ෆෙයාර්වේ නවකතා සම්මානලාභී අරුණ ප්‍රේමරත්න
2018 ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන - සිංහල අංශයෙන් හොඳම නවකතාව ලෙස ඇගැයීමට ලක්වූයේ අරුණ ප්‍රේමරත්නගේ තරු විසුළ රැයයි. මෙයට පෙර නවකතා කිහිපයක් පරිවර්තනය කළ අරුණයේ ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව තරු විසුළ රැය වේ. ටෙලිනාට්‍ය තිරනාටක රචකයෙකු ද ලෙස කටයුතු කරන ඔහු රචනා කළ රළබිඳෙන තැන්, චෙස්, මේ වසන්ත කාලයයි ටෙලිනාට්‍ය සම්මානයට ද පාත්‍ර විය.
ඔබගේ නවකතාව ෆෙයාර්වේ සාහිත්‍ය සම්මානවලදී හොඳම සිංහල නවකතාව ලෙස ඇගැයීමට ලක්වුණත් වෙනත් කිසිම සාහිත්‍ය උළෙලක සම්මානයක් එයට හිමිවුණේ නෑ. ඒ ගැන ඔබේ අදහස කිව්වොත්...?
ස්වර්ණ පුස්තක දෙවන වටයට තරු විසුළ රැය පැමිණියා. රාජ්‍ය සාහිත්‍ය සම්මානවලටත් නිර්දේශ වුණා. නමුත් සම්මානයක් නම් ලැබුණේ නැහැ තමයි. මගේ අදහස නම් සාහිත්‍ය කලාව වගේ දේවල්වලට ධාවන තරගයක් වගේ නිශ්චිත විනිශ්චයක් ලබාදිය නොහැකි බවයි. රසවිඳීම හැමවිටම එකම තීරණයකට ගොනුවන්නේ නැහැ. අනිත් එක විනිශ්චය කිරීමේදී පුද්ගල බද්ධ කාරණාත් බලපානවා. ඒ වගේම සාහිත්‍ය සම්මාන සංවිධානය කරන අයගේත් අරමුණු තිබෙනවානේ. ඒවාත් සම්මාන ලබාදීමේදී බලපානවා. තමුන්ගේ අරමුණුවලට ගැලපීමට තමයි, විනිශ්චය මණ්ඩලයක් තෝරා ගන්නේ.
පසුගිය අවුරුද්දක කාලය තුළ ඔබේ නවකතාවට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේද...?
මම කාලයක් තිස්සේ ටෙලිනාට්‍ය තිර රචකයෙක් ලෙසත් වැඩ කළා. නමුත් එහිදී තිරරචකයාගේ නම සැඟවිලා තමයි තිබෙන්නේ. පොතක් ලිව්වාම කතුවරයාගේ නම මතුවෙනවා. මෙතෙක් මගේ නිර්මාණ කිසිවකට නොලැබුණු ප්‍රතිචාර සංඛ්‍යාවක් මේ නවකතාවට ලැබුණා. දන්නා නොදන්නා විවිධ අයගේ ප්‍රතිචාර මට ලැබුණා. ඔවුන්ට දැනෙන පරිදි හොඳ ප්‍රතිචාර මෙන්ම නරක ප්‍රතිචාරත් ඒ අතර තිබෙනවා. ඒවා මගේ ඉදිරි නිර්මාණවලට බලපානවා.
ඔබේ ටෙලිනාට්‍යත් ඉතා ජනප්‍රිය වූ බව අපට මතකයි. ඒවාට මෙතරම් ප්‍රතිචාර ලැබුණේ නැද්ද...?
නෑ... ටෙලිනාට්‍යයේ දී අධ්‍යක්ෂකවරයාටනෙ ප්‍රධාන වශයෙන් ප්‍රතිචාර හිම්වෙන්නේ. තරැ විසුළ රැය කියවපු පාඨකයන් තවමත් මට කතා කරනවා.
ඔබ මෙම කෘතියට තල දෙකක් ඔස්සේ ගලායන ආකෘතියක් භාවිතා කර තිබෙනවා.
ඔව්... නවකතාවක ආකෘතිය කියන්නේ අපි ඉදිරිපත් කරන විලාසය. නිර්මාපකයාගේ දෘෂ්ටිය රසිකයා වෙතට හොඳින් සන්නිවේදනය කිරීමට ඔහු මෙම විලාසය උපයෝගී කර ගන්නවා. මෙම ඉදිරිපත් කිරීම මත තමයි යම්කිසි අර්ථකථනයකට කෘතිය ලක්වන්නේ. මෙතැනදී මම උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතානායකයෙක් හරහා නවකතාව ඉදිරිපත් කරනවා.
මෙම කෘතියේ දෘෂ්‍ය රෑප මැවෙන ආකාරයක් අපට දක්නට ලැබෙනවා....?
ඔව්... මෙය ලිවීමේදී යම් සිනමාත්මක බවක් ද ලැබී තිබෙනවා තමයි. ඒ බව ෆෙයාර්වේ විනිශ්චය මණ්ඩලය ද සඳහන් කර තිබුණා.
අලුතෙන් බිහිවන නවකතාවලදී ලේඛකයන් විවිධ ආකෘති සොයාගොස් ඒවායේ අතරමංවී සිටින බවක් ද පේනවා. පාඨකයෙක් ලෙස ඔබ එය නිරීක්ෂණය කළාද?
ඔව්... විශේෂයෙන්ම අධි යථාර්ථවාදය අන්ධානුකරණයෙන් අනුකරණය කිරීමට ගොස් අසාර්ථක වූ කෘති හමුවෙනවා. බලෙන් කෘතියක් අධියථාර්ථවාදී කළ නොහැකියි. එම කතාව විසින් එය ඉල්ලා සිටිය යුතුයි. දුරවබෝධ ආකෘති තෝරාගත් සමහර නිර්මාණ අපට කියවන්න ලැබෙනවා. ආකෘතියක් තෝරාගැනීම පරිස්සමින් කළයුතු දෙයක්.
අද සමහර විචාරකයන් කියනවා ලේඛකයන් බහුතරයක් අතීත කතා සහිත තේමාවල හිරවී සිටින බව. මේක ඔබ දකින්නේ කෙසේද...?
එහෙම ප්‍රවණතාවයක් තිබෙනවා තමයි. ඒකට හේතුව මොකක්ද කියලා නම් දන්නේ නෑ. පසුගිය සම්මාන ලැබුණු කෘති රාශියක් තුළත් ඒ බව දකින්න ලැබුණා. අනවශ්‍ය ලෙස ඉතිහාසයට බැඳී ඇති බවක් පේනවා. ඒකට කාටවත් බලපෑම් කිරීමට බැහැ. තම රැචිකත්වය අනුවනේ කතා තේමාව තෝරා ගන්නේ. මට නම් සමහර ඓතිහාසික නවකතාවලට පාඨකයෙක් ලෙස එකඟවෙන්න බැහැ. අතීතකාමීබවකින් ලියැවුණු මේ ඉතිහාස නවකතාවල බොහෝ විට බලන්නේ පටු දෘෂ්ටිවාදයකින් බව පේනවා. නමුත් සයිමන් නවගත්තේගම වගේ කෙනෙක් ඉතිහාසය අරගෙන නව අර්ථකථනයන්ට ලක්කළා. අද බොහෝ නවකතාවල ඒවගේ දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ.
ඔබේ ලේඛනයට බලපෑ අපේ සාහිත්‍යධරයන් ගැන කිව්වොත්?
මම බොහොම කැමති ලේඛකයෙක් තමයි සරත් ආරියරත්න. හැත්තෑවෙ කොළනිය, මේ කාගේ මේ කමතා ඇතුළු නවකතා තුනක් ඔහු ලිව්වා. වීර පොකුණේ උපරත්න හාමුරුවොත් ප්‍රියතම ලේඛකයෙක්. පැලෑනෙන් වෙන්කළ ඉඩම් ලියූ, අජිත් තිලකසේන සහ සයිමන් නවගත්තේගම තමයි මා ප්‍රියකරන අනෙක් ලේඛකයන්.
නිර්මාණයක දියුණුවට බලපාන්නේ විචාරයයි. අද දියුණු විචාර කලාවක් දකින්න අමාරුයි නේද...?
ඔව්... විශ්වවිද්‍යාල පසුබිම් කරගෙන තමයි බොහෝ විට විචාර බිහිවන්නේ. ඒ ඒ විශ්වවිද්‍යාලවලට වෙන්වුණු ගුරුකුල තිබෙනවා. ඒ නිසා විචාරවලින් තමන්ට අවශ්‍ය අය මතු කරගෙන අනික් අය හලා දමනවා. ඒක ලොකු අඩුවක්.
ඔබ කියන්නේ විශ්වවිද්‍යාලවලින් උළුප්පන්නේ තමන්ට අවශ්‍ය ලේඛකයන් පමණක් බවද...?
ඔව්... කල්ලිවාදයක් ක්‍රියාත්මක වෙනවා. ඒක සාහිත්‍ය කලාවට ඉතා නරක විදිහට බලපානවා. සමහර ලේඛකයන් උකටලී වීමටත් ඒක බලපාන්න ඇති. එක්තරා අධිපති මතවාදයක් විශ්වවිද්‍යාල හරහා ක්‍රියාත්මක වීමට උත්සාහ කරන බව පේනවා.
මේක පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළත් දරැණු විදිහට ක්‍රියාත්මකයි. නවකතා ගැන තිබෙන අර්ථකථන පවා පැරණි විදිහට තමයි උගන්වන්නේ. නමුත් තනි තනිව ඒවා කඩාගෙන යාමට උත්සාහ කරන චරිත හමුවෙනවා. මහාචාර්ය ලියනගේ අමරකීර්ති වැනි අය.
අපේ නවකතා එකතැන පල්වෙන ස්වභාවයක් පවතින බවට විචාරකයන් චෝදනා කරනවා. ඒකට හේතුව ඔබ දකින්නේ කෙසේද?
මේකට විශ්වවිද්‍යාලවල පවතින අධිපතිවාදී විචාර ක්‍රමයත් බලපානවා. ඒ වගේම අපේ ලේඛකයන් ලෝක සාහිත්‍යයට විවර වෙනවා අඩුයි. අපි තාම මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු ලේඛකයන්ගේ ධාරණාව්ම තමයි ඉන්නේ. හුඟ දෙනෙක් නවකතාවේ ආකෘතිය බිඳීමට මැලිකමක් දක්වනවා.
කුසුම්සිරි