2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

කීඩෑ සුනාමියෙන් බැට කන පුත්තලම් ගොවියෝ

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

පුත්තලම දිස්ත්‍රික්කයේ කුඹුරැ වගාවේ නියැලෙන ගොවීන් වරින්වර මුහුණදෙන ගැටලු අතර කීඩෑ උවදුර උග්‍රවී තිබේ. පසුගිය කන්නයේ තබ්බෝව වැව යටතේ වගා කළ කුඹුරැ අක්කර 3000ක් පමණ මෙවැනි වූ රෝගයකින් විනාශයට පත්වූ අතර එය ගොවි ජනපද පුරා ව්‍යාප්ත වන්නට විය. මෙවර කන්නයේ ගොවීන් මුහුණ දෙන මෙම කීඩෑ උවදුර මර්දනය කිරීමට තවමත් හැකි වී නැත. කෘෂිකර්මාන්තය තම යැපුම් මාර්ගය කරගත් ගොවියා දැවැන්ත වූ ගැටලුවකට මුහුණදී තිබුණද රජයට නම් එම තත්ත්වය තවත් එක් ස්වභාවික ආපදාවක් පමණක් වී තිබේ. මෙම තත්ත්වය රටේ ආර්ථිකයට දායකත්වය දෙන ගොවියාට පමණක් නොව සමස්ත රටේ නිෂ්පාදන ආර්ථිකයට බලපෑ හැකි තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකිය.

කරුවලගස්වැව ඉහළ පුලයන්කුලම කඩවරවැව යටතේ කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන් සියයක් පමණ දෙනා කුඹුරු අක්කර 150 පමණ වගාකර තිබෙන්නේ නියඟය හමාර කරමින් ලැබුණු වැසි සමඟ වැව ජලයෙන් පිරීයාමත් සමඟයි. වී ගොවිතැන තම ජීවනෝපාය කරගත් ගොවීන්ට කන්න හතරක් එය අහිමි වීමෙන් ජීවත්වීමට විවිධ වෘත්තීන්වල නියැලීමට සිදුවුවද වැසි වැටී වැව් පිරීයාමත් සමඟ ගොවින් ගොවිතැන් ආරම්භ කළේ නැවුම් බලාපොරොත්තුවකිනි.

දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන කනකර උකසට තබා සොයාගත් මුදලින් ආරම්භ කළ වී ගොවිතැන විනාශයට යද්දී ඒ දෙස බලා සිටීමට නොහැකිව හතර වටේ ණය වී කෘමීනාශක භාවිත කිරීමට ගොස් කබලෙන් ලිපට වැටුණු ගොවීන් පිරිසක් ඉහළ පුලියන්කුලමින් හමුවීය. හඳුනා නොගත් කීඩෑ උවදුරක් හේතුවෙන් විනාශයට පත්වෙමින් පවතින කුඹුරැ යාය බේරා ගැනීමට වෙර දැරැවද තමන්ගේ දිළිඳු භාවය නිසා ඔවුහු අසරණ වී සිටිති. 

සම්පූර්ණ කුඹුරු යායටම එකවර කෘමී නාශක ඉසීමෙන් කීඩෑ උවදුර මර්දනය කිරීමට හැකි බව බතලගොඩ කෘෂි පර්යේෂණ නිලධාරින් පැමිණ පැවසුවද එසේ කිරීමට සෑම ගොවියකුටම හැකියාවක් නොමැති බව ගොවීහු කියති. අවශ්‍ය  කෘමිනාශක ලබා ගැනීමට රජයෙන් සහන ක්‍රමයක් සකසා දෙන්නේ නම් කෘෂි පර්යේෂණ නිලධාරින් පැවසූ ආකාරයට සියලු තමන්ට එකවර කෘමිනාශක ඉසීමට හැකි බවත් ගොවින් කීවේ මේ ආකාරයෙනි. 

ඩී.එම්. නිශාන්ත- 

මේ තෙල් ගහන්න හයවෙනි ගමන. දැනට එක අක්කරයකට රැපියල් දොළොස් දාහක තෙල් ගහලා තියෙනවා. කෘමිනාශකවලට විතරක් එච්චර මුදලක් වැය වුණා. නමුත් කිසිම ප්‍රයෝජනයක් වුණේ නැහැ. අතේ තිබුණ සල්ලිත් නැහැ. ගෙදර තිබුණ වීත් නැහැ. අපි එව්වා විකුණලා තමයි මේ ගොවිතැන කළේ. අන්තිමට ඒකත් නෑ. මේකත් නැහැ. කබලෙන් ලිපට වැටුණා වගේ තමයි වුණේ. අර තෙල හොඳයි කියනකොට ඒක ගහනවා. මේක හොඳයි කියනකොට ඒක ගහනවා. කඩකාරයෝ හොඳයි කියන හැම එකම ගැහුවා. කිසිම වැඩක් නැහැ. ගොයම නිකම් කෙහෙල්කන ඉදෙනවා වාගේ කහපාට වෙලා මැරිලා යනවා. ගොයම මැරිලා ඉවර වෙනකොට ගත්ත ණය ගෙවා ගන්න බැරිව අපටත් මැරෙන්න වෙයිද දන්නෙ නැහැ.

ඩී.එම්. විජේතුංග - 

බතලගොඩින් ඇවිත් කියනවා දිලීරයක් නෙවෙයි සත්තු වගයක් ඉන්නේ කියලා. ඒ ගොල්ලෝ කියනවා බෙහෙත් ගහන්න කියලා. අපිත් කඩෙන් බෙහෙත් ගෙනල්ලා ගහනවා. එක අක්කරයකට තෙල් ගහන්න රුපියල් විසිපන්දහක් විතර ගිහින් තිබෙනවා. තවත් අක්කරයකට රුපියල් හතළිස් පන්දහක් විතර ගිහින් තිබෙනවා.

මේ කන්නෙ අක්කර තුනක් මම වගා කළා. කන්න තියාගෙන හිටපු වී ඇටය විකුණලා රත්තරං බඩු උකස් කරලා දින පනහක් වෙනකොට නව වතාවක් තෙල් ඉහලා තිබෙනවා. මගේ ජීවිතයට මේ වගේ ලෙඩක් දැකලා නැහැ. රුපියල් පනස් දාහක් විතර තෙල්වලට වියදම් කරලා තිබෙනවා.

මීට ඉස්සරත් මේ වගේ වෙනත් රෝගයක් ඇවිත් කුඹුරැ විනාශ වුණා. රක්ෂණයෙන් ආධාර දෙනවා කිව්වා. රක්ෂණයත් නැහැ. අපි ජීවත් වෙන්නෙ මේක කරලා ගන්න අස්වැන්නෙන්. මෙහෙම විනාශ වෙනවා කියන්නේ අපි අනාතයි කියන එකයි. අපට දැන් කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ තෙල් බීලා මැරෙන්න වෙන්නෙ. ඒකටත් සල්ලි නැහැ.

ඩී.එම්. මහින්ද හේරත්-

මල් අවදියේ ඉඳලා මේ රෝගයට බෙහෙත් කළා. හරි ගියේ නැහැ. ඊටපස්සෙ තමයි බතලගොඩ කෘෂි පර්යේෂණ නිලධාරී ඇවිත් තෙල්වර්ග හඳුන්වලා දීලා තෙල් ඉහින විදිහ උපදෙස් දිලා ගියා. ඒවා කරන්න අපේ අයට සල්ලි නැහැ. මොකද ඒ තෙල් ගන්න තරම් අපට වත්කමක් නැහැ. කිව්ව විදිහට එකවර කුඹුරැ යායටම තෙල් ගැහැව්වේ නැතිනම් කරන වැඩෙන් වැඩකුත් නැහැ. ඒ නිසා අතහැරලා දාන්න වෙලා තියෙන්නේ. ණයට හරි රජය මැදිහත් වෙලා තෙල් අරගෙන දෙනවා නම් මොනවා හරි දෙයක් කර ගන්න පුළුවන්.

ඩී.එම්. පියල්- 

අපේ ගොවියො හරිම අසරණ වෙලා ඉන්නෙ. නියං රකුසාට බිලිවෙලා වගා කරන්න වතුර නැතුව කන්න හතරක් වී ඇටයක් නැතිව ඉඳලා තමයි හොඳ අස්වැන්නක් ගන්න බලාගෙන වගා කළේ. ඒකත් නිකං හිනයක් විතරක් වුණා. කියන්න දේයකුත් නැහැ කියලා වැඩකුත් නැහැ. මොකද අහන්න කෙනෙක් ඉන්නවා නම් කියලා වැඩක් වෙනවා. කාට කීවත් ගොවියාගේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලැබෙන්නෙ නැහැ. උඩ ඉන්න දෙවියො තමයි අපි ගැන බලන්න ඕනා. අපිවත් දැන් සුනාමියට අහුවෙලා වගේ තමයි.

 රෝවන් පෙරේරා - පුත්තලම

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00