Let’s Taco Colombo නමින් මීට පෙර හැඳින්වුණු මෙක්සිකානු අවන්හල පසුගියදා අලුත් නමකින් යළි විවෘත වුණා. Mexican House කියන අලුත් නම සමඟ අවන්හල අලුත් විදිහට විවෘත කෙරැණේ අලුත් ආහාර වට්ටෝරු කිහිපයකුත් සමඟ වීම විශේෂත්වයක්.
අවන්හල ඇතුළත පරිසරය ගත්තොත් පුළුවන් තරමින් මෙක්සිකානු පෙනුමක් ලබාදෙන්න අවන්හල් කාර්ය මණ්ඩලය කටයුතු කරලා තියෙන බවක් පේනවා. වෛවර්ණ සිත්තම් අවන්හල තුළ එල්ලා තිබීමත් ඊට එක හේතුවක්. අනෙක් අතට මෙතැනදී මෙක්සිකානු වීදි ආහාරවලට වැඩි තැනක් හිමිවෙන නිසාම එළිමහනේ ආසන පැනවීමේදී හැබෑම වීදි ආහාර අත්දැකීමක් විදිහට මේ ආහාර අත්දැකීම සමීප කරන්නත් ඔවුන් කටයුතු කරලා තියෙනවා.
අපි හා හා පුරා කියලා Green Lemonade සහ Zingy Orange කියන බීම වර්ග දෙක ඇණවුම් කළා. ඒ දෙකම එක හා සමානව රසයි. දෙහි සහ මින්ට් යොදාගෙන හරිම නැවුම් විදිහට ග්‍රීන් ලෙමනේඩ් එක හදලා තිබුණා. සින්ජි ඔරේන්ජ් එකට දොඩම් සහ ඉඟුරුත් සෝඩා ස්වල්පයකුත් එකතු කරලා තිබුණා.
අපේ ඊළඟ තේරීම වුණේ Nachos with Beef කියන බීෆ් සහ නාචෝස් එකමුතුවක්. කර කර ගාලා හැපෙන නාචෝස් එක්ක, බීෆ්, ගුවාකමෝල් (අලිගැටපේරවලින් සාදන කෑමක්) ප්‍රධාන වශයෙන් භාවිතා කරන මේ ආහාර දීසිය සැරසීමට යොදාගෙන තියෙන්නේ සීසන් කරපු කොත්තමල්ලි, තක්කාලි සහ මිරිස් වර්ගයි. ගොඩක් ලොකු පෝර්ෂන් එකක් දෙන නිසා දෙදෙනකුට වුණත් මේක ආහාරයට ගන්න පුළුවන්.
අපි ඊළඟට යොමු වුණේ Chicken Quesadilla වලටයි. කැබලි හතරක් විදිහට පිළිගැන්වෙන මේකට කටේ දියවෙන මට්ටමේ මෘදු බවින් යුතු චිකන් සහ චීස් එකතු කරලා තියෙනවා. මේ රසවත් ආහාර දීසිය සමඟ සල්සා සැලඩ් එකකුත් පිරිනැමෙනවා.
Cheesy Fries කියන්නේ මෙතැන තියෙන තවත් රසවත් තේරීමක්. මේක තමන් කැමැති ආකාර තුනකින් ලබාගත හැකිවුණත් අපි තෝරාගත්තේ සාමාන්‍ය චීසි ෆ්‍රයිස් දීසියකුයි. ඒකෙදි ෆ්‍රයි කරපු අල පෙති සහ චීස්වලට අමතරව රතු මිරිස් සහ තක්කාලිත් යොදාගෙන තියෙනවා.
ඉහත කියපු ආහාර දීසි හැම එකක්ම starters විදිහටයි සැලකෙන්නෙ. ප්‍රධාන ආහාර වේලක් විදිහට අපි තෝරාගත්තේ Kochchi Chicken Taco කියන ටැකෝ, නාචෝස්, සල්සා සැලඩ් සමඟ චිකන්, බීන්ස් දාලා හදපු කෑම වර්ගයකුයි. ගෙවන මුදලට උපරිම වටිනාකමක් දෙන්න ඒ දීසියට පුළුවන් බවත් කියන්න ඕනෙ. ඊට අමතරව Grilled Beef Tacos නමින් ටැකෝ තුනකින් යුතු රසවත් ආහාරයකුත් අපි මෙතැනදී රස වින්දා.
නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත