පොත දැනුමේ මෙන්ම රසවින්දනයේද උල්පතයි. පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් පමණක් නොව දැනුම ලබාගැනීමට කැමැති කවුරැත් පොතපත පරිශීලනය කරති. කවි, කෙටිකතා, නවකතා කියවන්නේ සාමාන්‍ය රසවින්දනයට කැමැති පාඨකයාය.
එසේ වුවත් පසුගිය කාලසීමාවේදී පොත් පමණක් නොව පුවත්පත් සඟරා කියවන පාඨකයන්ටද ලබා ඇත්තේ සෙනසුරු දසාවකි. ඒ පොතපතෙහි මිල සීඝ්‍රයෙන් ඉහළ යාමයි. පොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි, තීන්ත ඇතුළු සියලු අමුද්‍රව්‍ය ගෙන්වන්නේ පිටරටිනි. මේ අමුද්‍රව්‍යවලට ඉහළ මිලක් ගෙවීමට සිදුව ඇත්තේ රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය අහස උසට නැග ඇති නිසාය. පසුගිය සතිය වනවිට ඩොලරය රු.182ත් පන්නා ඉහළ ගොස් තිබුණි.
සාමාන්‍යයෙන් පොතක මිල නියම කරන්නේ පොත මුද්‍රණයට යන වියදම තුනෙන් වැඩිකර බව ප්‍රකාශකයෝ පවසති. මුද්‍රණ වියදම රු.100ක් නම් පොතේ මිල රු.300කි. එම මිල තුළ පොත අලෙවි කිරීමේදී පොත් සාප්පුවලට ලබාදෙන 40%ක වට්ටමද කර්තෘට ලබාදෙන 10%ක කර්තෘ භාගයද ඇතුළත්ය. පොතේ මුද්‍රණ වියදම ලෙස සැලකෙන්නේ 33.33%කි. කෙසේ වුවත් අමුද්‍රව්‍ය වියදම ඉහළ යාම නිසා පොතක මිල රොකට් වේගයෙන් ඉහළ යාම සිදුවේ. පොත් සාප්පු කිහිපයක රස්තියාදු වී බැලීමේදී පෙනී ගියේ පිටු 68ක කවි පොතක් රු.250කටද පිටු 128ක ශාස්ත්‍රීය පොතක් රු.500කටද මිල කර ඇති බවය. පොතේ පිටු ගණන 500කට වැඩි නම් මිල රු.1000 ඉක්මවයි.
පොත් මුද්‍රණයට කඩදාසි ගෙන්වන්නේ මුද්‍රණ ආයතන විසිනි. බොහෝ ප්‍රකාශන ආයතන පොත් මුද්‍රණය කරවා ගන්නේ බාහිර මුද්‍රණ ආයතන වෙතිනි. එම ආයතන පොත් පමණක් නොව ව්‍යාපාරික ප්‍රකාශන, වාර්ෂික වාර්තා, පත්‍රිකා, පෝස්ටර් ආදී විවිධ මුද්‍රණ ව්‍යාපාරවලින් මුදල් උපයති. මේ නිසා රජය විසින් මුද්‍රණ කඩදාසිවලට පනවා ඇති අධික බදු ප්‍රතිශතය පොත්වලටත් අදාළ වේ. මුද්‍රණකරැවන් පොත්වල මුද්‍රණ ගාස්තුව අය කරන්නේ බදු ගාස්තුද එයට ඇතුළත් කරමිනි. ලංකාවේ විශාලම පොත් ප්‍රකාශන සහ මුද්‍රණ ආයතනයක්ද වන දංකොටුව වාසනා ප්‍රකාශන අධිපති නිහාල් රංජිත් අපට තම අත්දැකීම් පැවසුවේ මෙලෙසිනි.
සාමාන්‍යයෙන් පොත් මුද්‍රණයේදී වැඩිපුරම භාවිත වන්නේ ග්‍රෑ.70 බෑන්ක් පේපර් එක. එම කඩදාසිවල රිම් එකක් 2015 ජනවාරිවලදී මිල රැ.2200යි. අද වනවිට රැ.5000කට ඉහළ ගිහින්. අපට පේනවා 120%කින් කඩදාසි මිල ගිහින් කියලා. එතකොට 2015දී රු.300කට මිල කරපු පොතක් රු.700ක්වත් මිල කරන්න ඕනෑ. නමුත් අද රටේ ජීවන වියදම වැඩිවෙලා. ආර්ථික අර්බුද ඉහළ ගිහින්. මේ නිසා මිල වැඩිවීම පාඨකයන්ට දරාගැනීමට බැහැ. නමුත් පුංචි මිල වැඩිකිරීමක් හෝ කිරීමට සිදුවෙනවා.
අපි පොතක් වෙළෙඳපොළට නිකුත් කරන්නේ වට්ටම් අඩුකරලා. ඒ මිල තුළ අපට ලාභයකුත් තිබෙනවා. දැන් අපට වෙලා තිබෙන්නේ අපේ ලාභ ප්‍රතිශතයෙන් අඩුකරලා පොත මිල කිරීමටයි. ප්‍රකාශන ආයතන සහ මුද්‍රණාල පවත්වාගෙන යාමට ලොකු වියදමක් යනවා. විදුලි හා දුරකථන බිල්, ප්‍රවාහන වියදම් බදු, සේවක වැටුප් ආදී සියලුම වියදම් අපි දරාගත යුතුයි. නමුත් මේ විදිහට වියදම ඉහළ ගියාම පොත් ප්‍රකාශනය කර්මාන්තයක් විදියට බිඳ වැටෙනවා. ආණ්ඩුවෙන් අපට කිසිම සහනයක් නෑ. ආණ්ඩුව ඒවායින් ලිස්සලා යනවා. අපි මේ අභියෝගයට මුහුණදිය යුතු ආකාරය ගැන සිතමින් ඉන්නේ. මෙතෙක් අපි පොත්වල මිල නියම කළේ අනෙක් ප්‍රකාශකයන්ට වඩා අඩුවෙන් සහන මිලක්. දැන් ඒකත් වෙනස් කිරීමට සිදුවෙලා. ප්‍රකාශ කරන පොත් සංඛ්‍යාවත් අඩුකරලා තියෙන්නේ.
අප රටේ පොත් මිල වැඩිවුද විශාල ප්‍රකාශන කර්මාන්තයක් ඇති ඉන්දියාවේ නම් පොත්වල එලෙස මිල වැඩි නොවේ. ඉන්දීය රජය පොත් මුද්‍රණයට බදු සහන රැසක් ලබාදී තිබේ. එහෙත් අපේ ආණ්ඩු කරවන අය නම් කියන්නේ කඩදාසිවලට බදු සහන දුන්විට එම කඩදාසිවලින් පොත් මුද්‍රණය කරනු වෙනුවට වෙනත් ව්‍යාපාරික දැන්වීම් මුද්‍රණය කරන බවය.
පොත් ප්‍රකාශන සහ මුද්‍රණ කර්මාන්තයේ වර්ෂ 50කට වැඩි අත්දැකීම් සහිත දයාවංශ ජයකොඩි සමාගමේ අධිපති දයාවංශ ජයකොඩි මේ අර්බුදය ගැන අපට අදහස් දැක්වූයේ මෙලෙසිනි.
කඩදාසිවල මිල කෙටිකලක් තුළ හතර ගුණයකින් වැඩිවෙලා. ඉස්සර රු.300කට දුන්න පොතක් අද දෙන්න වෙන්නේ රු.1200කට. ඒ විතරක් නොවේ, තීන්ත, රසායනික ද්‍රව්‍ය, ප්ලේට් ඇතුළු අමුද්‍රව්‍යවල මිලත් අහස උසට වැඩිවෙලා. පිටු 200ක පොතක් අවුරුදු කීපයකට පෙර අපි මිල කළේ රු.200කට. අද රු.800ක්වත් වෙනවා. එහෙම මිල කළවිට පාඨකයන් පොත් මිලදී ගන්නේ කෙසේද? 1970 ගණන්වල අපි නවකතා පොතකින් එක් මුද්‍රණයකදී පොත් 5000ක් පවා මුද්‍රණය කළා. කරුණාසේන ජයලත්, කුමාර කරුණාරත්න වගේ අයගේ පොත් 10,000ක් මුද්‍රණය කළා. මේ මුද්‍රණය කෙටි කලකින්ම අලෙවි වෙනවා. අද පොත් 1000ක් මුද්‍රණය කිරීමත් ගැටලුවක්. සමහර පොත්වලින් පිටපත් 500ක් මුද්‍රණය කිරීමට වෙලා. සමහර ප්‍රකාශකයෝ පිටපත් 200යි මුද්‍රණ කරන්නේ. අපි වෙනදා නම් නැවත මුද්‍රණයත් සමඟ පොත් 100ක් පමණ අවුරුද්දකට පළ කරනවා. දැන් ඒ සංඛ්‍යාව අඩු කරලා තිබෙන්නේ. රැපියල බාල්දු වෙලා. ඩොලරය නැගලා. රට පාලනය කරන දේශපාලනඥයන්ගේ බුද්ධිය තමයි ඒකෙන් පේන්නේ. ප්‍රකාශනයෙන් ලැබෙන ලාභය අමතක කරලා තමයි අපි ඉන්නේ. පොත් මිල වැඩිවීම නිසා පුස්තකාලවලින් පොත් කියවීමට පාඨකයන් පුරුදුවෙලා බව පේනවා.
කොළඹ පොත් ප්‍රදර්ශනයට රොද බඳින පාඨකයෝ විශාල පොත් ප්‍රමාණයක් ගෙදරට රැගෙන ගොස් ගොඩගසා ගනිති. එයට අමතරව මරදාන අවට කේන්ද්‍රගතව ඇති පොත් සාප්පුවලට ගොඩවී එදිනෙදා පොත් මිලදී ගැනීමටද පාඨකයෝ පුරුදුව සිටියහ. මරදානේ පොත් සාප්පුවලින්ද පාඨකයන්ට සෑම දිනකම වට්ටම් ලබාදීම සිදුවේ. එහෙත් මෑතක සිට මේ පොත් සාප්පුවලටද පාඨක නොනගතයක් ලබා තිබේ. වර්තමාන පොත් කර්මාන්තයේ අර්බුදය ගැන විමසීමට අපි මරදානේ සුරස ප්‍රකාශන හා මුද්‍රණ සමාගමේ අධිපති ප්‍රේම් දිසානායක ඇමතුවෙමු.
අපි නම් පොත් පළ කිරීම අඩුකරලා නෑ. මිල වැඩිවීමේ බාධක ඔස්සේ අපි කර්මාන්තය කරගෙන යනවා. මේ නිසා ලොකුම අසාධාරණය වන්නේ පාඨකයන්ට. ඔහුට පොතකට වැඩි මිලක් ගෙවීමට සිදුව තිබෙනවා. මිල අධික ලෙස වැඩිවීමට එක් හේතුවක් තමයි බදු. මේ කර්මාන්තයට රජයෙන් බදු සහනයක් සැලසිය යුතුයි. ඒ නිසා රජයෙන් කළ යුත්තේ බදු යටතේ ගෙන්වන කඩදාසිවලට අයකරන බදු මුදල ඒවායින් නිෂ්පාදනය කෙරෙන පොත්වලට පමණක් නැවත ආපසු අඩු කිරීමයි. ඒ සඳහා ක්‍රමවේදයක් රජය සැකසිය යුතුයි. රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි වන පොත්වල ලේඛනයක් අරගෙන රජයට පුලුවන් මුද්‍රණය කළ පොත් සංඛ්‍යාව ගණනය කිරීමට. එම පොත්වලට ගිය කඩදාසි ප්‍රමාණය ඇස්තමේන්තු කර ඒවාට බදු සහන ලබාදිය හැකියි. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය රජයට යෝජනා කළා. මුදල් අමාත්‍යංශයටත් එය යැව්වා. නමුත් කිසිම ප්‍රතිඵලයක් නැහැ.
ආණ්ඩුවේ ඉවක් බවක් ගැන නැති බදු ගැහිල්ල නිසා එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍යවල සිට වාහන දක්වා මිල අහස උසට නැගලාය. දුරකථන ගාස්තුවලින් පමණක් නොව එස්.එම්.එස්. පණිවුඩවලින් පවා බදු අයකර ගැනීමට පසුගිය කාලයේ යෝජනා වූවා අපට මතකය. දැනුමේ වටිනාකමක් නොදන්නා පාලකයන් පොත් කර්මාන්තයට බදු සහන ලබා නොදීම පුදුමයක් නොවේ. රට කරවන උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු බහුතරයක්ද සා.පෙළවත් නොසමත් පොත්වල අගය නොදන්නා පිරිසක් බව රටේම ප්‍රචලිතය.
කුසුම්සිරි