සත්‍ය සිදුවීම් හා සත්‍ය චරිත පාදක කර ගනිමින් සිනමා නිර්මාණ බිහි කිරීම අප රටේ මෙන්ම ලෝක සිනමාවේත් සුලබය. සත්‍ය සිද්ධිවල ඇතුළාන්තය විමසා බලමින් ඊට මානුෂීය අර්ථකථනයක් ලබා දීමට උත්සාහ කළ ලාංකීය සිනමාකරුවෙක් වශයෙන් වසන්ත ඔබේසේකර කැපී පෙනේ. ඔහුගේ දඩයම තුළින් රත්මලී නම් ගැහැනියගේ චරිතය විනිවිද දැකීමට උත්සාහ කළ අතර දොරකඩ මාරාව තුළින් නව යුවළගේ මාරක අනතුරට හේතුව සොයා බැලුවේය.
දැන් චන්ද්‍රම් රත්නම් උත්සාහ කරන්නේ මැතිව් (According to Mathew) චිත්‍රපටය තුළින් ද්විත්ව ඝාතනයක් නිසා මරණීය දණ්ඩනය හිමිවූ මැතිව් පීරිස් නම් දේවගැතිවරයාගේ චරිතයට එබී බලන්නටය.
සිනමා පටය ඇරඹෙන්නේ මැතිව් පීරිස් දේවගැතිවරයා බන්ධනාගාරයේ එල්ලා මැරීමට නියමිත සිරකරුවකු මරණයට පත්කරන දිනයේ යාඥා කිරීමට ගිය අවස්ථාවකිනි. අවසානයේ එලෙස සිරකරුවන්ගේ මනස හැදීමට යාඥා කරන දේවගැතිවරයාටම මරණ දඬුවම හිමිවීම දෛවයේ සරදමකි. කතා පුවත මතුකිරීමට පෙරවදනක් ලෙස අධ්‍යක්ෂවරයා එම සිදුවීම ඇතුළත් කර ඇති බව පෙනේ.
අධ්‍යක්ෂවරයා අප දුටු සත්‍ය කතාව තරමක සංශෝධනයකට ලක් කර තිබේ. එය සාර්ථක සිනමාකරැවකුගේ ලක්ෂණයකි. අපේ බොහෝ සිනමාකරුවන් සැබෑ චරිත සිනමාවට නැගීමේදී සෑම දෙයක්ම පැවසීමට යාම නිසා මූලික තේමාවෙන් පිට පැන ඇල්මැරුණු කෘති බිහිවීම සිදුවේ. පසුගියදා ප්‍රදර්ශනය වුණු ඩී. එස්. චිත්‍රපටයට ද සිදුව තිබුණේ එයයි.
මෙහිදී මැතිව් පීරිස් නම් දේවගැතිවරයා ගුප්ත චරිතයක් ලෙස විවරණය කෙරේ. ඔහුගේ මුහුණේ ඉඟි පළවන්නේ කලාතුරකිනි. ඔහු නිහඬය. කතා කරන්නේ අවශ්‍යම අවස්ථාවේ පමණි. නමුත් ඔහුගේ මනස ඇතුළත යුද්ධයක් ඇවිලේ. ප්‍රධාන චරිතය මතු කිරීමට අවශ්‍ය නිසා ඩැෆ්නිගේ චරිතයේ සැබෑ ස්වරෑපය වෙනස් කර ඇය දරුවන් නැති තරුණ කාන්තාවක් ලෙස ඉදිරිපත් කෙරේ. සැබෑ සිද්ධියේදී ඇය දරු දෙදෙනකුගේ මවක් වන අතර ඒ දරුවන් ද විසුවේ දේවගැති නිවසේමය.
චිත්‍රපටයේ සමහර අවස්ථා දිවයන්නේ මැතිව් පීරිස්ගේ ආත්ම කථනයක් ලෙසය. එය චරිතය ප්‍රේක්ෂකයාට හඳුනාගැනීමට උපකාර වේ.
ශාන්ත පෝල් දේවස්ථානයේ සහකාර පියනම වශයෙන් සිටින්නේ මැතිව් පීරිස්ය. එහි භාරකාර පියනම වන බැසිල් පියතුමා යාඥාවක් අතරතුරදීම හදිසියේ මියයයි. ඊට පසු දේවස්ථානය බාර වන්නේ මැතිව් පීරිස්ටයි. බැසිල් පියතුමාගේ හදිසි මරණය පිටුපස ද මැතිව් සිටින බවට ඉඟි චිත්‍රපට කතාවෙන් සැපයේ. මැතිව් දේවස්ථානය බාර ගැනීමෙන් පසු ධනවත් බැතිමතුන්ගෙන් ද උදව් ලබාගෙන එයින් වැඩි සේවයක් සැලසීමට උත්සාහ කරන බව පෙනේ. නැති බැරි අයට ආධාර උපකාර කිරීම, ක්‍රිකට් කණ්ඩායමක් බිහි කිරීම ආදී කටයුතු අපට පෙනේ. මැතිව් සමාජයේ ප්‍රකට සිවිල් චරිතයක් බවට පත්වේ.
පල්ලියේ බැතිමතුන් අතරට අලුතින් එක්වන තරුණ යුවලක් වන රැන්ඩි රෙනෝල්ඩ්ස් (කියැන් ඕ ග්‍රේස්) සහ ඩැෆ්නි (ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්), පියතුමාගේ බිරිය වන ඉයුනිස් පීරිස් (බිම්සරා ප්‍රේමරත්න)ගේ හිතවතුන් වෙති. ඉයුනිස් ඔවුන් දෙදෙනා පියනමට හඳුන්වා දෙන්නීය. රෑමත් ඩැෆ්නි දෙස කෑදර ලෙස නොබලන මැතිව් පියනම ඔවුන්ට පල්ලියේ වැඩකටයුතුවලට සම්බන්ධ වන ලෙස ආරාධනා කරයි. ඩැෆ්නිට මැතිව්ගේ කාර්යාලයේ යතුරු ලියන්නියක ලෙස රැකියාවක් ලබා දෙන අතර රැකියා විරහිත ඇගේ සැමියාට ද රුකියාවක් සොයා දෙයි. ඊට පසු ඔවුන්ට දේවගැති නිවසේ නවාතැන් ලබා දෙයි.
මැතිව් පීරිස් සමාජ සේවයේ යෙදෙන්නේ දෙවියන් කෙරේ මහත් විශ්වාසයක් වටපිටාවේ අයට පෙන්වමිනි. ඔහු දෙවියන් ඉදිරියට දමා සිටිය ද ඇතුළතින් සිටින්නේ යක්ෂයෙක් බව ප්‍රේක්ෂකයාට පෙනේ. සැබෑ මැතිව් දැඩි චරිතයකි. එහෙත් චිත්‍රපටයේ මැතිව් හීන් නූලෙන් වැඩ කරන කේන්තියක් දැකගත නොහැකි කෙනෙකි. යක්ෂාවේෂ වුවන් සුව කිරීම සම්බන්ධයෙන් ද මැතිව් ප්‍රකට වේ. ඔහු තම බැතිමතුන්ගේ මනස විකාර වුණු දැරියන් සුවපත් කිරීමට උත්සාහ කරන අයුරු චිත්‍රපටයේ නිරූපිතය.
රූමත් ඩැෆ්නි දේවගැති නිවසේ නාන කාමරයේ නිරුවතින් සිටිනු මැතිව් දකී. ඔහු දොර අස්සෙන් එදෙස බලා සිටිනු ඩැෆ්නිට ද ඉව වැටේ. එහෙත් ඔහුගේ කාමාශාව එයට පෙර පටන් පැවති බව පල්ලියේ ක්‍රිකට් කණ්ඩායමේ කැප්ටන් ස්ටීවන්ට යෙහෙළියන් තම අත්දැකීම් පැවසීමෙන් පැහැදිලි වේ. දේවගැති නිවසේ සිටින කන්‍යා සොයුරියගේ මුහුණේ හැඟීම්වලින් ගම්‍යමාන වන්නේ ඇය මේ සියල්ල දැන සිටි බවයි. ඩැෆ්නි හා ලිංගිකව සම්බන්ධ වීමට පෙර ඇය රැඳී සිටින කාමරයේ ජනෙල් තිර වැසෙයි. ඒ බව මිදුලේ ළමුන්ට උගන්වන කන්‍යා සොයුරිය දකී. මෙලෙස ඩැෆ්නි ඔහු සිය පහසට ගන්නේ සිරුරේ ඇවිලෙන කාම ගින්න ඇය හරහා නිවා ගැනීමටය. දේවගැති බිරිය ඉයුනිස් රෑමත් නොවන අතර රාගික පෙනුමක් ද නැත.
කඩවසම් තරුණ රැන්ඩි හා විවාහ වී සිටින ඩැෆ්නි වියපත් දේවගැතිවරයා සමඟ සම්බන්ධ වන්නේ ඇයිද යන පැනයට සිනමා කෘතියෙන් පිළිතුරැ නොලැබේ. සමහරවිට ඔවුන් ආර්ථික වශයෙන් අසරණව සිටින නිසා එයට ඉඩ දුන්නාද? එහෙත් අවසානයේ මේ සම්බන්ධය රැන්ඩි රෝගී කර මරණයට පත් කිරීම දක්වා දික්ගැසේ. රැන්ඩිගේ මරණයෙන් පසුව ඇය බාධාවකින් තොරව දේවගැති මැතිව් සමඟ එකතු වන බව පෙනේ. එයට බාධාවක්ව පවතින්නේ පිටරට සිට පැමිණ මැතිව් දෙස සැකයෙන් බලා සිටින ඉයුනිස්ය. ඊළඟ කර්තව්‍යය වන්නේ ඉයුනිස් ලෝකයෙන් ඉවත් කිරීමය. ඇයට ද බොරු රෝගයක් මවා පාමින් බෙහෙත් ලබා දෙමින් රෝගී කරවයි. ඩැෆ්නිගේ සැමියා සහ ඉයුනිස් යන දෙදෙනාම මියගියේ රුධිරයේ සීනි මට්ටම පහළ යාම නිසා හටගත් හයිපොග්ලයිසියාව නිසා හටගත් නියුමෝනියා තත්ත්වයෙනි. සෞඛ්‍යමය වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කිරීමේදී නිරවද්‍යතාව රැකගැනීමට අධ්‍යක්ෂවරයා සමත් වී සිටී.
ඉහත මරණ දෙකම ඝාතන බවට පොලිස් අධිකාරීවරයාට පවසන්නේ මරදාන පොලිසියේ පොලිස් පරීක්ෂක කෘෘස් (ගැවින් ලුඩ්වයික්)ය. පොලිස් අධිකාරිවරයා ප්‍රවේසමෙන් පරීක්ෂණය කරන ලෙස උපදෙස් දෙන්නේ ඉහළින් කළ හැකි බලපෑම් ගැන ඉඟි කරමිනි.
අවසානයේ මැතිව් පීරිස්ට උසාවියෙන් මරණ දණ්ඩනය හිමි වේ. නමුත් ඔහු වැරදිකරු බව පිළිනොගනී. මාව විනිශ්චය කරන්න ඔබට නොවෙයි ලෝකයේ කාටවත් බැහැ මැතිව් උසාවියට පවසයි. එහෙත් චිත්‍රපටයේ බොහෝ අවස්ථාවල මැතිව්ගේ හෘදය සාක්ෂිය අපට හෙළිදරව් වේ. ඒ ඔහු දෙවියන් ඉදිරියේ කරන පාපොච්චාරණවලිනි. පියාණනි, මම දෙවි කෙනෙක් නොවෙමි. මම මනුෂ්‍යයෙක්මි. මනුෂ්‍යයෝ වැරදි කරති. පියාණනි, මට උදව් කරන්න. එහෙත් ඔහුගේ යටි සිතේ පවතින කෘෘරත්වය නිසා සීරියල් කිලර් කෙනකු බවට පත්වේ. මෙම චරිතය සිනමාවට නැගීම ලේසි නැත. චන්ද්‍රන් රත්නම් ඇල්ස්ටන් කොච් හරහා එම සංකීර්ණ චරිතය අප ඉදිරියේ දිගහරී. ඔහු මතුපිටින් ශාන්ත නිහඬ චරිත ස්වභාවය කදිමට නිරෑපණය කරයි. මරණීනය දණ්ඩනය නියම වුණු අවස්ථාවේ පවා කලබලයට පත්වන්නේ නැත.
මෙලෙස දරුණු ඝාතකයකු වීමට මැතිව්ට බලපෑම් කරන්නේ ඔහුගේ සිතේ සැඟවුණු කාමාශාවයි. එය විටෙක ආදරය ලෙසින්ද මතු වේ. සැබෑ මැතිව් නම් ඩැෆ්නිගේ කාර්යාලයට දිනපතා බත් පැකට්ටුවක් ද රැගෙන ගොස් දුන් චරිතයකි.
චිත්‍රපටයේ ගැටලු සහගත අවස්ථා දෙකක් ද හමුවේ. චිත්‍රපටය ආරම්භයේ සිරකරැවකුට මරණ දණ්ඩනය ලබාදෙන එල්ලුම් ගස අටවා ඇත්තේ හිරගෙදර මිදුලේය. ඔහු එල්ලන අයුරැ ගොඩනැගිල්ලේ ඉහළ සිරමැදිරිවල සිටින සිරකරුවෝ නරඹති. එමෙන්ම උසාවියේ තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේ විත්තිකරුවන් වන මැතිව් සහ ඩැෆ්නි සිටින්නේ විත්ති කූඩුවේ නොව සභාවේ හිඳගෙනය.
සාධනීය තිර රචනයක් උපයෝගී කරගෙන (ක්‍රිස්ට් එලිස්/ ජේම්ස් රත්නම්) ප්‍රවේසමෙන් කළ සිනමානුරූපී කෘතියක් බවට මැතිව් පත්වේ. මැතිව්ගේ චරිතයේ ගූඪත්වය මතු කිරීමට ආලෝකකරණය බහුලව යොදා ගනී. සෙවණැලි, එළිය, අඳුර අතරින් මන්දගාමී රෑපරාමු දිවයයි. මැතිව්ගේ අතේ නිතර තිබෙන කුරුසයට කැමරාව එල්ල වෙයි. එම කුරැසයම ඔහුට මරණ දණ්ඩනය නියම වන අවස්ථාවේ තිබෙන්නේ පොලිස් නිලධාරියකු අතේය. මෙහි ප්‍රශස්ත කැමරාකරණය චන්දන ජයසිංහගේය. මැතිව් චරිතය මතු කිරීමට ඔහුගේ කැමරා කෝණ ඉවහල් වේ. විටෙක කැමරාව ගුවන් ගත වේ. ඉහළ කෝණවලින් සිද්ධි දෙස බලයි.
ජේම්ස් රත්නම්ගේ සංස්කරණය ද කෘතියට ලබා දෙන්නේ ආලෝකයකි. එය අවශ්‍ය අවස්ථාවලදී රූප රාමු ඡේදනය කරමින් ඇදී යන්නකි.
බොලිවුඩ් නිළි ජැක්ලින් ද මනා පාලනයකින් සිය චරිතයට පිවිස සිටී. ඇගේ මුහුණේ කලබලකාරී බව සහ සරාගීත්වය පළ කරවයි. එහෙත් ඇගේ චරිතයට වඩා මතුවන්නේ මැතිව්ලෙස ඇලිස්ටන්ගේ රංගනයයි. විශේෂයෙන් තරුණ රැන්ඩිව ප්‍රතික්ෂේප කර වියපත් මැතිව්ට ළං වීම ගැන ඉඟියක් ඩැෆ්නිගෙන් පළ නොවේ. බිම්සරා ප්‍රේමරත්න ඉයුනිස් ලෙස කදිම රංගනයක යෙදේ. ඇය දැඩි පාලනයකට යටත් වූ හැඟීම් පාලනය කරගත් බිරියකගේ භූමිකාවට අවතීර්ණ වන්නීය.
සංගීතය කතා තේමාව හා බද්ධව ඉදිරිපත් කෙරේ. ගීතිකා විටෙක ඇසේ. යක්ෂයන් සුවපත් කිරීමේ අවස්ථාවල ද එයට ගැලපෙන වේගවත් සංගීතයන් යොදා ගනී. සංගීත අධ්‍යක්ෂණය විරංග ද පෙරේරාගෙනි.
ඇල්ස්ටන් කොච්ගේ නිහඬ රංගනය මෙන් මැතිව් චිත්‍රපටය අප තුළ ප්‍රබල හැඟීම්නම් දනවන්නේ නැත. එයට ඉංග්‍රීසි පිටපතට වඩා සිංහල පිටපතේ ප්‍රාණවත් බව අඩුවීම හේතු වූවාද විය හැකිය.
කුසුම්සිරි