2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

තනි කකුලෙන් හේන් කොටන අම්බලන්තොට දිරිය මිනිසා

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 166

උත්පත්තියේදී වගේම පසුකාලීනව සිදුවෙන ඇතැම් සිදුවීම් හේතුවෙන් විවිධ ආබාධයන්ට ලක්වන පිරිස් ලොව තුළ ඕනෑ තරම් දැකිය හැකිය. කුමක් හෝ දෛවෝපගත සිදුවීමක් නිසා මෙලෙස ආබාධවලට ලක්වන්නන්ගේ ජීවිත ඉරණම තීන්දු වන්නේ විවිධාකාරයෙනි. අතක් කකුලක් නැති වූ පමණින්ම ජීවිතයේ සියලු බලාපොරොත්තු අත්හළ යුතුද යන්න සිතා බැලිය යුතුය. උපතේදී සිදුවෙන ආබාධ හේතුවෙන් හෝ පසුකාලීනව සිදුවූ ආබාධයක් හේතුවෙන් අසරණ වන මිනිසුන් අතරේ එම ආබාධයට පයින් ගසා ආත්මශක්තියෙන් ජීවිතය ජයගත් පිරිස්ද ලොව තුළ දැකිය හැකිය. මෙයද එවැනි අනුවේදනීය කතාවකි.

විවිධ ලෙඩ දුක් කියමින් අත් පා හතරම ඇති ඇතැම් අයද සිඟමන් යදිමින් අනුන්ගෙන් කෑමට පුරැදුව සිටින අවධියක එවන් පිරිස් වෙත හා එලෙස සිඟමන් යදින ජාවාරම්කරුවන්ට චන්ද්‍රදාස මහතා දෙන්නේ හොඳ ආදර්ශයකි.

දැනට අම්බලන්තොට සෆාරි හන්දිය අසල අක්කර 03ක භූමියක ඉතා සරු හේන් වගාවක් පවත්වාගෙන යන පනස් හතර හැවිරිදි විජමුණිගේ චන්ද්‍රදාස මහතා ගැටවර වයසේ සිටම ගොවිතැනට කදිම රුසියෙකි. වයස අවුරුදු 13 සිටම සිය පියා සමඟ හේන් ගොවිතැනේ නිරතවීමෙන් චන්ද්‍රදාස ලැබූ පන්නරය ඔහුගේ ජීවිතය ජයගැනීමට ඇති මඟක් විය. 

මෙලෙස හේන් ගොවිතැනත් සමඟම ජීවත්වන චන්ද්‍රදාස වයස 23දී ආරියවතී රාජපක්ෂ සමඟ විවාහ දිවියට ඇතුළත් වූවේය. එතැන් පටන් ආරම්භ වූ දෙදෙනාගේ යුග ජීවිතයේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැනය. මේ අතර චන්ද්‍රදාස හරක් බැලීමද සිදුකරගෙන ගියේය. මෙලෙස කාලය ගතවීමත් සමඟ මෙම දෙදෙනාට දුවලා දෙදෙනකු හා පුතකු ලෙස දරුවන් තිදෙනෙක්ද බිහිවූහ. හේන් ගොවිතැන් කරමින් ජීවත් වූ චන්ද්‍රදාසගේ කටුමැටි පැල කුඩා දරුවන් තිදෙනා නිසා දිවියභවනක් වන්නට විය. ඒ තරමටම සතුටින් විනෝදයෙන් මේ අය ජීවිතය ගෙවමින් සිටියදී 1996 වසරේදී මේ සතුට විනාශ වී යන්නේ කිසිවකුත් නොසිතූ අයුරිනි. ඒ චන්ද්‍රදාස මහතා හරක් බැලීමට ගිය අවස්ථාවේ කදක් (සතුන් සඳහා අටවන මාරාන්තික උගුලක්) පත්තුවීම හේතුවෙනි. මේ අවාසනාවන්ත ඉරණමින් චන්ද්‍රදාස මහතාට සිය වම් පාදය අහිමි විය. ඒ වනවිටත් චන්ද්‍රදාසගේ දරුවන් තිදෙනාම කුඩා වියේ පසුවූහ. මේ හදිසි අනතුර හේතුවෙන් පවුලේ සියලු බර කරට ගත් චන්ද්‍රදාස මහතාගේ බිරිඳ ආරියවතී සිය සැමියා සුවපත් කරගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගත්තද එය අසාර්ථක විය. වෛද්‍යවරුන් පැවසුවේ චන්ද්‍රදාසගේ එක් කකුලක් කපා ඉවත් කළ යුතු බවයි. තිදරු පියකු වූ චන්ද්‍රදාස එදා පටන්ම ජීවිතයේ තමන්ට ලැබෙන දේ සියල්ල සතුටින් විඳ දරාගත් අයෙකි. ඒ නිසාම ඔහුගේ වම් පාදය අහිමිවීම සිය ජීවිතය අහිමිවූවා යැයි නොසිතීය. වසරක් තරම් කාලයක් සිය බිරිඳගේ හා ඥාතීන්ගේ ඇප උපකාරවලින් පසු හැමදාම ඇඳට වී සිටිය නොහැකි බව පවසමින් චන්ද්‍රදාස සුපුරුදු පරිදි කැත්ත උදැල්ල අතට ගත්තේ සිය ජීවන අරගලය ජයගත යුතු වූ නිසාවෙනි. දරු තිදෙනා හා බිරිඳ පෝෂණය කිරීම සිය පරම වගකීම වූ නිසාවෙනි

හරක් බලන්න යද්දී කදක් පත්තු වී එක් පාදයක් අහිමි වුවත් ජීවිතයේ බලාපොරොත්තු අත්නොහළ චන්ද්‍රදාසට නවීන පන්නයේ කිහිලිකරැ දෙකක් ගැනීමට තරම් වත්කමක් නොවීය. ඒ නිසාම ගමේ වින්කලේට ගොස් යකඩ පයිප්ප බට කැබලි දෙකකින් කිහිලිකරැ දෙකක් හදාගත් ඔහු එහි උපකාරයෙන් සුපුරුදු ගොවිතැනට බැස්සේය. එතැන් පටන් වසර 22ක් තිස්සේ ගොවිතැන් කරමින් සිය දරුමල්ලන් උස් මහත් කර කරකාර බන්දා දීමට තරම් මේ දිරිය මිනිසා සමත් වූවේය.
මේ තමන් මුහුණදුන් අභියෝග පිළිබඳව අදහස් දක්වන 54 හැවිරිදි විජමුණිගේ චන්ද්‍රදාස මහතා. 

අපේ මුල් ගම අම්බලන්තොට කොග්ගල්ලේ. තාත්තත් එක්ක හේන් ගොවිතැන් කරන්න එනකොට මට අවුරුදු 13 යි. එදා මේවගේ හිටියේ අලි, කොටි, වලස්සු. අපි උන් එක්ක තමයි මේ මහ කැලෑවල ජීවත් වු‍ණේ. හේන් කරන්න ඇවිත් තමයි මම කසාද බැන්දේ. කසාදෙන් පස්සේ අපි සූරියවැව තමයි පදිංචි වුණේ. කසාද බැඳලත් අපි ජීවනෝපාය ලෙස කළේ ගොවිතැන තමයි. ඒ කාලේ මම හරක් බලන වැඩෙත් කළා. එහෙම හරක් බලන්න කැලේ යනකොට දඩයක්කාරයෝ සතුන්ට අටවලා තිබුණු කදක් මට පත්තු වුණා. ඒකෙන් මට මගේ වම් පාදය අහිමි වුණා. දැන් ඉතින් අවුරුදු 22ක් තිස්සෙම එක කකුලකින් ඇවිද ගිහින් තමයි මම මේ සියලු වැඩ කරගන්නේ. වෙඩිල්ල පත්තුවෙලා කකුලක් කැපුවම මම හිතුවා නැවත මට කවදාවත් ජීවිතය ජයගන්න බැරිවේවි කියලා. ඇඳකට වෙලා හෝ අනුන්ට අතපාලා ජීවත්වෙන්න වේවි කියලා මම හිතුවා. නමුත් මම කකුල සනිප වුණාම නැවතත් හෙමින් හෙමින් කැත්තෙ උදැල්ලේ වැඩට හුරු වුණා. මුල් කාලෙදී නම් ඒක ටිකක් අමාරු වැඩක් වුණා. තනියම අඬපු අවස්ථාවනුත් තිබුණා. ඒ හැම අවස්ථාවකදීම මට හයියක් වුණේ මගේ බිරිඳ තමයි. කොහොම හරි කාලයත් එක්ක මට අමතක වෙලා ගියා මට තියෙන්නේ එක කකුලයි කියලා. අද වෙනකොට මම අක්කර තුනක වගාවක් බිරිඳත් එක්ක එකතුවෙලා කරගෙන යනවා. මම අහස් දියෙන් තමයි මේ ගොවිතැන් සියල්ලම කරන්නේ. මට වතුර ගන්න ළිඳක් හාරගන්න තරම් හැකියාවක් නෑ. මම කිහිප දෙනකුගෙන්ම ඉල්ලීමකුත් කළා පුළුවන් නම් කුමක් හෝ සහනදායී ක්‍රමයකට මට වගා ළිඳක් හෝ නළළිඳක් හදලා දෙන්න කියලා. නමුත් තවම ඒක කරගන්න බැරි වුණා. වැස්ස නැති කාලෙට වතුර නැතිව ගොවිතැනක් කරගන්න මට විදියක් නෑ. ඒකට කවුරු හරි පිහිටක් වෙනවා නම් ඒක ලොකු පිනක් වෙනවා.

ගෙවුණු අවුරුදු 22ම මම කටයුතු කළේ කකුල් දෙකම තියෙනවා කියලා හිතාගෙනයි. දරුවෝ ලොකු මහත් වෙලා දැන් ඒ අයත් කසාද බැඳලා, ඒ අයටත් දරුවෝ ඉන්නවා. මම සූරියවැව පදිංචිවෙලා හිටිය නිවසත් දරුවන්ටම දීලා බිරිඳත් එක්ක ඇවිත් මේ කැලේ පදිංචිවෙලා හේන් ගොවිතැන් කරමින් ඉන්නවා. හවස් වෙනකොට උයාගන්න මොනවා හරි ටිකක් අරගෙන බිරිඳත් එක්ක ගහ උඩ තියෙන පැලට නැගලා රුය පහන් කරනවා. එළිවෙනකම් වනඅලි මේවට එනවා. වගාවක් රැකගන්නේ බොහොම අමාරැවෙන්. මොන අමාරැකම තිබුණත් ජීවිතය අතරමඟින් දමලා ගහන්න බැරි නිසා සියලු දුක් කම්කටොලු විඳගෙන පුළුවන් විදියට ජීවත් වෙනවා යැයි පැවසීය.

චන්ද්‍රදාස මහතාගේ බිරිඳ වන 51 හැවිරිදි ආරියවතී රාජපක්ෂ මහත්මිය මෙසේ පැවසුවාය.

ගොවිතැන් කරන්න ඇවිත් තමයි මට මහත්තයා හමුවුණේ. ඉතින් එතනින් පස්සේ දැන හැඳිනගෙන විවාහවෙලා අපිට දරැවෝ තුන්දෙනෙක් ලැබුණා. මේ කාලෙදීම තමයි මහත්තයට කදක් පත්තු වුණේ. ඒකෙන් මහත්තයට එක කකුලක් නැති වුණා. ඒ වෙනකොට දරුවෝ තුන්දෙනාම පුංචියි. නමුත් කරන්න දෙයක් නෑ, ඒ කාලේ අලි, කොටි එක්ක අපි පුදුම තරම් දුකක් වින්දා. මහත්තයාගේ කකුල සනීප වුණු ගමන් වගේ මහත්තයා නැවත හේන් ගොවිතැන් වැඩ පටන් ගත්තා. අද දරුවෝ උස් මහත් වෙලා කසාද බැඳලා ඒ අය වෙන්වෙලා ජීවත් වෙන්නේ. අපි දෙන්නා සුපුරුදු පරිදි කැලේටම වෙලා හේන් ගොවිතැන් කරමින් මේ ගහ උඩ ජීවත් වෙනවා. මහත්තයා හැමදාමත් කියන්නේ කාටවත් කරදරයක් වෙන්න බෑ, අපේ ලෙඩට දුකට බෙහෙත් හේත් ටිකක් ගන්න කාගෙන්වත් සල්ලි ඉල්ලන්න එපා. අපි පුළුවන් විදියකට කාලා බීලා ඉමු කියලා. මාත් පුළුපුළුවන් විදියට මහත්තයා එක්ක හේන් ගොවිතැන් වැඩ කරනවා. දැන් ඉතින් ජීවිතයේ අන්තිම කාලේ. මේ ටිකත් මේ විදියටම කාටවත් කරදරයක් නොවි ඉන්න තමයි බලාපොරොත්තුව* යැයි ඇය පැවසුවාය.

විවිධ ආබාධ ඇතිබව කියමින් ජීවිතය අතරමඟ නතර කරගෙන විඳවමින් සිටින මිනිසුන්ට මෙන්ම අතපය හතර යහතින් තියාගෙනත් බොරැවට මිනිසුන් රවටමින් සිඟමන් යදින ජාවාරම්කරුවන්ටත් චන්ද්‍රදාස මහතා සපයන්නේ මහඟු ආදර්ශයකි. ඉර මුදුන්වීගෙන එන ජාමේ කහට කෝප්පයක් බී අතකින් කිහිලිකරුවකුත්, අතකින් උදැල්ලකුත් අරගෙන හේනට යන චන්ද්‍රදාස මහතා නැවත සිය වැඩමුරය නවතා දමන්නේ කැම වේලාවටය. ඇතැම් දිනවලට ඉර අවරට යන මොහොතේදීය.
කකුලක් අහිමිවීමම සිය ජීවන ගමන අතරමඟ නවතාලීමට හේතුවක් නොවේ. උත්සාහය හා කැපවීම ඇත්නම් ජීවිතය ජයගැනීම පහසු වනු ඇති බවත් චන්ද්‍රදාස මහතා ලොවටම පෙන්වා දී තිබේ. එක් කකුලක් අහිමි වුණත් චන්ද්‍රදාසගේ හපන්කම් නම් සුළු පටු නොවේ කියා අපිට සිතුණේ ඔහුගේ අක්කර තුනක් වූ හේන පුරා ඇවිද ගිය පසුවය. අක්කර තුනක් පුරාවටම අහස් දියෙන් විවිධ බෝග අස්වැදීමට ඔහු සමත් වී සිටී. කවුපි, මුංඇට, රටකජු, කෙසෙල්, කුරක්කන්, අමුමිරිස්, තල, බඩඉරිඟු ඇතුළු බෝග වර්ග රුසක් චන්ද්‍රදාස මහතාගේ හේනේ අදටත් දැකිය හැකිය.

අතපය තිබියදී පවා සිඟමන් යදින මිනිසුන් සිටින ලෝකයේ කොතරම් අඩුපාඩු තිබුණත් ජීවිතය ජයගන්න දහදුක් විඳින චන්ද්‍රදාස වැනි දිරිය මිනිසුන්ද සිටින බව අප අමතක නොකළ යුතුය. ඔහු සැබෑම වීරයෙක් යැයි අපටද සිතුණි.

සටහන හා සේයාරූ  I සූරියවැව නුවන් ජයසේකර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00