- පල්ලේගම හේමරතන නාහිමි
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා උපාධිධාරියෙක් වන පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි රටේ ප්‍රචලිත ගීත රචක භික්ෂූන් වහන්සේ නමක් වශයෙනි. රුවන්වැලි සෑ රජමහා විහාරාධිපති හිමි වශයෙන් කටයුතු කරන උන්වහන්සේ පහන නිවී දොළොස්මහේ (1988), අතීතය සිහිනයක් පමණයි (2009), සීතල ගඟුල වගේ (2009) ගීත රචනා කෘති පළ කළහ. සීතල ගඟුල වගේ කෘතියට විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හිමි විය. 2011 වර්ෂයේ මහින්දාගමනය චිත්‍රපටයට සහ 2015දී මහරජ ගැමුණු චිත්‍රපටයේ ගීත රචනා වෙනුවෙන් හොඳම ගීත රචකයාට හිමි සම්මාන රැසක් ද උන්වහන්සේට හිමි විය. වර්තමාන ගීත රචනා ක්ෂේත්‍රයේ ප්‍රවණතා පිළිබඳව හේමරතන නාහිමි අප සමඟ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
ඔබ වහන්සේ මුලින්ම ගීත රචනයට යොමු වුණු ආකාරය ගැන මතක් කළොත්?
මම පොඩි කාලේ ඉඳන් කවි ලිව්වා. මුලින්ම ගීතයක් ලිව්වේ 1979 රජරට සේවය පටන්ගත් පසුයි. එකල ස්වර්ණ ශ්‍රී බණ්ඩාර නිර්මාණී කියලා වැඩසටහනක් පටන්ගත්තා. ප්‍රේමකීර්ති ද අල්විසුත් රජරට සේවයේ හිටියා. මම යවපු කවියක් ටික දිනක් යනතුරැ ප්‍රචාරය වුණේ නැහැ. ප්‍රේමකීර්ති ඒ කාලේ උඩමළුව පන්සලට ආපු වෙලාවේ මම ඒ ගැන ඇහුවා. ඔහු කිව්වේ ඒක කවියකට වඩා ගීතයකට සුදුසු නිසා වෙනම තබාගත් බවයි. ස්වර්ණ ශ්‍රී බණ්ඩාරත් මා ගීත රචනයට පෙළඹෙව්වා.
නමුත් මුලින්ම පටිගත වුණේ රජරට සේවයේ ගීතය නොවේ නේද?
ඔව්. ඒ කාලේ සරත් දසනායක තමයි අනුරාධපුර කලාප පාසල් සංගීත අධ්‍යක්ෂ වෙලා හිටියේ. ඔහු පන්සලට පැමිණි වෙලාවක මම ලියපු ගීතයක් දුන්නා. ටික දිනකට පසු ඔහු කිව්වා විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ සරල ගී වැඩසටහනකට එම ගීතය පටිගත කළ බව. ජාතික ගුවන්විදුලියෙන් තමයි ඒක ප්‍රචාරය වුණේ. මව්ගේ උකුලේ නැලවුණු සමයේ කියන ගීතය. ඊට පසු රජරට සේවයේ නව රැල්ලට ගීත රාශියක් ලිව්වා. ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ, ආචාර්ය අමරදේව, එච්. ආර්. ජෝතිපාල වගේ ගායන ශිල්පීන් රාශියකට ගීත ලියා තිබෙනවා.
අද ගීත රචනා කලාව විනාශ වෙමින් යන බවයි පේන්නේ. බොහෝ ප්‍රවීණ ගීත රචකයන් නිර්මාණ ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා. ඔබ වහන්සේ මෑතකදී ගීත ලිව්වේ නැද්ද?
එහෙම පසුබිමක් තිබෙන බව ඇත්ත. නමුත් මගේ ගීත තුනක් මෑතකදී පටිගත වී තිබෙනවා. ක්‍රිශාන්ත එරන්දක, ජානක වික්‍රමසිංහ, අමරසිරි පීරිස් එම ගීත ගායනා කළා.
අද සුභාවිත ගීතයට අත්වී තිබෙන ඉරණම ඔබ වහන්සේ දකින්නේ කෙසේද?
ඇත්තටම දැන්නම් සුභාවිත ගීතය විනාශ වෙලා තමයි. එය අභාවයට යමින් පවතිනවා. ඒක රසිකයන්ගේ සංවේගයට හේතුවක්. නමුත් භික්ෂූන් වහන්සේ නමක් ලෙස මට පේන්නේ ඒක ලෝක ස්වභාවය බවයි. එය සොබාදහමට එකඟයි. මේක ගැන අපේ තියෙන්නේ කම්පාවක්. ඒ අතරට ඉඳලා හිටලා රජී වෙල්ගම වගේ ගීතයට ඇල්ම තිබෙන තරුණ රචකයන් බිහිවෙනවා.
අද ගීත රචකයන් බහුතරයකට භාෂාව ගැන හැදෑරීමක් නෑ. සාහිත්‍ය දැනුමක් නෑ. ගීතවත් පද පෙළක් වෙනුවට යම් යම් පද ලියලා ගායනා කිරීමක් තමයි දකින්න ලැබෙන්නේ. රචකයන්ට අත්දැකීම් නෑ. නිර්මාණයක් කියලා හැඟීමකින් නොවේ අද ගීත බිහිවන්නේ. විකුණගන්න තමයි අද ගීත ලියන්නෙත්. ඒක ගීත රචනා ක්ෂේත්‍රයේ අභාවයක් ලෙසයි අපි දකින්නේ.
අද ගීත රචකයන් මුදල මුලට දාලා තමයි ගීත ලියන්නේ. ඔබ වහන්සේ ගීත රචනයට එළඹි කාලයේ අත්දැකීම් හා එය සැසඳුවොත්?
අපේ මූලික අරමුණ වුණේ මුදල නෙවෙයි. ඒ කාලේ කවුරුත් ගීත ලිව්වේ සමාජයට යහපත් නිර්මාණයක් බිහි කිරීමටයි. අපට තිබුණේ හොඳ දෙයක් කළ බවට වූ තෘප්තිය තමයි. ඇත්තටම හොඳ ගීතයක් මිල කරන්න බැහැ. අද අවර ගණයේ දේවල් තමයි වැජඹෙන්නේ. ඒකනේ මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ කෙනෙක් ගීත රචනයෙන් ඉවත් වී සිටින්නේ.
අද විශාල වශයෙන් ගීත ප්‍රචාරය කරන එෆ්. එම්. නාලිකා තිබෙනවා නේද?
ඔව්. ඉස්සර තිබුණේ රජයේ ගුවන්විදුලි සේවා කිහිපයක් පමණයි. අද විශාල වශයෙන් නාලිකා තිබුණත් ඒවායේ ප්‍රමිතියක් පේනවද? ඒවට ගීත ලියන්න වෙනම පිරිසක් ඉන්නවා. 50 – 60 දශකයේ හින්දි තනුවලට ලියූ අනුකාරක ගීතවලට ඒ කාලේ දොස් කිව්වා. නමුත් ඒවායේ යම් ප්‍රමිතියක්, රසයක් තිබුණා. අද කාලේ ගීතවලින් තරම් ඒවායෙන් හානියක් වුණෙත් නෑ. අද බහුතරයක් ගීතවලින් අපට නම් විඳින්න රසයක් නෑ. ඒක අපේ අඩුපාඩුවක්ද මන්දා. සමස්ත වශයෙන් පරිහානිය තමයි දකින්න ලැබෙන්නේ.
අද බොහෝ ගායකයන් ගීත සංගිත තැටි නිකුත් කිරීමෙන් වැළකිලා ඉන්නේ. ඔබ වහන්සේගේ ගීත සංග්‍රහයක් මෑතකදී නිකුත් වුණාද?
මෑතකදී ගීත සංගීත තැටියක් නිකුත් කළේ නැහැ. මගේ ගීත 100ක් පමණ තෝරගෙන සංරක්ෂණය සඳහා ව්‍යායාමයක සිටිනවා. එයට විශාල වියදමක් යන නිසා හෙමින් තමයි කෙරෙන්නේ.
අද තරුණ ගීත රචකයන් වෙත ඔබ වහන්සේට පැවසීමට ඇත්තේ කුමක්ද?
ගීත රචනය කියන්නේ ඉතා වැදගත් කාර්යයක්. එහි රසය නොමරා ඉදිරියට ගෙනයාමට අලුත් පරම්පරාව උනන්දු විය යුතුයි. පෙර පරම්පරාවල ගීත රචනා කෘති පරිශීලනය කළ යුතුයි. නමුත් බහුතරයක් දෙනා කරන්නේ අධ්‍යයනයකින් ලිවීම නෙවේ. මොනවහරි වචන ටිකක් ලියන එකයි.
කුසුම්සිරි