2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

අද යොවුන් නවකතාවල රජකරන්නේ බොරු වීරයෝ

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 182

නවකතා, යොවුන් සාහිත්‍ය කෘති, ජනශ්‍රැති, කෙටිකතා, ළමා කතා රාශියක් ලියූ ගුණසේකර ගුණසෝමගේ අලුත්ම කෘතිය තනිකකුලේ වීරයා (සූරිය ප්‍රකාශන) යොවුන් නවකතාවයි. ඔහුගේ වෙඩිහඬ යොවුන් සාහිත්‍ය කෘතියට 2000 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය. සටනක් මැද සටනක් කෘතිය 2014 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. ගොඩගේ සාහිත්‍ය සම්මානය තුන්වරක් ඔහුගේ යොවුන් නවකතාවලට හිමිව තිබේ. දෙවරක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රශස්ත කෘති අතරට ද ඔහු ලියූ යොවුන් නවකතා පිවිස ඇත. ගුණසෝමගේ කෘති දෙකක් දෙමළ බසට ද තවත් කෘති දෙකක් ඉංග්‍රීසි බසට ද පරිවර්තනය වී තිබේ.

මෑතකදී නිකුත් වුණු ඔබේ  තනි කකුලේ වීරයා කුමන ආකාරයේ තේමාවක් රුගත් යොවුන් නවකතාවක් ද...?

මා උපන් ගම් ප්‍රදේශය වන පානම්පත්තුවේ කුල පීඩනය නිසා දුක්විඳින දෙමළ පවුලක, යොවුන් දරුවෙක් සහ සිංහල දරුවන් අතර ඇතිවන මිත්‍ර සම්බන්ධය තමයි මෙහි කියැවෙන්නේ. වැඩිහිටියන් අතර පවතින කුලභේදය දරුවන් අතර නැහැ. පසුව දරුවන්ගේ මැදිහත්වීම නිසා වැඩිහිටියන් තුළ පවතින කුලභේදයද ඉවත් වෙනවා. ජාතිවාදය සහ කුලවාදයට එරෙහිව යෞවනයන් පෙළගැසෙන ආකාරය තමයි මෙහිදී කතා කරන්නේ.

අද ලෝක සාහිත්‍යයේ යොවුන් නවකතා අපට වඩා ගව්වක් විතර ඉස්සරහට ගිහින්. අපේ වත්මන් යොවුන් සාහිත්‍ය ප්‍රවණතා ඔබ දකින්නේ කෙසේද...?

අපේ සමහර යොවුන් නවකතා ගත්තාහම මහ පොළොවේ පයගහපු චරිත නොවේ තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් සමහර කතාවල පොලිසියේ රාජකාරිය යොවුන් දරැවන් කරනවා. අපි යොවුන් වයස කියලා ගන්නේ අවුරුදු 12-18 අතර කාල පරිච්ඡේදයයි. මේ වයසේ දරැවන්ට තබා වැඩිහිටියන්ටවත් කිරීමට බැරි වීරක්‍රියා කුඩා දරැවන් කරන ආකාරය සමහර කතාවල නිරෑපණය වෙනවා.

වීරත්වය කියන්නේ දරුවාගේ පෞරුෂ වර්ධනයේ එක් කාරණයක් පමණයි. පිරිසක් විදේශීය යොවුන් නවකතා ආශ්‍රයෙන් කතා ලියනවනේ. ඒවායේ වැඩිපුර තිබෙන්නේ ත්‍රාසය, භීතිය, වීරත්වය. මම නම් කියන්නේ ඒ අංගලක්ෂණ ගොනුකරගෙන ළමුන්ගේ ආකල්පමය වර්ධනය හා පෞරැෂ වර්ධනය සහිත මහපොළොවේ පයගසා සිටින චරිත ආශ්‍රයෙන් කතා රචනා කළයුතු බවයි.

අද කාඩ්බෝඩ් වීරයන් රජකරන පොත් බහුලව පළවෙන බව අපට පේනවා...?

ඔව්... අද යොවුන් නවකතාවල තිබෙන ඛේදවාචකය තමයි ළමුන් සුරංගනා ලෝකවල අතරමං කරමින් ත්‍රාසය හා භීතිය පෙන්වමින් කාඩ්බෝඩ් වීරයන් හඳුන්වා දීම. යෞවනයන්ගේ පෞරැෂ වර්ධනයට මේ වාගේ කතා බලපාන්නේ නැහැ. ඒවායින් පෞරැෂ වර්ධනයට හානියක් වෙනවා. අපි අතර ජීවත්වන, ළමයාට සමීප චරිත කතා රචනයේදී යොදාගත හැකියිනේ.

ඔබ කියන්නේ යොවුන් නවකතා ලේඛකයා මාර්ගෝපදේශකයකු වියයුතු බවද?

නෑ... එහෙම වියයුතු නෑ. ළමුන්ගේ චින්තනය වර්ධනය කරමින්, යහපත් ගුණධර්ම පෝෂණය කරමින් සමාජයට සැබෑ යෞවනයන් බිහිකිරීමට පිටුවහලක් යොවුන් නවකතාවලින් සැපයිය යුතුයි. ඔවුන්ගේ ඥානය වර්ධනය කරමින් කතා රසයෙන් යුක්තව ආකල්ප වර්ධනය කරමින් එම පොත් ඉදිරිපත් කළයුතු බවයි මගේ හැඟීම.

අපේ යොවුන් නවකතා ක්ෂේත්‍රයේ පියසටහන් ගැන සඳහන් කළොත්...?

මුලින්ම මාර්ටින් වික්‍රමසිංහගේ සිට විවිධ ලේඛකයන් සාර්ථක යොවුන් සාහිත්‍ය කෘති බිහිකළා. ටී.බී. ඉලංගරත්න අඹයාලුවෝ, හපනා, විලම්බීත ඇතුළු කෘති රාශියක් බිහි කළා. ඊට පසු කුලසේන ෆොන්සේකාගේ යුගයක් තිබුණා. ඔහුගේ රංසිරිගේ සංග්‍රාමය, කල්ලන්දූවේ මුතු කොල්ලය, සෝමපුර වීරයෝ, බූරු පොරය වගේ කෘති ගැන අදටත් කතා වෙනවා. ඊට පසු දෙනගම සිරිවර්ධන යොවුන් නවකතා ක්ෂේත්‍රය පෝෂණය කරනවා. තවත් ලේඛක ලේඛිකාවන් රාශියක් අතින් යොවුන් නවකතා බිහිවෙනවා. සාර්ථක යොවුන් නවකතාවල නිරෑපණය වන්නේ අප අතරම සිටින ළමා චරිතයි. නමුත් දැන් බහුලව බිහිවන යොවුන් නවකතාවල හමුවන්නේ අවිශ්වසනීය චරිතයි. මම ගුරැවරයෙක් විදිහට පාසල් ළමුන්ගෙන් යොවුන් නවකතා ගැන ඇහුවම ඔවුන් පටන්ගන්නේ මඩොල්දූවෙන්. ඒ කතාව හුඟදෙනකුට බලපෑම් කර තිබෙනවා.

පවතින පරිසර සාධක සහ සමාජ ජීවන රටාවන් සමඟ යොවුන් නවකතාවක් පරිවර්තනය විය යුතුයි. ගැමි ගෙදර, කුඹුර, හරකාබාන වගේ ගැමි සමාජය තමයි අපේ යොවුන් නවකතාවල නිරූපණය වන්නේ නගරය කේන්ද්‍ර කරගත් යොවුන් නවකතාවල ධනවත් පවුලක්, දුප්පත් පවුල්වල නාගරික දරුවන් වටා දිවයනවා. නමුත් අද ළමයා මේ සම්ප්‍රදායික සමාජ රටාවෙන් හුඟාක් ඔබ්බට ගිහින්. නවීන තාක්ෂණයත් සමඟ මුසුවෙලා ඉන්නේ. කොම්පියුටර්, මුණුපොත, ස්මාට් ෆෝන්, ටැබ්ලට් ලෝකවල අතරමං වෙලා. අපිට පුළුවන් විය යුතුයි. මේ තාක්ෂණික ලෝකයත් සමඟ මුහුවන යොවුන් නවකතා බහුලව බිහිකිරීමට. ඇත්තටම දැනටමත් ඒකට පරක්කු බවයි, මට පෙනේනේ. එහෙම වුණාම නූතන දරැවන්ට එම කතා තේමා සමීප වෙනවා. ඒ අතරම අපේ ගැමි කෘෂි සමාජය පදනම් කරගත් කතාත් බිහිවිය යුතුයි.

අද යොවුන් නවකතා කියවීමට යෞවනයන් පෙළඹෙන්නේ කලාතුරකින් නේද...?

අද අච්චු අකුරින් මුද්‍රිත පොතක් පරිශීලනය කිරීමට ළමයි පෙළඹෙනවා අඩුයි. නමුත් අද ඔවුන් අත නවීන තාක්ෂණික මෙවලම් තිබෙනවා. ඒ නිසා යොවුන් නවකතාත් විද්‍යුත් කියවීමට යායුතුයි. පොත් E books හරහා අපට ඉදිරිපත් කළහැකියි. පොත් පිළිබඳ විස්තර ෆේස්බුක් හරහා හෝ අන්තර්ජාලයෙන් ඉදිරිපත් කළ යුතුයි.

ළමුන් කියවීමෙන් ඈත්වීමට හේතු ලෙස ඔබ දකින්නේ කුමන කාරණාද...?

ළමයා කියවීමෙන් ඈත්වීමට ළමා ඥාණනය කිරීමට, ඔහු සතුටු කිරීමට හැකි පොත් අඩුවීමත් බලපානවා. එවැනි පොත් බිහිවීමත් අඩුයි. අද බොහෝ පොත්වල තිබෙන්නේ තීන්ත සහ කඩදාසි. ගතයුත්තක් නෑ. මේවා කියවූ විට ළමුන්ට කියවීම එපා වෙනවා. කියවීමෙන් ඈත්වීමට බලපාන ප්‍රධානම කාරණය ලෙස මම දකින්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති. අද ළමා ලෝකය ගුරුවරු, ටියුෂන් ගුරුවරු සහ දෙමාපියන් විසින් උදුරාගෙන. 1 වසරේ සිටම ළමයින්ට ටියුෂන් පන්ති යෑමට සිදුවෙලා. ගුරුවරු කියවන්නේ නැති යුගයක ළමයි කියවන්නේ කෙසේද? අද විෂය මාලාවන් හදලා තිබෙන්නේ විභාග සමත් කිරීමට මිස ජීවිතය සමත් කිරීමට නොවේ. පාන්දර 4.00 ඉඳන් රූ 8.00-9.00 වෙනකම් ටියුෂන් තිබෙනවා. මේ විදිහට විභාග රේස් එකකට දුවන්න ගත්තම බාහිර කියවීම, සාහිත්‍ය පතපොත පරිශීලනයට කාලය සොයාගන්නේ කෙසේද? ඒ වගේම ළමයි කියවීමට පොළඹවන්න දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරු උත්සාහ ගන්නේ නැහැ.

නමුත් ලෝකයේ දියුණු රටවල පවා යොවුන් සාහිත්‍ය කෘතිවල පිටපත් ලක්ෂ ගණනින් අලෙවි වෙනවා නේද...?

අමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල මෙන්ම ඉන්දියාවේ පවා ළමුන්ගේ ළමා ලෝකය මේ විදිහට උදුරාගෙන නැහැ. ඒ ළමුන්ට පොත් කියවීමට වෙලාවක් තිබෙනවා. ඒකනේ හැරිපොටර්, ෂර්ලොක් හෝම්ස් කතා, ඉනිඩ් බ්ලයිටන්ටන්ගේ පොත් පිටපත් මිලියන ගණනින් අලෙවි වන්නේ. ටියුෂන් පන්ති යමින් පාසල්වල විභාගයට සූදානම් වීමක් ලංකාව වගේ වෙන රටවල අපිට දකින්න නෑ. සමහර පාසල් ළමුන් තම පාසලේම දරැවන් මරාදැමීමට පවා පෙළඹෙන්නේ දරැවන් සාහිත්‍යයෙන් ඈත්වීම නිසයි. සංවේදී මනසින් යුත් දරැවන් අද බිහිවන්නේ අඩුවෙන්.

 කුසුම්සිරි