2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

අම්මට සිරි පැරකුම්....

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 572

"කඩවුණු පොරොන්දුව" නම් අපේ සිනමා වංශ කතාවේ පළමු චිත්‍රපටයේ සිට මේදක්වා නිෂ්පාදනය වුණු චිත්‍රපට දක්වා චිත්‍රපටවලට සෑහෙන තරම් විචාර පළවී ඇත. සිංහල නූතන නාට්‍ය වංශ කතාවේ පළමු නාට්‍යයේ සැලකෙන "මනමේ" නාට්‍යයේ සිට මෑතකදී නිර්මාණය වූ “මම කෙළින් මිනිහෙක්." නාට්‍ය ගැන විචාර පළවී ඇත. ඒවා විචාරයට ලක්කිරීම මහඟු කාර්යයකි. ඒවා විචාරීමට යොමුවීම තරම් මහඟු කාර්යයකට යොමු නොවී මෙතෙක් කල්පැමිණි නාට්‍ය හා චිත්‍රපටවල නාමාවලියේ රටා හඳුනාගැනීමෙන් පමණක් සරළ විනෝදයක් සතුටක් සිතේ උපදවා ගතහැකිවේ. පසුගිය දශක කිහිපයේ මෙරටට පැමිණි හින්දි චිත්‍රපටවල නම් මෙනෙහි කිරීමෙන්ද මෙම සරල වින්දනය සිතේ උපදවා ගන්නට වියදමක් යන්නේ නැත.

සිංහල සිනමා වංශ කතාවේ කාන්තාවන්ගේ නම්වලින් බිහිවූ සිනමා කෘති ගණනාවක් ඔබට මතක්කර ගතහැකිවේ. එක තත්පරයක් තුළ කාන්තාවන්ගේ නමින් නම් කළ චිත්‍රපට රාශියක් සිතට නැගෙනු නොඅනුමානය තරංගා, සුජාතා, ගංගා, වාසනා, සුරේකා, සුසී, නීලා, අංජලිකා, ශාන්ති යනු ඉන් කිහිපයක් පමණි.

සිංහල සිනමා නාමාවලියේ, සිංහල සිනමාවේ තිබුණු ප්‍රශ්නවලටත් වඩා සෑහෙන තරම් ප්‍රශ්න නගාඇත්තේය. එහෙත් ඒ නම් චිත්‍රපට වෙනුවෙන් භාවිත කරන කිසිම විටෙක ඒ නම් අගට ප්‍රශ්නාර්ථ ලකුණක් භාවිත වෙනු කිසිවිට පෙනුණේ නැත. දැන් මතකද? මේ දෑස් කුමටද? කව්ද හරි? සැනසුම කොතැනද? කව්ද රජා? මේ ප්‍රශ්න කිරීම මෙතැනින් නැවතුණේ නැත. තත්පරයක් නිහඬව අතීතය මෙනෙහි කරන අයකුට සිංහල සිනමාවේ නැගූ ප්‍රශ්න ඕනෑතරම් චිත්‍රපට නාමාවලිය තුළ හඳුනාගත හැකිය.

ස්ත්‍රිය පිළිබඳව ඒ ඒ කාලයට චිත්‍රපට හෝ වෙනත් කලා මාධ්‍ය තුළින් ඉදිරිපත් කළ දැක්මම චිත්‍රපටවල නම් ආශ්‍රයෙන් හඳුනාගත හැකිය. ස්ත්‍රියගේ සුවිනීතභාවය පිළිබඳව, පතිදම් රැකීම ගැන නිමක් නැතිව ගීතය ඇතුළු කලා මාධ්‍යවලින් දේශනා කරන කාලයක ආවේ "සුවිනීත ලාලනී", “සුලලිත සෝබනී" නමින් වූ චිත්‍රපටය. එහෙත් පසු කාලීනව පුරුෂයා විසින් ස්ත්‍රිය හට කරන අසාධාරණ හමුවේ. "ඇගේ වෛරය" 1, 2, 3 තරම්දුරට චිත්‍රපට නිර්මාණය වූයේය. පසුකාලයක සුවිනීත ලාලනීලාව අමතක වී "සළුපට අහසට" ගියේය.

සංසාරයේ ඇති අනියත බව කියැවෙන චිත්‍රපට ද නිතර නිතර එළිදුටුවේය. එම චිත්‍රපට බොහෝවක් අවසාන වූයේ කතානායකයා, සොහොන් කොත් වැද්දෙක් හෝ රජරට සිද්ධස්ථාන මැද්දෙන් සිවුරකුත් පොරවාගෙන ගමන් කරන දර්ශනවලිනි “සසරක හැටි" ඉහත “ආත්මය", “සැනසුම" කොතැනද? ඉන් කිහිපයකි. ඇතැම් විට එම චිත්‍රපටවල ගීත ගායනා සහ සංගීත නිර්මාණ චිත්‍රපටවල ගීත ගායනා සහ සංගීත නිර්මාණ චිත්‍රපටයේ පැවැත්ම අභිබවා තාමත් ජනප්‍රියව පවතී.

ඇල්.ඇම්. පෙරේරා තමා අධ්‍යක්ෂණය කළ සැම චිත්‍රපටයක්ම “හතර" මුලට දැමූ නම්වලින් හැඳින්වූයේය. “හතර මහ නිධානය", “හතර කේන්දරේ", “හතර වටේ" ඉන් එක චිත්‍රපටයක දඹදිව බෞද්ධ සිද්ධස්ථාන පෙන්වූ බැවින් එය බොහෝ කාලයක් ප්‍රදර්ශනය වූයේය. එහි දෙබස් සියල්ල රචනා වී තිබුණේ කාව්‍යානූරූපීවයි. මතකය නිවැරුදි නම් එම චිත්‍රපටයේ නම “හතර පෙරළිය" විය යුතුය. එහෙත් “හතර දෙනාම සූරයෝ" චිත්‍රපටය ඇල්.ඇම්. පෙරේරාගේ චිත්‍රපටයක් නොවූයේය. “හතර දෙනාම සූරයෝ" චිත්‍රපටයේ නමින් පටන්ගත් “සූරයෝ" චිත්‍රපට රාශියකි. “එදත් සූරයා අදත් සූරයා," “අපි කවදත් සූරයෝ," “සූරයා සූරයාමයි."

සිංහල සිනමාවේ වළලුද හිඟ නොවීය. හැත්තෑ ගණන්වල මුල හරියේදී “නිම් වළල්ල" ආ පසු “බංගලි වළලු," “කදා වළලු," “පවුරු වළලු" නමින් චිත්‍රපට ආයේය. හන්දියේ අයියලාගේ බාසාවෙන් කියනවානම් “ලව් ෆයිට්" ඔක්කොම තියෙන චිත්‍රපට ඒ කාලයේ පටන්ම වැඩි දින ගණනක් ප්‍රදර්ශනය වූයේය. එම නිසා සූරයන්ගෙන් සහ චණ්ඩින්ගෙන් පිරි සිනමා කෘති අපට හිඟ නොවීය. වට්ටෝරු චිත්‍රපටයේ අවසාන අදියරේ ඇති මහා ෆයිට් එකට චණ්ඩින්ගේ සහාය නැතිවම බැරිවිය. එහෙත් ටයිටස් තොටවත්ත මුලින්ම හැදූ චණ්ඩියා චිත්‍රපටය සාර්ථක කලාත්මක ලක්ෂණ අයත් කරගෙන තිබූ බව විචාරකයෝ කීහ. ඉන්පසු “බජාර් එකේ චණ්ඩියා," “චණ්ඩින්ගෙත් චණ්ඩියා" ආදී චණ්ඩින්ගෙන් පමණක් නොව “චණ්ඩි ශ්‍යාමා" ගෙන්ද චණ්ඩිකම් ප්‍රදර්ශනය විය.

සිංහල චිත්‍රපටවල නම් දෙස බැලූ ප්‍රේක්ෂකයෝ ඒවා තමන්ට රිසි ලෙස වෙනස් කර ගෙන විනෝදය ලැබූහ. “අදට වඩා හෙට හොඳයි" කියනු වෙනුවට ඇතමෙක් “ඇඳට වඩා බිම හොඳයි" කීවෝය. බොඩි බිල්ඩර්ලා ඇඳට වඩා බිම නිදියන්නට කැමති බව අසා ඇත්තෙමි. කැලණි පාලම නාට්‍යයේ මන්ත්‍රීතුමා (මැම්බර්) චිත්‍රපට දෙකක නම් එක්කොට අපූරැ අරැතක් සෑදුවේය. “සැනසුම කොතැනද - අල්ලපු ගෙදර" “ඔබට දිවුරා කියන්නම්" චිත්‍රපටයේ නම තරමක් වෙනස් කොට “ඔබට බිමදා කොටන්නම්" කීවේ කුරුල්ලකු විය යුතුය. “පාරට නැමුණු අතු" නම් චිත්‍රපටය කප්පාදු කළේ කපන මණ්ඩලයෙන් නොව විදුලි බල මණ්ඩලයෙන් බව ඇතමෙක් කීහ. මේ දෑස් කුමටද? චිත්‍රපටය මාතර S.K. සිනමා හලේ ප්‍රදර්ශනය වෙද්දී “මේ දෑස් මක්කටෙයි" යනුවෙන් නම් කළ බව කියන යාං හෑල්ලක් අප අතර තවමත් ප්‍රචලිතය. ඇගේ වෛරයේ ප්‍රදර්ශනය වන්නේ ඇඟේ වෛරම දැයි තවතෙකෙක් ප්‍රශ්න නැගුවෝය. “සළුපට අහසට" යන නමට එක්කළ පදනම් මෙහි ලියන්නට බැරි තරම්ය.

චිත්‍රපට නම ලෙස අංකයක් යෙදීම “24 පැය" චිත්‍රපටයෙන් ඇරැඹුණේය. ප්‍රසන්න ජයකොඩිත් එක් චිත්‍රපටයක නම “28"ය. ඉතා මෑතකදී 2.0 නම් හින්දි චිත්‍රපටයකට නම් ලැබීම කළ පැරණි හින්දි චිත්‍රපටවල නම් හා සැසැඳුවිට අතිශ්‍යය විශේෂයකි. “ජබ් පෙයාර් කිසීසේ හොතා හේ," “ඒක් පූල් දෝ මාලී," “ඒක් නාරි භ්‍රහ්මචාරී" වැනි හින්දී චිත්‍රපටවල නම් සහ සැසැඳූවිට 2.0 යනු ඉතා කෙටි අපූර්ව නමකි. අතුල පතිරණ “Twelve Angry Men" නම් රෙගිනෝල්ඩ් රෝස් ගේ ඉංග්‍රීසි නාට්‍යයට නම තැබුවේ, “12ක්" කියාය. හෙන්රි ජයසේන තම පරිවර්තන නාට්‍යවලට නම් තබද්දී බොහෝ විට ඇසුරු කර ගත්තේ එම නාට්‍යයේ මුල් නමයි. “Chalk Cercle" හුණු වටයේ කතාව නම් විය “Mother Courage and her Children" “දිරිය මව හා ඇගේ දරුවෝ නම් විය. එහෙත් සුගතපාලද සිල්වා තම පරිවර්තන නාට්‍යවලට නම් තබද්දී මෙරට නාට්‍ය ප්‍රේක්ෂකයාට සමීප වන සේ නාට්‍යයේ නම අනුවර්තනය කළේය. ඔහු බ්‍රේෂ්ට් ගේ “Good Women Of Setsuan" නාට්‍ය නම් කළේ “හිත හොඳ අම්මණ්ඩි" ලෙසයි. ලුයිනි සිරුන්ඩලෝගේ “Six Character and in Search of an Author" යන්න අනුවර්තනය කළේ “හරිම බඩු හයක්" ලෙසටයි. පසු කාලයේ ඒ නම ඇසුරුකොට ගෙන “හරිම බඩු තුනක්" නම් චිත්‍රපටයක් ආයේය.

නාට්‍යවල නම් අනුවර්තනය කිරීමේදී මෙරට ප්‍රේක්ෂකයාගේ කනට හුරුලෙස ඒවායේ නම යෙදීම සාර්ථක විය. අප එදිනෙදා කටවහරට හුරුකරගත් වචන පවා පසුකාලීනව එම නම්වලට යොදා ගන්නට නාට්‍යකරුවෝ උත්සුක වූහ. දාරියෝ ෆෝ (Dario Fo) ගේ “Cant pay? Wont Pay!” නාට්‍ය “අපි ගෙවන්නෙ නෑ" යනුවෙන් මුලින්ම අනුවර්තනය විය. පසුව “ගෙවන් නැත්තම් බම්බු ගහන්නද?" යනුවෙන් එම නාට්‍යය නම් කරන්නට පවා නාට්‍යකරුවා එඩිතර වූයේය.
සමාජය සංකීර්ණ වෙත්ම පෙර කාලයේදී මෙන් සුන්දර නම් යොදන්නට සිනමාකරුවන්ටත් නාට්‍යකරුවන්ටත් අවශ්‍ය වූයේ නැත. ලෝකය පුරා වූ අලුත් අත්දැකීම්වලින් ප්‍රේක්ෂකයා සන්නද්ධ වී සිටීම මීට හේතු වූවා වියහැකිය. චාලක රණසූරිය නම් අලුත් නාට්‍යකරුවා එක් කෙටිනාට්‍යයක් නම්කොට තිබුණේ “ඩයනෝසර් ප්‍රේමය" ලෙසයි. එම නම ඒ නාට්‍යයට අතිශ්‍යයින් ගැලපුණේය. ඔහුගේම “BOX”යනු කෙටි සිංහල නාට්‍යයකි.

සමාජ මතවල විකෘති භාවය සරළකොට විදහා පෑ “විකෘති" නාට්‍යයේ නම සෝමලතා සුබසිංහ වරෙක භාවිත කළේ. “විකුරිති" යනුවෙනි. වරෙක එය “ක" යන්න කණපිට හරවා භාවිතා කළේ නාට්‍යයේ තේමාව වඩාත් අර්ථගන්වනු පිණිසය.

“Funny Money" නම් නම් නාට්‍යයට “සාදය මාරයි - සල්ලි හමාරයි" යනුවෙන් ධර්මප්‍රිය ඩයස් යොදාගත් නම ඊට වඩා බොහෝ දුරගියේය. ටෙලිනාට්‍යවලට ද ඒ හා සමාන නම් යොදාගැනිණි. සමාජ මාධ්‍යවල ඒ නම විවිධ අන්දමේ උපහාස රස මතුකරමින් විවිධ ලෙස වඩාත් ප්‍රචලිතව යොදා ගැනේ.

මෑතකදී කරළියට පැමිණි “ගුටි කෑමට නියමිතයි" නාට්‍ය ගැන වරෙක පාර්ලිමේන්තුවේද කතා වුණේය. බයිබල, ව්‍යවස්ථා, පුටු ආදිය උඩින් විසිවෙන විට සිහියට ආවේ“ ගුටිකෑමට නියමිතයි." නාට්‍යයි. එය සාර්ථක දේශපාලන ප්‍රහසන නාට්‍යයක් විය.

සෑම අංශයකම සොඳුරු බව වියැකී, කළබලකාරී සමාජයක් අප ඉදිරියේ පහළ වූ විට සිනමාකරුවන් සහ නාට්‍යකරුවන් තවදුරටත් ඉස්සර තැබූ සුවිනීත, සුළලිත නම්වලින් තම නිර්මාණ නම් කරන්නේ කෙසේද?

“අප්පට සිරි!" හිටිහැටියේ ඒ නමද මතක් විය. මෑතකදී ඒ නමින්ද සිංහල කොමඩි චිත්‍රපටයක් ආවේය. “සිරි පැරකුම්" චිත්‍රපටය ගැන විචාරය කළ අපේ එක් මිතුරෙක් “අම්මට සිරි පැරකුම්" කියා එය අලුතෙන් නම් කළේය.

I සමන් පුෂ්ප ලියනගේ      

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00