2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

අලුත් ආණ්ඩුව : ජනතා අපේක්ෂා?

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:31 108

මුළු රට අපේක්ෂාවෙන් සිටි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පසුගිය 12 වැනිදා නිකුත් විය. මේ වනවිට එම තීන්දුව පිළිගෙන නව ආණ්ඩුවක් බිහි වී ඇත. නීතිය සියල්ලට ඉහළින් පවතින අතර ඊට ගරු කිරීම සදාචාරාත්මක සමාජයක පරම වගකීම වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ලබා දී ඇත්තේ නීතියේ ප්‍රතිපාදනවලට අනුවය. තීන්දුවේ අරමුණ රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම යැයි සිතන්නට පුළුවන. ඒ අනුව මහජනයා කළ යුත්තේ උක්ත තීන්දුව පිළිගැනීම බව බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත.

ඔක්තෝබර් 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ රට හමුවේ දේශපාලන හා ආර්ථික ගැටලු සමූහයක් පැවතුණි. එක අතකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා විධායකය සතු බලතල යම් පමණකින් අභියෝගයට ලක් වී තිබිණි. 19 වැනි සංශෝධනය ද අභියෝගයට ලක්විය. පාර්ලිමේන්තුව විධිමත් ආකාරයෙන් පවත්වා ගැනීම අපහසු විය. ආර්ථික වශයෙන් ගතහොත් ආයතන පවත්වා ගැනීම, ණය ගෙවීම, ආයෝජන හසුරුවා ගැනීම හා රාජ්‍යයක් පවත්වාගෙන යාම සඳහා ස්ථාවර හා ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය වේ. දක්ෂ ඇමැති මණ්ඩලයක් අවශ්‍යය. එසේ නොමැති නම් සිදුවන්නේ රටත් අස්ථාවර වීමය.

මේ වනවිට නව ආණ්ඩුවක් බිහි වී ඇත. නව කැබිනට්ටුවක් පත් වී ඇත. මෙලෙස පත් වූ නව නව ආණ්ඩුව ගැන මහජනතාව දක්වන අදහස් මෙසේය.

කිසිම රජයක් ගැන අපට නම් විශ්වාසයක් නෑ

ඉන්දික - මීගමුව

"මේ කිසිදු ආණ්ඩුවක් රටේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. හැමෝම කළේ මේ ජනතාව රවට්ටලා තමන්ගේ බලය වැඩි කරගන්න උත්සාහ දරපු එක විතරයි. හැමදාම රට අගාධයට ගියේ මේ නිසා. නමුත් ඒක තේරුම් ගන්න බැරි ජනතාව තවමත් ඉන්න නිසා මේ රට අගාධයෙන් ගොඩගන්නත් බෑ. පසුගිය මහින්ද මහත්තයා ප්‍රමුඛ ආණ්ඩුව බලයේ ඉන්න කාලයේ හොරකම්, දූෂණ, වංචා තිබුණා. ඒක වෙනස් කරන්න මේ යහපාලන රජය බලයට ආවා. නමුත් ඔවුන් කළේ මුළු රටේම ජනතාව රවට්ටලා නැවතත් ඒ දේම කරන්න පටන්ගත්තා. හැමදාම අපි විතරයි රැවටුණේ. ඒ නිසා මේ කිසිම රජයක් ගැන අපිට විශ්වාසයක් තියාගන්න අමාරුයි. මේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපි කොහොමත් හිස නැමිය යුතුයි. නමුත් මේ නව ආණ්ඩුව ගැනවත් අපිට කොහොමත් විශවාසයක් ගොඩනගාගන්න අමාරුයි. මොකද මේ රටේ මුල ඉඳලම සිදු වුණේ ආණ්ඩු මාරු වුණ එක විතරයි. කිසිම අවස්ථාවක ඒ මුහුණ මාරු වීමක් සිදුවුණේ නැහැ. නමුත් මේ රට වෙනස් වෙන්නනම් විය යුත්තේ මේ පාලකයන් වෙනස් වීමක් පමණයි. එහෙම නැතුව වෙනත් විකල්පයක් නැහැ."

ජනතාවට නම් සෙතක් වෙන එකක් නෑ
සත්‍යවේල් පියතුමා

"දැන් බොහෝ දෙනෙක් පවසන කාරණය තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත්තා කියන කාරණාව. නමුත් ඒක බොරුවක්. අපි දන්නවා යූ.එන්.පී කාලය තුළ තිබුණෙත් නෑ කවදාවත්ම. 1948 ඉඳන් යූ.එන්.පී ආණ්ඩුව කළේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය උදුරගත්ත එක විතරයි. ඒ වගේම තමයි පසුගිය රාජපක්ෂ ආණ්ඩු කාලයෙත් ජනතාවට හිතන තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නෑ. මොකද ඔවුන් සැම දෙනාම කතා කරන්නේ ප්‍රභූවරුන්ගේ වාසියට අවශ්‍ය වන ප්‍රජාතන්ත්‍රවාදය විතරයි. වෙන කිසි එකක් මොවුන් කරන්නේ නැහැ කියන මතයේ තමයි අපි ඉන්නේ. ඒ නිසා හැමදාම වගේ මේ ජනතාව තවත් කාලයක් යනතුරු මේ කොයි ආණ්ඩුව බලයට ආවත් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ කියන එක කියන්න ඕන."

විශ්වාසයක් තියාගන්න අමාරුයි
ජූඩ් - මීගමුව

"ඇත්තටම මේ රජය බලයට පත්වීමට දුන්න තීන්දුව ගැන අපගේ ප්‍රසාදයක් නැහැ. මොකද මේ  අය යහපාලනය කියාගෙන බලයට ආවා හොරු අල්ලනවා කිව්වා. නමුත් හොරු ඇල්ලීම වෙනුවට මොවුන් කළේ රටේ තිබුණ සම්පත් හොරකම් කරපු එක. අවුරුදු තුනහමාරක්ම සාමාන්‍ය ජනතාව පීඩා වින්දා. මම කරන්නේ ධීවර රස්සාව. ඒ කර්මාන්තය කරගෙන යන්න තරම්වත් අපිට කිසිදු සහනයක් ලබා දුන්නේ නැහැ. හැම දේටම බදු ගහලා අපි අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා හිටියේ. කිසිදු සහනයක් ඔවුන් මේ පොඩි මිනිහට ලබා දුන්නේ නැහැ. නමුත් ඔවුන් හැම දෙනාම ඔවුන්ගේ මඩිය තර කරගත්තා. ජනතාව පුදුම අසරණකමකින් තමයි ජීවත් වුණේ. අපේ මීගමුවේ ධීවර පවුල් ගණනාවක්ම ඉතා අසරණව තමයි ජීවත් වුණේ. තෙල් මිල වරින් වර ඉහළ ගියා. කිසිදු සහනයක් ලබා දුන්නේ නැහැ. නමුත් දැන් මේ අධිකරණ තීන්දුව එක්ක ආයෙම පත්වෙලා තියෙන්නේ ඒ හිටපු ආණ්ඩුවම තමයි. ඒ නිසා අපිට මේ ගැන දැඩි විශ්වාසයක් තියාගන්න අමාරුයි."

රනිල් මහත්තයගෙ ආණ්ඩුව විශ්වාසයි
ෆයිස් - මග්ගොන

"ඇත්තටම මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ රජයක් බිහිවීම ගැන අපි සතුටු වෙනවා. මොකද පසුගිය හිටිය කිසි ආණ්ඩුවක් අපිට කිසි සහනයක් ලබා දුන්නේ නැහැ. පසුගිය යහපාලන ආණ්ඩුව බලයට පත් වෙලා අවට පස්සේ තමයි අපිට මේ සහන ලැබුණේ. ඇත්තටම පසුගිය ඔක්තෝබර් මාසයේ මේ  අය රනිල් මහත්තයා පන්නලා බලෙන් තමයි මේ ආණ්ඩුව අත්පත්කරගත්තේ. නමුත් ඒකට හරියන උත්තරේ උසාවියෙන් ලැබුණා. අපි හිතනවා ඉදිරියේදී අපේ රටේ ජනතාවට විශාල වශයෙන් සහන ලැබෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙයි. විදෙස් රටවලින් රට සංවර්ධනයට අවශ්‍ය සල්ලි ලැබෙයි. ඒ නිසා ජනතාව ලෙස මෙම අධිකරණ තීන්දුවෙන් පස්සේ බලයට පැමිණි නව ආණ්ඩුව ගැන ඇත්තටම අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන්. ඒ නිසා මේ නව රජය ජනතාව සහන ලබා දෙයි රට සංවර්ධනය කරයි කියන මතයේ අපි ඉන්නවා."

වතුකරයේ අපට නම් හරි සතුටුයි
ආනන්දන් - මස්කෙළිය

"මේ පසුගිය යහපාලන රජය තමයි අපි වෙනුවෙන් පෙනී සිටිය එකම ආණ්ඩුව. මෙතෙක් කාලයකට වෙනත් කවුරුත් මේ වතුකරයේ සිටින අපි වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. මේ පත්වුණු ආණ්ඩුව යටතේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අපේ වතුකරයේ ජනතාවගේ බලාපොරොත්තු වන පඩිය වැඩි කරයි කියලා අපි බලාපොරොත්තු වනවා. ඒ වගේම අපිට සහන රැසක් මේ ආණ්ඩුව යටතේ ලැබෙයි කියලත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇත්තටම වෙනත් කිසිම රජයක් අපේ ප්‍රශ්න දිහා හොඳ ආකාරයට බැලුවේ නැහැ. ඒ නිසා මේ පත්වුණ නව ආණ්ඩුව ගැන අපිට ඇත්තටම සතුටුයි. ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ රට සංවර්ධනය කරා යයි. ඒ ගැන ලොකු විශ්වාසයක් අපිට තියෙනවා."

මහ බැංකුවට ජාතික සම්පත්වලට වෙච්ච දේ ජනතාව දන්නවා
ධම්මිකා - කොළඹ

"මේ බලයට පත්වුණු ආණ්ඩුව ගැන අපිට කිසි විශ්වාසයක් තියාගන්න අමාරුයි.  මොවුන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා කියලා තමයි මීට වසර තුනහමාරකට පෙර බලයට ආවෙත්. නමුත් ඒ කිසි දෙක් සිදු වුණේ නැහැ කියලා මේ රටේ ජනතාව අන් සියලු දෙනාට වඩා හොඳින් දන්න කාරණයක්. මොකද ඒ වසර තුනහමාරක කාලය තුළ මේ රටේ තිබුණු ජාතික සම්පත්වලට මොකද වුණේ. මහ බැංකුවට මොකද වුණේ කියලා බුද්ධිමත් ජනතාව දන්නවා. ඒ වගේම තමයි පොඩි මිනිහට ගහන්න තිබුණු හැමදේටම බදු ගැහුවා. තෙල් මිල සූත්‍රයක් දාලා තෙල් මිල අඩුවට ලබා දෙන බව කිව්වත් කිසිම දිනක තෙල් මිලේ අඩුවක් වුණේ නැහැ. ජනතාව පුදුමාකාරයෙන් පීඩාවට පත් වෙලා හිටියේ. නමුත් ජනතාවට ඒ දේවල් පිට කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. අද මේ රටේ රස්සා නැති කීදෙනෙක් ඉන්නවද? නමුත් ඔවුන්ට එකම රස්සාවක් ලබා දෙන්න මේ යහපාලන රජයට පුළුවන් වුණාද? ඒ නිසා මේ දැන් නැවතත් බලයට ඇවිල්ලා තියෙන්නේ මේ හිටපු ආණ්ඩුවම තමයි. ජනතාවට කිසිදු සහනයක් ලැබෙයි කියලා මේ ආණ්ඩුව යටතේ අපිට විශ්වාසයක් තියාගන්න බැහැ."

රට ගොඩ ගත්තේ මේ ආණ්ඩුව තමයි
අත්තනායක - බදුල්ල

"මේ රටේ ජනතාවට ඕන කරන්නේ නිදහස් වාතාවරණයක් යටතේ ඉන්න පුළුවන් රජයක්. මේ අධිකරණ තීන්දුවෙන් පස්සේ නැවත බලයට ආවේ ඒ වගේ ආණ්ඩුවක්. මොකද පසුගිය වසර දහයක නොතිබුණ තරමේ විශාල මුදලක් පිටරටවලින් මේ රටට ආවේ පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ තිබුණ යහපාලන රජය හරහා. ඒක අපි හැමෝම අවිවාදනේ පිළිගත යුතුයි. මොකද ඊට කලින් මේ රටේ තිබුණ තත්ත්වය අපි දැක්කා. රට සංවර්ධනය කරනවා කියලා මොවුන් පුරසාරම් කිව්වා. නමුත් රට සංවර්ධනය මුවාවෙන් ගසා කාපු මුදල් ප්‍රමාණය ගැන කිසිවෙක් කිව්වේ නැහැ. තිබුණ විදේශ ආධාර පවා නතර වුණා. නමුත් මේ යහපාලන රජය බලයට ආවම ඒ සියල්ල වෙනස් වුණා. නැවත අපේ රටට විදෙස් රටවලින් ණය ආධාර  ලබා දුන්නා. රට සංවර්ධනය කරා ගමන් කළා. එහෙම යමින් තිබූ අවධියක තමයි ජනාධිපතිවරයා මේ විදිහට මේ යහපාලන ආණ්ඩුව විසුරුවලා අර පරණ හොරු ටිකම ආයේ පත්කර ගත්තේ. නමුත් මේ රටේ නීතියට අනුව නැවත වරක් රටේ බලයට පැමිණෙන්න එජාපයට පුළුවන් වුණා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රට මේ මාස එකහමාරක කාලය තුළ වැටිලා තිබුණ තත්ත්වයෙන් ගොඩ ගන්න මේ නව රජයට පුළුවන් වෙයි කියලා."

රට ඉතුරු වෙයිද කියන එකත් ප්‍රශ්නයක්
ඩී. එස්. පෙරේරා - පානදුර

"මේ ගැන තව කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. මේ රටට වෙන්න ඕන විනාශය තව ටික දවසකින් සෑම දෙනකුටම සිය ඇස් පනාපිට දැකගන්නට ලැබෙයි. මොකද මොවුන් මීට වසර තුනහමාරකට පමණ පෙර බලයට පැමිණි ආකාරය ජනතාවට තවමත් අමතක වෙලා නැහැ. හොරු අල්ලනවා කියලා ආපු මේ අයම තමයි රටේ මේ වෙනතෙක් සිදුවුණු දරුණුම හොරකම සිදු කළේ. මේ රට සංවර්ධනය වෙමින් තිබුණු රටක්. ඒවා සියල්ල නතර වුණා. ආර්ථිකය කඩා වැටුණා. සියල්ල සිදු වුණා. නමුත් ජනතාවට කිසිදු සහනයක්වත් මොවුන්ට ලබා දීමට නොහැකි වුණා. මේ රජය යටතේ හිටපු අයම විතරයි පෝසත් වුණේ. මේ දැන් නැවත පාලනයට ඇවිල්ලා තියෙන්නේ ඒ හිටපු කණ්ඩායම තමයි. තව අවුරුදු එකහමාරක් යනකම් ඒ ක්‍රමය වෙනස් කරන්න බැහැ. දැන් ඒක රටම දන්නවා. නමුත් දැන් මිනිස්සුන්ට තියන එකම ප්‍රශ්නය තමයි මේ රට තව අවුරුදු එකහමාරක් මේ විදිහට ගියාම ජනතාවට රටක් ඉතුරු වේද කියන ප්‍රශ්නය."

ජනතාවගේ බලාපොරොත්තු ඉටුවේවිද?
දිනුක සමරනායක - දෙහිවල

"මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ඕන කියලා බලයට ආපු ආණ්ඩුවක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරාද නැද්ද කියලා දැන් අවුරුදු තුනහමාරක් තිස්සේ අපි දැක්කා. අපිට දැනුණා රටට දැනුණා. නැවත බලයට පත්වෙලා ඉන්නේ මේ ඒ කණ්ඩායමම තමයි. අධිකරණයට අපි ගරු කළ යුතුයි. මොකද රටක නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව රටේ පුරවැසියන්ට කටයුතු කිරීමට සිදුවෙනවා. දැන් මේ වෙනකොට මේ රටට වෙලා තියෙන්නෙත් එහෙම තත්ත්වයක් තමයි. නමුත් මේ තීන්දුව එක්කම ජනතාව තුළතිබුණු බලාපොරොත්තු බිඳ වැටිලා තියෙනවා අද වනවිට. මොකද පසුගිය වසර තුනහමාරක කාලය තුළම හැමදේටම ගහපු බදු එක්ක මේ ජනතාව හොඳටම හෙම්බත් වෙලා හිටියේ. දැන් නව ආණ්ඩුවක් නැවත පත්වෙලා ඉන්නවා. ඒ ආණ්ඩුවටත් එන්නේ අර පරණ හිටිය අයම තමයි. කිසිදු වෙනසක් සිදු වෙන එකක් නැහැ. ඒ නිසා මේ නව ආණ්ඩුව ජනතාවට යම් සහනයක් ලබා දෙයි කියන බලාපොරාත්තුවක් අපිට තියාගන්න අමාරුයි."

තව අවුරුදු එකහමාරක් මෙහෙම යන්නෙ කොහොමද?
රදිකා ගුණරත්න - කොළඹ

රටේ දැන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය ඇත්තටම ගැලුවක් වෙලා තියෙන්නේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා තමයි හැම ආණ්ඩුවක්ම බලයට ආවේ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු තීන්දුව එක්ක තව අවුරුදු එකහමාරක් අපි කොහොමද මේ විදිහට ඉදිරියට යන්නේ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නය. මොකද මේ රට මේ විදිහට අවුල් සහගතව ඇදගෙන ගියොත් අපිට නොපෙනෙන හානියක් රට තුළ සිදුවෙනවා. මේ පාලකයන්ට ඕන වෙලා තියෙන්නේ මහජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට නොවෙයි ඔවුන්ගේ මඩිය තර කර ගැනීම පමණයි. දැන් යහපාලනය කියපු රජය වසර තුනහමාරක් පාලනයේ හිටියා. ජනතාවට කිසිවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මාස එකහමාරක් වගේ කාලයක් මේ රටේ ජනතාව පීඩාවට පත් වුණා. දැන් නැවතත් අලුත් ආණ්ඩුවක් බිහිවෙලා තියෙනවා. නමුත් අපි හිතන්නේ නැහැ ජනතාව බලාපොරොත්තු වුණු කිසිදෙයක් මේ ආණ්ඩුවෙන්වත් ඉටු වෙයි කියලා."

රටට ගොඩයන්න බැරිවේවි
- කඩුවෙල පදිංචිකරුවෙක්

සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ කඩුවෙල පදිංචිකරුවකු ද මෙම වර්තමාන ආණ්ඩුව පිළිබඳව දේශයේ අපිට මෙලෙසින් අදහස් පළ කළේය.

"මාස එකහමාරක විතර කාලයක් මේ රටේ දේශපාලනයේ ස්ථාවරභාවයක් තිබු‍ණේ නැහැ. නමුත් දැන් එය නව ආණ්ඩුවක් යටතේ ස්ථාවර වෙලා තියෙනවා. ඒ වුණාට ඒ ආණ්ඩුවෙන් ජනතාවට සහනයක් ලැබෙයි කියලා අපිට විශ්වාස කරන්න අමාරුයි. කොහොම වුණත් තව වසර එකහමාරක් යනකම් නැවත පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියලා අධිකරණය තින්දු කළා. කොහොමත් තව අවුරුදු එකහමාරක් යනවිට මේ රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න බැරි වෙයි. ඒ විශ්වාසය අපිට තරයේ තියෙනවා."

 සටහන - හසිත් අංජන

    සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00