2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

අපේ කාලේ දෙසැම්බර් 31 රාත්‍රිය

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:31 168

පෘථිවිය ඉර වටා යන දවස් 365 ¼ක පරිභ්‍රමණ කාලය ක්‍රිස්තුවර්ෂයෙන් ගණන් තබා ගන්නට දැන් සියලු ලෝකවාසීහු එකඟ වී ඇත්තාහ. එම නිසා ලෝ පුරා මිනිස්සු ජාති, ආගම් හා වෙනත් වර්ගවාදී භේදයකින් තොරව ජනවාරි පළමු වැනිදා උදාවන්නේ අලුත් අවුරුද්දක් බවට එකඟවී සිටිති. එහෙත් ජනවාරි පළමුදා උදාව හෙවත් දෙසැම්බර් 31 දා රාත්‍රී 12ට එළඹෙන අලුත් අවුරුද්ද පිළිගන්නා ආකාරය කාලයෙන් කාලයට වෙනස් වී තිබේ.

අප කුඩා කාලයේදී ජනවාරි පළමු වැනිදා වැඩිහිටියන් නම් කළේ ජනේරු දිනය වශයෙනි. දැන් ජනේරු යන වචනය කිසිම තැනක භාවිතා වනු පෙනෙන්නට නැත. අද මෙන්ම දශක තුන හතරකට පෙරත් නත්තල් දිනය සහ දෙසැම්බර් 31 අතර කාලය නාගරික සහ අර්ධ නාගරික ජනයා ගත කළේ තරමක් විවේකයට හා විනෝදයට බර ජීවිතයකි. මෙම ප්‍රමෝදය දෙසැම්බර් 31 රාත්‍රියේ උපරිමයකට ගෙනයන්නට ඒ අය වගබලා ගනිති. ඉස්සර ඥාති හිතමිත්‍රාදීන්ට අලුත් අවුරුදු සුබ පැතුම්පත් යවන්නේ ඉහත කී වසර අග කාලයේදීය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පාර අද්දරට රතිඤ්ඤා කඩ එන්නට පෙර පැමිණෙන්නේ මෙම සුබ පැතුම්පත් අලෙවි කරන අලෙවි සල්ය. රතිඤ්ඤා කඩ නම් පාර අද්දරට පැමිණ ඇතත් දැන් සුබ පැතුම්පත් අලෙවි සල් නම් ඉස්සර තරම් පාර අද්දරට එන්නේ නැත. සුබ පැතුම්පත් යැවීම අඩුවන්නට ගත්තේ SMS පණිවිඩ මගින් සුබපැතීම ආරම්භයත් සමඟ බව පෙනිණි. වසර දහයකට පමණ පෙර අකුරෙන් පමණක් යැවූ සුබ පැතුම් දැන් ස්මාර්ට් ජංගම දුරකතනවලින් චලන රූප සහිත වඩාත් දියුණු තාක්ෂණය උපයෝගී කරගෙන යැවීම සිදුකෙරේ. එම නිසා බොහෝ අය දැන් 31දා රාත්‍රියේ තම නිවසේම රැඳී තම ජංගම දුරකතනයට ඇඟිලි තුඩින් කොටමින් තම ප්‍රියයන් හා එක්වන්නේ ශාරීරිකව ළංවී නොව ඉලෙක්ට්‍රොනිකව එක්වෙමින්ය.

එහෙත් පසුගිය දශකවල අපේ තරුණ කාලය ගෙවූ අපි දෙසැම්බර් 31 දා නිවසේ රැඳීඉන්නට කැමැත්තක් නොදැක්වූවෙමු. මහ හෝටල්වල 31දා සැමරීම මහ ඉහළින් නොයෙක් ආකාරයෙන් සිදුවුවත් ඒවා පොදු ජනයාට ඒ තරම් සමීප වූයේ නැත. අප දෙසැම්බර් 31 රාත්‍රිය ගතකළේ බොහෝවිට ගෝල්ෆේස් පිටිය වැනි ප්‍රසිද්ධ ස්ථානයකයි. මේ හැරුණු කොට පොදු ජනයා තම තමන්ට රිසි, තම තමන්ට හැකි ආකාරයෙන් නිවෙසක හෝ වෙනත් ස්ථානයක සාද පැවැත්වූවෝය.

දෙසැම්බර් 31 විශේෂ දිනයක් වූ නිසාම එකකට එකක් වෙනස් ලෙස දෙසැම්බර් 31 ගතකළ සැමරුම් රාශියක් මෙහිදී මතකයට නැගේ.

කොළඹ අහස එළිය කරගෙන වැඩිපුරම අහස් කූරු ඉහළ නැගුණේ දෙසැම්බර් 31 රාත්‍රියේ කිවහොත් එය අසත්‍යයක් නොවේ. සිංහල, මුස්ලිම්, බර්ගර්, දමිළ ජනයා එකාවන්ව ඉස්සරත් දෙසැම්බර් 31 රතිඤ්ඤා පත්තුකරමින් අලුත් අවුරුද්දට සුබ පැතුවෝය. ගිනිකෙළිවලින් සිදුවන ශාරීරික අනතුරු ගැන සිතමින් රතිඤ්ඤා පත්තු නොකර ඉන්නට මැලි වූයේ ටික දෙනෙකි. පොදුවේ රතිඤ්ඤා හඬ නොඇසුණු එකම දෙසැම්බර් 31 දාවක් මතකයේ ඇත්නම් ඒ සුනාමි අනතුර සිදුවූ 2004 වර්ෂය පමණි. විනෝදයේ උන්මාදය තරමක් වැඩි වූ තරුණයෝ ගෝල්ෆේස් පිටියේ පවා බිම දිගේ බඹර චක්‍ර යවන්නට පසුබට වූයේ නැත. එහෙත් නිවසේ කොටුවී ඇඟිලි තුඩින් සුබ පැතුම් එවන වර්තමාන තරුණයාට වඩා ඔවුන් ගැන නම් (බිම දිගේ බඹර චක්‍ර යැවූ තරුණයා හට) දැන් සිතට නැගෙන්නේ මිත්‍රශීලී හැඟීමකි. මන්දයත් ඔවුන් සමාජය හා එක්ව විනෝද වූ බැවිනි.

ගෝල්ෆේස් පිට්ටනියේ පැවැත් වූ දෙසැම්බර් 31 සංදර්ශන දෙකක් අනික්වා අභිබවා මතකයට නැගේ. එකක් 1975 දෙසැම්බර් 31 පැවැත් වූ සංදර්ශනයයි. අනෙක 1999 දෙසැ. 31 පැවැත් වූ සංදර්ශනයයි.

1975 දෙසැම්බර් 31 දා ගෝල්ෆේස් පිටියේ පැවැත් වූයේ අති දැවැන්ත සංගීත සංදර්ශනයකි. එකල කොළඹ නගරයේ පැවැති එළිමහන් සංගීත සංදර්ශන නැරඹූ තරම් අති විශාල ජනකායක් කිසිදු විවෘතවේදිකා සංගීත සංදර්ශනයකට එතෙක් සහභාගී වී තිබුණේ නැත. සිංහලෙන් එදා එහි නිවේදන කටයුතු කළේ කරුණාරත්න අබේසේකරයි. ඉංග්‍රීසියෙන් නිවේදන කටයුතු කළ විජය කොරයා එදා මිල්ටන් මල්ලවාරච්චි ගැයූ “සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්" ගීතයේ මිල්ටන් නොගැයූ කොටසක් ගායනා කළේය. එවකට ජනප්‍රියව සිටි අද පවා අපිට දැවැන්තයන් සේ පෙනෙන එච්.ආර්. ජෝතිපාල, ක්ලැරන්ස් විජයවර්ධන, මිල්ටන් මල්ලවාරච්චි, එම්.එස්., ඒ.ඊ. මනෝහරන් ඇතුළු ශිල්පීහුද ගායක කණ්ඩායම් ද එදා ඒ වේදිකාවේ ගී ගැයූහ.

1999 දෙසැම්බර් 31 2000 වර්ෂයේ හෙවත් නව සහශ්‍රකයේ ආරම්භය සමරනු වස් ගෝල්ෆේස් පිටියේ පැවැත්වූයේ ද මහාජනකායක් සහභාගී වූ සංදර්ශනයකි. සංගීත සංදර්ශන අභිබවා සැමගේ සිතේ රැඳුණේ එදා පැවැත් වූ මල්වෙඩි සංදර්ශනයයි. එවකට අලුත් මල් වෙඩිවලින් ගාලු මුවදොර පිටියේ අහස එදා වර්ණවත් වූයේය.

ඇතැම් දෙසැම්බර් 31දාක අලුත් අවුරුද්ද සමරනු වස් අපි ගෝස්ෆේස් පිටියට හෝ නිදහස් චතුරශ්‍රයට ගියේ රසමසවුළු සහිත රාත්‍රී භෝජනය වාහනයක පටවාගෙනයි. දඬුෆෝඩ් වැනි පරණ කාර් රථයක් අමාරුවෙන් පණගන්වාගෙන තල්ලු කරමින් කොළඹ යන්නටද ඇතැම්හු උත්සුක වූවෝය. බැටරිය බාගෙට මැරුණු කාර් රථය සැවොම එක්ව තල්ලු දමා පණගැන්වූයේ එය විනෝදයක් කරගෙනයි. එම වාහනවල ඇන්ජිමේ ඇතැම් කොටස් අමුණාගෙන තිබුණේ කම්බිවලිනි. අතින් මිරිකූ විට “පෝං" යනුවෙන් හඬ නැගෙන නළාවක් හෙවත් හෝන් එකක් එවැනි රථයකට සවිකර ගත්තේ හිතාමතාමය.

දෙසැම්බර් 31 දින රාත්‍රී 12.00ට විනෝද වෙන අතරේම රතිඤ්ඤා හඬ දසත නැගෙද්දී අපි එකිනෙකා වැළඳගෙන සෙනෙහසින් නව වසරට සුබ පතා ගත්තෙමු. දෙසැම්බර් 31 මිතුරන් සමඟ එක්නොවී ගෙදර ඉන්නට සිදුවේ නම් අප එය මහත් අභාග්‍යයක්කොට සැළකුවෙමු. තවමත් අප සිතන්නේ එසේමය. ඈත ගව්ගණන් දුර පිටදේශවල ජීවත්වන අපේ මිතුරන් සමඟ දෙසැම්බර් 31දා අලුත් අවුරුදු සුබ පැතුම් හුවමාරු කරගැනීමට පහසුවීම ගැන නවීන තාක්ෂණයට ස්තූතිවන්ත විය යුතුයි. ඉංග්‍රීසි භාෂාව හරි හැටි නොදත් පීරු මොන්ගෝලියා ආදී රටවල දිවිගෙවන මිතුරෝ රූපවලින් වචනවලට වඩා අගේට අප සමඟ සුබ පැතුම් හුවමාරු කරගනිති. නවීන තාක්ෂණයෙන් ගතයුතු ප්‍රයෝජනය වන්නේ සමීපතමයන් ඈත් කිරීම නොව ඈත්ව සිටින්නන් සමීප කරගැනීම බව එසේ සුබ පැතුම් හුවමාරු කරගන්නා විට සිතේ.

අතීත අවුරුදු කිහිපයකදී දෙසැම්බර් 31 වැනිදායින් තම මත්පැන් පානය සහ සිගරට් පානය නවතා දැමීමට ඉටාගත් කිහිප දෙනෙකු ගැන වරෙක මතකයට නැගේ. ඔවුනට ඕනෑවූයේ දෙසැම්බර් 31දා පදමට පානයකොට මත්පැන් පානය අත්හැර දැමීමටයි. ඇතැම් අය සිගරට් ඉරිමේ පුරුද්ද ඒ ආකාරයට අත්හැර ගත්හ. එහෙත් මත්පැන් පානය කළ අය සතුට සමරනු වස් මත්පැන් පානය නවතා දැමුවේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ “පුන්තිලා" නාට්‍යයේ පුන්තිලා මත්පැන් පානය නවතා නැවත පටන් ගත් ආකාරයටයි. 

“මම බොන එක නැවැත්තුවා. ඒ සන්තෝසෙට බොනවා." පුන්තිලා කීවේ එසේය. ඉහත කී දෙසැම්බර් 31 මත්පැන් පානය කිරීම නවතා දැමූ උදවිය ජනවාරි මාසය අගහරියේදී මත්පැන් පානය නවතා දැමූ සතුට සමරණු සඳහා බොන්නට පටන්ගත්තෝය. ඉස්සර ඇතැම් නාගරිකයෝ ජනවාරි මාසයට කීවේ බෝතල් මාසය කියාය. දෙසැම්බර් අගභාගයේ දී හිස් කළ මත්පැන් බොතල් ජනවාරි මාසයේ දී බොතල් පත්තරකාරයාට විකුණුවේ 5 S (එස්. 5 ක්‍රමය) ක්‍රමයට අනවශ්‍ය දෑ බැහැර කිරීම සඳහාම නොවේ. දෙසැම්බර්වල හමාර වූ සාද සමඟ සල්ලිත් හමාර වූ නිසාමය.

සිංහල අලුත් අවුරුද්ද අළලා ගීත රාශියක් රචනා වී තිබුණත් ජනවාරියේ එළඹෙන අලුත් අවුරුද්ද සමරනු සඳහා විශේෂයෙන් ගීත ලියවී තිබුණේ අඩුවෙනි. එම නිසා එළඹෙන අලුත් ක්‍රිස්තු වර්ෂය සඳහා ගුවන්විදුලියෙන් වරෙක ප්‍රචාරය වූයේ සිංහල අලුත් අවුරුද්ද සඳහා වූ ගීතමය. සිංහල අලුත් අවුරුද්දට පිළියෙළ කරන කැවුම්, කොකිස් ගැනද ඒවායේ කියවුණේය. එහෙත් ජෝතිපාල ගැයූ පහත සඳහන් අවුරුදු ගීතය අලුත් කිතු වසර සමරනු සඳහා ගැයූවකි.

කිරි ඉතිරේවා - නව වසරේ
සාමයේ ගීතයේ - රැව් නැගේවී දස අතේ
බත බුලතින් සරු වුණා - දුක් දොම්නස් දුරු වුණා
අවුරුදු දා ප්‍රීතිවන්න - මුසුකරමින් මල් හිනා!

 සමන් පුෂ්ප ලියනගේ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00