වෙසක් කාලයේ වෙසක් කූඩු සෑදීමට කුඩා කාලයේදී අපි මහත් ඇල්මක් දැක්වූවෙමු. වෙසක් මස ඇරඹෙනවා සමඟ අප එයට සූදානම් වූයේ එය මහත් විනෝදනයක් ගෙනදුන් නිසාවෙනි. අටපට්ටමකට අවශ්‍යය උණ බට කපා ගමේ ඇති රබර් වත්තකින් ඔට්ටපාළු රබර්පටි ගලවා කූඩු බැඳීම එකල බාල මහළු කාගේත් විනෝදාංශයක් විය.
පාසල් අවදියේ දී ගුරු - මව්පියන් අත්වැඩ දෙනතුරැ බලාසිටියේ නොඉවසිල්ලෙනි. ඒ පසුදා පාසලට ගෙනයන නිර්මාණය අන් කවරකටත් වඩා හොඳ නිර්මාණයක් බව ගුරුතුමියට පෙන්වීමටය. පිරිමි දරුවන් ඒ සඳහා වඩාත් ඇළුම් කළේ වාහන සාදාගෙන යෑමටය. කෙසේ හෝ කඩයකින් කාඩ්බෝඩ් පෙට්ටියක් රුගෙන ගොස් වාහනයක අනුරුවක් කපාගෙන ගමේ ඇති රබර් වත්තකින් රබර් කිරි පොල්කට්ටක් ගෙනගොස් වාහන අනුරැව ඇලවීමට අපි ඉමහත් ඇල්මක් දැක්වූවෙමු.
අද වනවිට ඔට්ටපාලු ගලවා වෙසක් කූඩු බඳින අයද, රබර් කිරිවලින් වාහන අනුරැව අත්වැඩවලට සාදන පොඩ්ඩන්ද සිටී දැයි අපි නොදනිමු. අප මේ කතා කරන්නේ වෙසක් කූඩු සහ ගෙදර අත්වැඩ ගැන නොව එම ඔට්ටපාලු සහ රබර් කිරි දායාද කළ මේ රටේ රබර් කර්මාන්තයට අද අත්වී ඇති ඛේදනීය ඉරණම පිළිබඳවය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අතිරේක බෝගයක් වන රබර් ගසෙහි උපත දකුණු අමෙරිකාවේ ඇමසන් වනාන්තරය තුළ සිදුවී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ රබර් ගසෙහි විනාශය වසර 140ක් දක්වා වූ අතීතයට දිවයන්නකි. Sir Henri Vickham මහතා 1876 වසරේදී මෙරටට රබර් ශාකය හඳුන්වාදීමේ පුරෝගාමියා ලෙස සැලකෙයි.
අද වනවිට ශ්‍රී ලංකාවේ ඇති රබර් ඉඩම් ප්‍රමාණය අක්කර 130,000කි. ජාතික නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් දක්වන 68%ක් පමණ වූ කුඩා රබර් වතුහිමියෝ අද වනවිට රබර්මිල පහත වැටීම් හේතුවෙන් මහත් අසීරැතාවයට පත්ව සිටිති. මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මහ බැංකුව විසින් නිකුත් කළ මෑතකාලීන ආර්ථික ප්‍රවණතානම් වාර්තාවට අනුව පසුගිය වසරට සාපේක්ෂ්ව කේෂත්‍ර රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 27%කින් පහළ ගොස් ඇත.
එමෙන්ම බදු සහන මත හා බදු වංචාකර රටට ගෙන්වන රබර් අඩු මුදලකට ලබාදීමට හැකිවීම නිසා දේශීය රබර් කර්මාන්තය දැඩි අර්බුදයට ලක්ව තිබෙන අතර කුඩා හා මධ්‍ය පරිමාණ රබර් වගාකරැවන් අක්කර 2000කට අධික ප්‍රමාණයක රබර් කිරි කැපීම මේ වනවිට නවතා දමා ඇති බවද වාර්තා වේ.
ඉන්දියාවෙන් හා මැලේසියාවෙන් සීමාවකින් තොරව රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම හේතුවෙන් මෙරට රාජ්‍ය හා පෞද්ගලික සමාගම් හා කුඩා පරිමාණ රබර් වගාකරැවෝ දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති.
පසුගිය 2017 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා කාලය තුළදී රබර් කිලෝවක මිල රුපියල් 530 සිට රුපියල් 260ක් දක්වා අඩුවී තිබෙන බවද ඔවුහු පවසති. නමුත් පවතින තත්ත්වය හමුවේ රබර් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා ආසන්න වශයෙන් රුපියල් 272 - 288ක් අතර මුදලක් වැයවන බවද ඔවුහු පෙන්වා දෙති.
තිස් දහසක් පමණවන රබර් වතුහිමියන් මුහුණ පාන මිල අඩුවීමේ ප්‍රශ්නය දැනට වසර පහකට පමණ පෙර සිට ආරම්භ වූවකි. 2013 වර්ෂයේ ජනවාරි මාසයේ දුම්ගැසූ ෂීට් රබර් කිලෝග්‍රෑමයක මිල රුපියල් 418/-. 59ක් විය. එදා සිට රබර් මිලෙහි වූ අවම මිල වරෙක රුපියල් 177.00ක මට්ටමකට ද පහත වැටිණි. 2015 වර්ෂයේ දී රබර් නිෂ්පාදකයා ආර්ථික ආගාධයකට වැටීමෙන් ගලවා ගැනීම සඳහා රජයේ සහනාධාර ලබාදීමට ද සිදුවිය.
වර්ෂ 2015 දී රුපියල් බිලියන 3.5ක්ව පැවති ශ්‍රී ලංකාවේ රබර් අපනයන ආදායම වර්ෂ 2016 දී. රුපියල් බිලියන 4.8ක අගයකට ඉහළගොස් තිබේ. එසේම ස්වාභාවික රබර් ආශ්‍රිත නිමි භාණ්ඩ අපනයනයෙන් 2015 වර්ෂය තුළ රුපියල් බිලියන 101.4ක් උපයාගෙන ඇති අතර 2016 වසරේදී එම අගය රුපියල් බිලියන 111 දක්වා ඉහළගොස් තිබේ. මෙය 2014 වර්ෂයේ නිමි භාණ්ඩ අපනයනයෙන් උපයාගත් ආදායම හැරුණුවිට පසුගිය පස් වසරක කාලය ඇතුළත වාර්තාගත ඉහළම ආදායමක් ද වේ.
රබර් කර්මාන්තයේ පැනනැගී ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් සමස්ත ලංකා කුඩා රබර් වතුහිමියන්ගේ සංගමයේ සභාපති ඩී.ඩී. කිර්තිරත්න මහතා දේශයට මෙලෙස අදහස් පළ කළේය -
රබර්වල ස්ථාවර මිල තවමත් ක්‍රියාත්මක වී නැහැ. මෙම රජය පහුගිය වසරේ මාර්තු මාසයේදී සහතික මිල ක්‍රියාත්මක කරනවා කිව්වත් ඒ සඳහා හරි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණේ නැහැ. එම හේතුවෙන් කුඩා රබර්වතු හිමියන් දැඩි අපහසුතාවයට පත්වී සිටිනවා. නිසියාකාර මිලක් නොමැතිවීමෙන් රබර් කිරි කපන්නන්ට ගෙවීමට නියමිත මුදල ගෙවන්න බැහැ. ඒ හේතුවෙන් රබර් කිරි කපන්නන් අඩුවෙලා. මේ හේතුවෙන් වසර 140ක අතීතයට දිවයන්නාවූ රබර් කර්මාන්තය අභාවයට යන බවක් තමයි පේන්න තියෙන්නේ.
රබර් කර්මාන්තයට ඇතිවී තිබෙන මෙම ඉරණම පිළිබඳ වලල්ලාවිට ප්‍රදේශයේ කුඩා රබර් වතුහිමිකාරිනියක් වූ විමලා සූරියආරච්චි මෙසේ කීවාය -
රු. 270ක් වගේ මිලකට තමයි අපිට අලෙවිකරන්න වෙලා තියෙන්නේ දැන්. අක්කර එකකින් රබර් කිරි කිලෝ දහසයක් දාහතක් වගේ තමයි කපන්න පුළුවන්. ඉතින් රබර් කිලෝ එකක් රුපියල් 270කට අලෙවි කළාම කිරි කපන අයට රුපියල් 250ක මුදලක් තමයි දෙන්න තියෙන්නේ. ඒ මුදලට කිරි කපන්න කවුරැත් කැමති නැහැ. රබර්වලට දැන් දෙන මිලයි මේ කර්මාන්තය කරගෙන යාමට ශ්‍රමිකයන් හිඟවීමයි නිසා මේ කර්මාන්තය දැන් අභාවයට පත්වෙලා තියෙන්නේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා රබර්වතුහිමියකු වූ එච්.ඩී. ප්‍රේමදාස මහතා ද රබර් කර්මාන්තයට ඇතිවී තිබෙන ඉරණම ගැන මෙලෙස කීය -
රබර් සහතික මිල රුපියල් 350ක් 400ක් කළානම් අපි සෑහීමකට පත්වෙනවා. නමුත් ඒ තරම් මිලක් තවමත් අපිට ලබාදෙන්න දැන් වසර දෙකතුනක්ම කිසිදු රජයකට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම තමයි මේ කිරිකපන අයට ලබාදෙන මුදල නිසා බෙහෝ අය මේ කර්මාන්තයෙන් ඈත්වෙලා ඉන්නේ මේ වනවිට. ඒ නිසා අද වනවිට දිනෙන් දිනම ඇදවැටෙන කර්මාන්තයක් බවට මේ රබර් කර්මාන්තය පත්වෙලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා රබර් වගා කර්මාන්තය මෙහෙයවමු යන රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ දැක්මද රබර් වගා කර්මාන්තයේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වර්ධනය උදෙසා නෛතික විධිවිධාන ක්‍රියාත්මක කිරීම, මුල්‍ය සහනාධාර, කෘෂි යෙදවුම් සහ ව්‍යාපෘති සේවා සැපයීමට කැපවෙමු යන ඔවුන්ගේ මෙහෙයද වචනයට පමණක් සීමා නොකොට ජාතියේ අවශ්‍යතාවයක් වූ රබර් ගොවියාගේ හෙට දවස අඳුරුවන දිනය වැළක්වීම අදාළ දෙපාර්තමේන්තුවේ වගකීම බව අපි අවධාරණයෙන් සිහිගන්වමු.
සටහන - හසිත් අංජන