අපේ රටට පළමුව අවශ්‍ය වන්නේ සාමකාමී සහ ශීලාචාර දේශපාලන පසුබිමකි. දෙවනුව අවශ්‍ය වන්නේ ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවකි. තෙවනුව අවශ්‍ය වන්නේ ආර්ථිකය හා සමාජය ගොඩනගන ප්‍රතිපත්ති හා සැලසුම්ය. මේ සියල්ල ගොඩනැගිය හැක්කේ අලුත් ප්‍රවේශයක් ඔස්සේය. අලුත් ප්‍රවේශය නම් මහ මැතිවරණයයි. මහ මැතිවරණයකින් බලයට පත්වන ආණ්ඩුවකට කිසිවකුටත් අභියෝග කළ නොහැක. ඒ එය මහජන ආණ්ඩුවක් බැවිනි. මහජනයා ඉදිරියට යාමට දේශපාලකයන් බිය විය යුතු නැත. මැතිවරණයකදී මහජනයා නියම තීන්දුව ලබා දෙනු ඇත. එවිට බල තරගයක් ඇති නොවේ. පොදු සමාජය නිරීක්ෂණය කළ ද පෙනී යන්නේ ඉක්මන් මැතිවරණයක් පිළිබඳ අදහස ටික කලක සිට වර්ධනය වන බවය. මහජනයාගේ අදහසට පාලකයන් ගරු කළ යුතුය. එය ප්‍රජාතාන්ත්‍රීය ලක්ෂණයකි.
ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජන ඡන්දයෙන් පාලකයන් තෝරාගැනීම යන්න විග්‍රහ වී ඇත්තේ "නිදහස් ඡන්දයෙන් සීමිත කාලයක් සඳහා යහපත් පාලකයන් තෝරා ගැනීම" යනුවෙනි. සීමිත කාලයක් යන්න ඉතා වැදගත්ය. නියමිත කාලයට තනතුරු අත්හැරීම, නියමිත කාලයට ඡන්ද පැවැත්වීම යන වැදගත් සාධක දෙක සීමිත කාලයන්හි යටි අරුත වේ. අමෙරිකාවේ ජනාධිපතිවරු පමණක් නොව මන්ත්‍රීවරු ද නියමිත කාලයේදී පත්වෙති. නියමිත කාලයේදී පිටව යති. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වැනි රටවල් ද මීට නිදසුන් ලෙස ගත හැකිය. වඩාත් වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යයට මුල් තැන දීමය. ජනතා පරමාධිපත්‍යය සියලු බලයන්ට ඉහළින් පවතින බව ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගැනීම වේ.
අපේ රටේ දකුණේ ජනතාව පැවති ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචන එල්ල කරන්නට වූයේ (දින සියයේ) අවසානයත් සමඟය. ඉක්බිති ජනතාවගේ කලකිරීම වර්ධනය වූවා මිස අඩුවක් වූයේ නැත. දේශපාලකයන්ගේ ප්‍රධාන කාර්යභාරය විය යුත්තේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය කර ජනතාවට සහන සැලසීමය. එහෙත් පසුගිය කාලය තුළ එය සිදු වීදැයි යන්න ගැන විවිධ මතවාද පවතී. මහජනයාට ආණ්ඩු වෙනසක්, ආර්ථික වෙනසක් මෙන්ම ප්‍රතිපත්තිවල වෙනසක් ද අවශ්‍ය වී ඇති බව ඇතැම් පාර්ශ්වවල මතය වෙයි. දියුණු රටවල් ආණ්ඩුවක මධ්‍යම වයසේදී ද මැතිවරණ පවත්වා මහජන මත ලබා ගනී. නමුත් අපේ රටේ පැවැත්වීමට නියමිත අන්තර්කාලීන මැතිවරණ නොපැවැත්වීම බරපතළ වරදක් බව පෙන්වා දීම අවශ්‍යය.
අපට සර්වජන ඡන්ද අයිතිය ලැබුණේ 1931දීය. එම අයිතිය කිසිවකුටත් සොරාගත නොහැකිය. එය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වන ඕනෑම දෙයක් හැඳින්විය හැක්කේ ජනතා ද්‍රෝහී ක්‍රියාවක් හැටියටය. නොඑසේ නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් හැටියටය.
භික්ෂු සංවිධාන කිහිපයක් ද පෙන්වා දී තිබුණේ මහ මැතිවරණයක් වහාම පැවැත්වීම බුද්ධිමත් තීරණයක් බවය. ජනාධිපතිවරයාගෙන් මේ ගැන ඉල්ලීම් කිරිමට ද ඇතැම් ආගමික නායකයෝ ක්‍රියා කළහ. රටේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා මහ මැතිවරණයකට අවශ්‍ය මූලික කටයුතු සඳහා පියවර ගත්තේ ඉන්පසුවය. නමුත් ධූරයෙන් පහ කළ අගමැති නියෝජනය කරන එ.ජා.පෙ ඇතුළු දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක් ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය.
එහිදී තීන්දු වූයේ ආණ්ඩුව බලයට පත් වී වසර හතරහමාරක් ගත වීමට පෙර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සම්මතයකින් තොරව මහමැතිවරණයක් පැවැත්විය නොහැකි බවය.
මේ වනවිට පළාත් සභා හයක නිල කාලය අවසන් වී ඇත. ඉතුරු පළාත් සභා තුනෙහි නිල කාලය ද තවත් නොබෝ කලකින් අවසන් වීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව තවත් වසර එකහමාරක් පමණ යනතුරු මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකිය. එසේ වුවද මහ මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය බවට මත පළ කරන පිරිසක් ද වෙති. පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂ කිහිපයක්ද, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද කියා සිටින්නේ මහ මැතිවරණයක් අවශ්‍ය බවය. නමුත් පිරිසක් එයට විරෝධය පළ කරති.
මේ මොහොතේ මහමැතිවරණයක අවශ්‍යතාවය පිළිබඳව දේශයේ අපි ජනතාවගෙන් සහ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගෙන් මත විමසීමක් කළෙමු.
රටට දැන් අවශ්‍ය සමාජවාදී ව්‍යාපාරයක්
සේනාධි - හික්කඩුව
"ඇත්තටම මේ රටට දැන් අවශ්‍ය වන්නේ මැතිවරණ ක්‍රමයක් නෙවෙයි. සමාජවාදී ව්‍යාපාරයක්. මොකද මැතිවරණ මොන ආකාරයකට පැවැත්වුවත් බලයට පැමිණෙන්නේ දැන් ඉන්න පිරිසම තමයි. ඒ අය නැවත නැවත කුමන පක්ෂයක් බලයට ආවත් දකින්නට ලැබෙනවා. එහෙම වුණාම මේ රට සංවර්ධනය වීමක් දැක ගැනීමට ලැබෙන්නේ නෑ. මේ ක්‍රමය වෙනස් කළ යුත්තේ මේ ජනතාව විසින්මයි. ඒ නිසා දැන් ජනතාව බුද්ධිමත්ව හිතන්න ඕන කාලය එළඹිලා තියෙනවා. ජනතාව මේ රට ගැන හිතලා තීරණයක් ගත යුතුයි කියන මතයේ මම ඉන්නවා. එසේ නොමැති වුවහොත් කිසිම ආකාරයකින් මේ රට ගොඩ ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මැතිවරණයකට වඩා සමාජවාදී ව්‍යාපාරයක් මගින් තමයි මේ යන ක්‍රමය දැන් වෙනස් කළ හැක්කේ.
හැකි ඉක්මනින් මහ ඡන්දයක් ඕනෑ
මෙරිල් - මොරටුව
අපිට මේ වෙනකොට අවශ්‍ය වෙලා තියෙන්නේ ඡන්දයක්. එය වෙන කිසිවක් නෙවෙයි, පාර්ලිමේන්තු මැතිවරණයක් තමයි පැවැත්විය යුත්තේ. දැන් රට එන්න එන්නම අගාධයටම යන බවක් තමයි පේන්න තියෙන්නේ. රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටිලා තියෙන්නේ. මේ බලයට පැමිණි ආණ්ඩුව ඡන්දයට කලින් ලබාදුන් එක පොරොන්දුවක් ඉටු කළේ නෑ. ජනතාවට කිසිදු සහනයක් ලබා දුන්නෙත් නැහැ. මේ පාලන බලය වෙනස් කිරීමට දැඩි අවශ්‍යතාවයක් මේ රටේ ජනතාවට උවමනා වෙලා තියනවා. ඒක අපිට මේ සිදුවන දේවල් දිහා බැලුවම පේනවා. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කළ යුතුයි කියන මතයේ මම ඉන්නවා. හැකි ඉක්මනින් ජනතාවගේ අදහස්වලට ගරැ කරලා ජනතාවගේ අයිතියක් වන මැතිවරණයක් ඉක්මනින්ම ලබා දිය යුතුයි.
අර්බුදය ඉවරයි: මහ ඡන්දයක් එපා
විතානාරච්චි - කොළොන්නාව
දැන් මේ පසුගිය මාස එකහමාරක විතර කාලයක් රට තුළ තිබුණු අර්බුදය මේ වනවිට විසඳිලා තියෙනවා. නැවත මහ මැතිවරණයක් තැබීමේ අවශ්‍යතාවක් ඇත්තටම නැහැ. 30කට අඩු නව කැබිනට් මණ්ඩයක් මේ වනවිට පත්වෙලා තියෙනවා. ඒ ගෙවුණු මාස එකහමාරක කාලය තුළ රටේ සිදුවී තිබූ ආර්ථිකය මේ නව කැබිනට් මණ්ඩලය, ආණ්ඩුව ඒ කටයුතු සිදු කරයි. මොකද ඒවා වසර එකහමාරක් තියාගෙන තමයි ආණ්ඩුව විසිරවීමට ජනාධිපතිවරයා කටයුතු කළේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සාධාරණය ඉටු වුණා. ඉතින් දැන් මේ රටේ හැමෝම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නවලා තියනවා. ඒ නිසා නැවත මහ මැතිවරණයක් අවශ්‍ය නැහැ. වසර එකහමාරක් යනකම් අපි නම් හිතන ආකාරයට මේ පවතින ආණ්ඩුව හොඳයි. අලුතින් මැතිවරණ තියලා ආණ්ඩුවක් පත් කිරීමේ උවමනාවක් නැහැ.
නිසි කාලයට පෙර අවශ්‍ය නෑ
සිවරාජ් - යාපනය
දැන් පවතින ආණ්ඩුව හොඳයි ආයේ ඡන්දයක් තියලා අලුත් ආණ්ඩුවක් පත්කර ගන්නවට වඩා. දෙමළ ජනතාව වෙනුවෙන් මෙන්ම උතුරේ තිබෙන ප්‍රශ්න ගැන මේ අය හොයලා බැලුවා. අනිත් කිසිම ආණ්ඩුවක් මගින් නොකරපු සංවර්ධනයක් මේ අය උතුරට කළා. අයේ ඡන්දයක් තියන්න උවමනාවක් ඇත්තටම නැහැ. දැන් මේ විදිහට නිතරම ඡන්දය පවත්වන්න ගියාම ඒ මිනිස්සුන්ට නිසි ආකාරව තමන්ගේ රස්සාවක්වත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම කියන්නේ නැවත නිසි කාලයක් එනකම් ඡන්දයක් තැබීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ.
ජනතාවට දැන් ඕනෑ මහ ඡන්දයක්
කල්‍යාණි - කළුතර
අනිවාර්යයෙන්ම නැවත මහ මැතිවරණයක් හැකි ඉක්මනින් පැවැත්විය යුතුයි. අවුරුදු තුනහමාරක කාලයක් මේ පැවති යහපාලන ආණ්ඩුවෙනුත් දැන් මේ බලයේ ඉන්න ආණ්ඩුවෙනුත් ජනතාවට කෙරුණෙත් නැහැ. ඉදිරියට කෙරෙන්නෙත් නැහැ. ජනතාවට දරාගන්න බැරි විදිහට බදු බර ගහලා ජනතාව පුදුමාකාර අමාරුවකින් අද ජීවත් වෙන්නේ. මේ අයට ඕන ඒ අයගේ හිතවතුන් පෝෂණය කරගන්න විතරයි. වෙන කිසිම දෙයක් ඔවුන්ට අදාළ නැහැ. මීට අවුරුදු පහ හයකට කලින් තිබුණු සියලුම දේවල් අද වෙනකොට අහස උසට ගණන් ගිහිල්ලා තියනවා. ඒ වගේම තමයි අපි වගේ සාමාන්‍ය ජනතාවට මේ යන විදිහට මේ රටේ ඉන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙමින් පවතින්නේ. ඒ නිසා අර පසුගිය මාස එකහමාරක කාලය තුළ තිබුණා වගේ ආණ්ඩුවක් තිබුණානම් හොඳයි. ජනතාවට දැන් ඕන වෙලා තියෙන්නේ ඡන්දයක්. ඒ නිසා මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ඡන්දයකින් කියලා තමයි මගේ අදහස.
රජය තෝරන අයිතියි ජනතාවට දැන් දිය යුතුයි
ඒ. විතානගේ - අනුරාධපුරය
මේ පවතින ආණ්ඩුව අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුයි. ඒ නිසා ජනතාවගේ අයිතිය කියලා ඒ අයම කියන ඡන්දය අපිට ලබා දෙන්න. ඊට පස්සේ පුළුවන් තීරණය කරන්න මේ අය සිටිය යුතුයි ද නැද්ද කියන එක. මේ රටේ ජනතාවට මේ ආණ්ඩුව දැන් එපා වෙලා තියෙන්නේ. පොඩි මිනිස්සුන්ට කිසිම සහනයක් දුන්නේ නැහැ. විශේෂයෙන්ම අපි ගෘහණියෝ. ඒ නිසා ගෙවල්වල තිබෙන අඩුපාඩු සියල්ලම දන්නේ අනිත් හැමෝටම වඩා අපි. ඒ නිසා මේ ආණ්ඩුව බලයට පත්වුණු දවසේ පටන් කිසිම සහනයක් ලබාදීමට කටයුතු කළේ නැහැ. හැමදේම මිල වැඩි වුණා විතරයි. මිල අඩුවීමක් සිදු වුණේ නැහැ. ජනතාවගේ මනාපයෙන් තමයි මොවුන් මේ පාර්ලිමේන්තුවට යන්නේ. ඒ නිසා ජනතාවට මීට අවුරුදු තුනහමාරකට කලින් වුණ ඒ වැරුද්ද නිවැරදි කරගන්න දැන් වුවමනා වෙලා තියෙනවා. මමත් ඒ වැරැද්ද කරපු කෙනෙක් මේ යහපාලනයට ඡන්දය දීලා. ඒ නිසා අපිට ඕන දැන් ඉක්මනින්ම මහ මැතිවරණයකට යන්න.
ඡන්දෙ ඕනැ වෙලා තියෙන්නේ ඒකාබද්දෙ මන්ත්‍රීවරුන්ට
එරන්ද - අලුත්ගම
මේ වෙලාවේ මහමැතිවරණයකට යනවා කියන්නේ රටේ තියන ආර්ථිකය තවත් පහළට යනවා කියන එක. මොකද මහමැතිවරණයකට වියදම් වෙන සල්ලිවලින් මේ රටේ ආර්ථිකය උඩට ගන්න යම් වැඩ කොටසක් කළ හැකියි. ඒ වගේම දැන් ජනතාවට මහ මැතිවරණයක අවශ්‍යතාවයක් නැහැ. හොඳ ස්ථාවර රටක් මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා නැවත මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි. ඒ නිසා ඒ කාල සීමාවෙන් පසුව මැතිවරණයක් පැවැත්විය යුතුයි. ඒ නිසා ඒ කාල සීමාව ඒ වකවානුව එනකම් හිටියනම් හොඳයි. ජනතාවට නෙවෙයි දැන් මැතිවරණයක අවශ්‍යතාවය තියෙන්නේ මේ ඒකාබද්ධයේ ඉන්න විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට. ඔවුන් අපිට කරපු දේවල් පසුගිය කාලයේ අපි දැක්කා. ඒ නිසා මේ ආණ්ඩුවේ කාල සීමාව ඉවර වුණාට පස්සේ හැර ඊට කලින් මහ මැතිවරණයක් අවශ්‍ය නැහැ කියන එක තමයි අපේ මතය.
රට ස්ථාවර වෙන්නේ මහ ඡන්දයකින්
රාමලිංගම් - අකුරුස්ස
ඇත්තටම මගේ අදහස තමයි දැන් රට ස්ථාවර වෙලා තියනවා කිව්වත් එහෙම පේන්න නැහැ. රට තුළ අභ්‍යන්තරයේ විශාල අර්බුදයක් තියනවා. මේ අර්බුදයෙන් රට ගොඩගැනීමට හැකියාවක් පවතින්නේ මහ මැතිවරණයක් පැවැත්වීම හරහා පමණයි. මේ ආණ්ඩුව මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට කලිනුත් පැවසුවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා කියලා. එහෙනම් අපි කියන්නේ හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වන්න. එතකොට බලාගන්න පුළුවන් වෙයි ජනතාවගේ තීරණය කුමක්ද කියලා.
රටේ සියලු දෙනාගේම ඉල්ලීම මහ ඡන්දයක්
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරැද්ධ (ඒකාබද්ධ විපක්ෂය)
මේ රටේ විශාල පිරිසකගේ, ජනතාවගේ, මහා සංඝරත්නයේ, විද්වතුන්ගේ, විශාල පිරිසකගේ ඉල්ලීම වෙලා තියෙන්නේ මේ අවස්ථාවේ මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි යන්න. නමුත් මේ වර්තමාන ආණ්ඩුව ඡන්දවලට මුහුණ දෙන්න තියන බය නිසා ජනතාවගේ ඒ ඉල්ලීම ඉටුවෙයි කියලා අපිට හිතන්න අමාරැයි. නමුත් මොවුන් දේශපාලන වේදිකාවල ඒ වගේම රටේ අනෙකුත් ස්ථානවල පවසන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනවා, ජනතා ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනවා කියලා. එහෙමනම් දැන් ජනතාව ඉල්ලන්නේ මහමැතිවරණයක්. ඒකට යමු.
ඊට පස්සේ එන තීරණය රටට ජනතාවට බලා ගැනීමට හැකියාවක් පවතිනවා. නමුත් ඉර හඳ වගේ විශ්වාසයක් තියනවා මොවුන් කිසිම වෙලාවක මහ මැතිවරණයකට යන්නේ නැහැ. පසුගිය පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල එක්ක ඔවුන් මහ මැතිවරණයකට යයි කියලා අපිට විශ්වාස කරන්න අමාරුයි. ඒ නිසා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලන එකම ඉල්ලීම තමයි ඡන්දයකට බය නැත්නම් ඡන්දයක් තියන්න සූදානම් වෙන්න. අපි ඡන්දයට බය නැහැ, ඕනෑම වෙලාවක ඡන්දයට සූදානම් කියලා. අන්න එතකොට අපි පිළිගන්නවා ඔවුන් ඡන්දවලට බය නැහැ කියන කාරණාව. අපි විපක්ෂය විදිහට ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම්.
මහ ඡන්දයක් ඉල්ලන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අයයි
කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා
දැන් මේ වනවිට මහජනතාවට වඩා මේ මැතිවරණයක අවශ්‍යතාවයක් දැනිලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අයට. ජනතාව නෙවෙයි මොවුන් තමයි මේ ජනතාව අතරට ගිහින් මැතිවරණයක් උවමනායි යනුවෙන් හඬ නගන්නේ. එසේ නොමැතිව ජනතාව නෙවෙයි. අනික මේ රටේ ආර්ථිකය පසුගිය මාස එකහමාරක කාලය තුළ හොඳටම කඩාගෙන වැටුණා. විදෙස් රටවලින් ආධාර දෙන එක පවා නතර කළා. මේ රට සම්පූර්ණ අස්ථාවර වෙලා තිබුණේ. මේ වෙලාවෙම ඡන්දයක් පැවැත්වුවහොත් මැතිවරණ වියදම දරන්නත් වෙන්නේ මේ රටේ ජනතාවටම තමයි. ඒ නිසා තව වසර එකහමාරක කාලයක් තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න. ඊට කලින් පළාත් සභා 06ක්, ජනාධිපතිවරණයක් පවත්වන්න පුළුවන්. අපි නිසි ආකාරයට මේ මැතිවරණ පැවැත්වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න පුළුවන්. මුලින් ජනාධිතිවරණය තියන්න. ඊට පස්සේ අපි සූදානම් ඕනෑම මොහොතක මහ මැතිවරණයකට යන්න. අපි එක්සත් ජාතික පක්ෂය මැතිවණයකට බය පක්ෂයක් නෙවෙයි. අපි සූදානම් ඕනෑම අවස්ථාවක මැතිවරණවලට මුහුණ දෙන්න. හැබැයි නිසි ක්‍රියා පටිපාටියකට අනුව.
විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමයි වැදගත්
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස
රටේ ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා මැතිවරණ පැවැත්විය යුතුයි. ඒ සඳහා මුලින්ම කළ යුතු වන්නේ 2015 ජනාධිපතිවරණයේ පොරොන්දු අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. 2019 වසරේ මුලින්ම කරනවානම් කළ යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනමත විචාරණයකට යාමට ජනතාවට අවස්ථාවක් ලබාදීමයි. මොකද කලින් දීපු පොරොන්දු ඉටු කරන්නේ නැතුව අලුත් මැතිවරණවලට යාමෙන් පළක් වෙන්නේ නැහැ. ඒ මැතිවරණවලින් කරන්නෙත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන එක. ඒ නිසා අපේ අදහසනම් ඊළඟට කළ යුත්තේ විධායකය අහෝසි කරන ජනමත විචාරණයකට යන එක.
සටහන - හසිත් අංජන
ඡායාරූප - සුමුදු හේවාපතිරණ