේ කාලයේ දරුවකු නම් දෙපාරක් උගේ බඩ මිරිකා ඉවත දමනු නිසැකය.
නත්තල් සැමරීම වාණිජකරණයට ලක්වූ විට එහි තිබූ සරල සුන්දර ගතිය වියැකී ගියේය. කුඩා දරුවන්ගේ නත්තල් සීයා පවා අලෙවි ප්‍රවර්ධනය සඳහා යොදාගත් චරිතයක් බවට පත්වෙනු පෙණිනි. පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ පළමුවැනියා සහ අන්තිමයා නම් කෙටි චිත්‍රපටයෙන් නත්තල වාණිජකරණයට ලක්වන ආකාරය හොඳින් පිළිබිඹු කර තිබුණේය. වෙළෙන්දකු විසින් යේසුස් වහන්සේගේ කුඩා පිළිරැවක් බෙල්ලෙන් අල්ලා අලෙවිකිරීම එම චිත්‍රපටයේ ප්‍රබල රූ සටහනක් විය.
දැන් තරම් බ්‍රොයිලර් කුකුල් මස් පරිභෝජනයට නොගත් ඒ කාලයේ නත්තල් කාලයේ මැදින් කැපූ කුකුළකු පිළිබඳ වෙළෙඳ දැන්වීමක් පුවත්පත්වල පළවෙන්නට ගත්තේය. ඊට එරෙහි විරෝධතා පැන නගින්නට ගත්විට එම වෙළෙඳ දැන්වීම පළවීම ඇණ හිටුනේය.
විවෘත අර්ථිකයේ අවතීර්ණයක් සමඟ නත්තල සමරන ආකාරය බොහෝ සෙයින් වෙනස්වන්නට පටන් ගැනුණි. ජේසු උපත සමරන සාමයේ පණිවිඩය ගෙනයන කාලයකට වඩා නත්තල් සමය උපභෝග, පරිභෝග භාණ්ඩ අලෙවිකරණ සමයක් බවට පත්වූයේය.
කුඩා අවධියේ අප සැමරූ නත්තල වාණිජ ආටෝපයේ දැවටී අප වෙත ආ නත්තලයක් නොවීය. එය ලොව වෙසෙන අතිමහත් කිතුනු ජනතාවගේ විශ්වාසයක් පිළිබඳව අප දැනුවත් වූ කාලයක් විය. ජේසු බිළිඳාණන්ගේ උපත පිළිබඳව බෞද්ධ අපට අපේ පවුල්වල උදවිය කියාදීමේ පිළිවෙතක් නොවූ අතර ඒ ගැන අපි දැනගත්තේ ගුවන් විදුලියෙන් සහ පුවත්පත්වලිනි. ජාති ආගම් භේදයෙන් තොරව එය ලෝකයේ පොදු ජනයාගේ උත්සවයක් ලෙස මාධ්‍ය හරහා අපි හඳුනාගත්තෙමු. සාමයේ පණිවිඩය නත්තල් කාලයේදී අප වෙත ආවේ එසේය. නත්තලට අපි අපේ යහළුවන්ගේ ගෙවල්වලට ගොස් කා බී ප්‍රිති වී නත්තල් ප්‍රීතිය එම කිතුනු යහළුවන් සමඟ බෙදා ගත්තෙමු. ඔවුහු සිංහල අවුරුද්දට අපේ ගෙවල්වලට පැමිණ අප සමඟ සිංහල අවුරුදු ප්‍රීතිය බුක්ති වින්දෝය. වෙසක් කාලයට අප සෑදු වෙසක් කූඩුවක් ආසාවෙන් ඉල්ලාගෙන ගොස් ඔවුහු තම ගෙවල් ඉදිරියේ ඒවා දල්වා ප්‍රීතිවූවෝය. එය නිරායාසයෙන් සිතට නැගුණු සංස්කෘතික සහයෝගීතාවක් විනා කිසිවකුගේ බලකිරීම හෝ උපදෙස් මත ඇති වූවක් නොවීය.
දැන් වෙළෙඳ ප්‍රවර්ධන චරිතයක් බවට පත්ව ඇති නත්තල් සීයා බටහිර ක්‍රිස්තියානු සංස්කෘතිය නිර්මාණ කිරීමේලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ සාන්තුවරයෙකි. ඉංග්‍රීසියෙන් Santa Claus යනුවෙන් හැඳින්වූයේ එම ශාන්ත නිකුලස් පියතුමාය. Kris Krigle ඔහුට තවත් නමකි. සෑමදෙනා අතර ඔහු ජනාදරයට පත්ව ඇත්තේ Santa යන ආදර නාමයෙනි. පිණිමුවන් බැඳි කරත්තයේ නැගී සීත හිම මතින් ඔහු ලිස්සා එන රූපය සෑම දෙනාගේ සිතට හුරු පුරුදු රූපයක් විය.
ඉස්සර දෙසැම්බර් 24 වැනිදා රාත්‍රී 12ට පාර අද්දර අපේ දොරකඩට විත් නත්තල උදාව අපි නැරඹුවෙමු. ඉහත කී ලෙස දසකින් ඇසුණ රතිඤ්ඤා හඬට කන් දුන්නෙමු. එහෙත් දැන් ලෝකය ඉස්සර වඩා කුඩාය. ගෝලීයකරණයත්, තාක්ෂණික දියුණුවක් නිසා අපි රූපවාහිනී තිරයේ පමණක් නොව අතැති ජංගම දුරකතනයෙන් පවා ලෝ පුරා නත්තල් සිරිය නරඹමු. එහෙත් වඩාත් අරැමය එය නොවේ. ලෝකය කැරකෙන නිසා අපට කලින් නැගෙනහිර පැත්තේ රටවලට නත්තල උදාවේ. ඕස්ට්‍රේලියාව නවසීලන්තය ආදී රටවල් නත්තල් උදාවේ ප්‍රිත්‍රිය බුක්ති විඳිනසැටි බලන්නට අපට දෙසැ. 24 රාත්‍රී වනතුරැ ඉන්නට අවශ්‍ය නොවේ. දෙසැම්බර් 24 වෙනිදා සන්ධ්‍යා යාමයේම අපට අතේ අතැති ජංගම දුරකතනවලින් ඕස්ට්‍රේලියාවට හා නවසීලන්තයට නත්තල උදාවෙන අයුරු දැකගත හැකිය.
ශ්‍රී ලංකිකයන් වන අපි වෙසක් කාලයට වෙසක් සතුට විඳ ගත්තෙමු. අවුරුදු කාලයට අවුරුදු ප්‍රීතිය බුක්ති වින්දෙමු. රාම්සාන් කාලයට අසල්වැසි මුස්ලිම් නිවසකින් එවනා බුරියානි පිඟාන ආසාවෙන් අනුභවකොට අපි උත්සවයට හවුල් වූයෙමු. නත්තලේ කාලයට ලෝ පුරා කිතුනුවන් සමඟ එක්වී නත්තලේ සතුට විඳගත්තෙමු. රවීන්ද්‍රනාත් තාගෝර් ගේ ගෝරා නම් නවකතාවේ එන පූර්විකාවක් මෙහිදී මතකයට නැගේ.
මම මිනිසෙක්මි
එබැවින් මිනිසා පිළිබඳ කිසිවක් හෝ
මිනිස් බවට නෑකම් කියන කිසිවක්
මට විදේශික නොවෙත්
මට ආගන්තුක නොවෙත්
I සමන් පුෂ්ප ලියනගේ