මම තවමත් හරි තේරුමක් හොයන වචන දෙකක් තියෙනවා. ඒ තමයි ආදරය හා නිදහස... නිදහසේ ආදරය විඳින්න තියෙනවනම් ඒක තරම් ප්‍රීතිමත් දෙයක් තවත් තියෙනවද? ඔයාට හිතෙන්නේ එහෙමද? මට හිතෙන්නේ එහෙම නෙවෙයි.. ආදරය ආදරයෙන් විඳින්න තියෙනවනම් ඊටත් වඩා දෙයක් තියෙනවද? මට හිතෙනවා මිනිස්සු හුඟදෙනෙක් ආදරය හා ජීවිතය හිඟා කනවා කියලා. හිඟා කද්දී දැනෙන අසරණකම හදවතට හරි බරක් වගේම රිදුමක්. මහා සාගරයක් වගේ ප්‍රේමයක් දන්දෙද්දී ඉදිකටු තුඩක් තරම් ප්‍රේමයක් සැලකිල්ලක් ලැබෙද්දීත් වරෙක හිත කොනිත්තන්නේ එහෙම හැඟීමක්...
ප්‍රේමය සම්මතද අසම්මතද කියන වර්ගීකරණයට ඔයා එකඟද.. සංස්කෘතිය කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රකෘතිය මරලා ඒ මත ඇති කළ විකෘතියක් කියලා මට හිතෙනවා. ඒ සංස්කෘතිය තමයි ප්‍රේමය සම්මත අසම්මත කියලා වර්ග කරන්නේ... මට හිතෙන්නේ ප්‍රේමය විතරක් නෙවෙයි ලෝකයේ කිසිම දෙයක් සම්මත අසම්මත කියන වර්ගීකරණය ඇතුළේ අපිට වර්ග කරන්න බෑ. සොබාදහම ඒ බෙදීම් ප්‍රතික්ෂේප කරනවා කියලා මට හිතෙනවා. ඇයි අපි ස්වභාවධර්මයට පිටුපාන්නේ.. ස්භාවධර්මයට එරෙහිවෙන ගමන් ඇයි අපි ස්වභාවධර්මයට ආදරය කරන මිනිස්සු කියලා බරපතළ මුසාවක් කියන්නේ..
අපි සමරිසි නැත්නම් සමලිංගික ඇසුර හුඟක් පිළිකුලෙන් හෙලා දකින සමාජයක්.. ඒක මේ සමාජයට අනුව මහා වරදක්.. කෙනෙක්ගේ සිරුර සහ ලිංගික අවයව අයිතිය තියෙන්නේ ඒ පුද්ගලයාට.. ඒ අවයව බෙදා ගන්නේ සමලිංගිකයෙක් එක්කද විෂම ලිංගිකයෙක් එක්කද කියන එක ඒ පුද්ගලයාගේ තීරණයක්.. ලෝකයේ පැවැත්ම තීරණය කරන්නේ උපත කියන සාධකය මත.. ඒ ලෝකයේ පැවැත්ම උදෙසා මානව වර්ගයා වඳ නොවීම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස පිළිගන්න නිසා.. ලෝකයේ පැවැත්ම උදෙසා මානවයාගේ පැවැත්ම අත්‍යවශ්‍ය වෙන්නේ කොහොමද? මට හිතෙන්නේ මේ මිහිමත වාසය ආරම්භ කළ දවසේ පටන් මිනිස්සු කළේ මේ මහා පොළොවට වින කටින එක... එහෙව් චින්තනයක් කරපින්නාගත් මානවයා කොහොමද අපි විශ්වයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් කියන නිගමනයට එන්නේ.. වැනසුමක් සහිත සත්වයෙක් කොහොමද මහා පොළොවේ ජීවනය උදෙසා උරහිස දන්දෙන්නේ... මට හිතෙන්නේ බොරුව රැවටිල්ල කියන්නේ මානව සම්භවයේ සිට ජානගතව ලොව සියලු මානවයන් අඩු වැඩි වශයෙන් අරගෙන එන සිතුවිලි ප්‍රපංචයක්. එහෙත් ශිෂ්ටාචාරගත වීම කියන මහා සම්ප්‍රදායට අයත් මානව වංශ කතාවේ නිර්මාණාත්මක මුසාව නම් ඝන පොරෝණය තුළ මිනිසා තමන්ගේ සකල විධ දුශ්චරිතයන් සොහොන් ගත කරන්න උත්සාහ ගත්තා.. ඒත් සොහොන් කොත් පසාරු කරගෙන ඒ දුර්ගන්ධ අඳුරැ සිතුවිලි ප්‍රවාහයන් ආයෙත් අවධි වෙනවා අන්ධකාරයේදී සහ අතිශය හුදෙකලාවේදී.. ලෝකය ඉදිරියේ මහත්වරු සහ නෝනාවරු ඒ ලෝගු උනා දමන හැම මොහොතකම මනුස්සකම කියලා දෙයක් ඇත්තටම තියෙනවද කියලා අපි අපෙන්ම ප්‍රශ්න කරන්නේ ඒකයි එක මොහොතකදී..
ඔබ දෙවියන් විශවාස කරනවානම් සොබාදහමට කිට්ටු වෙන්න.. සොබාදහම තමයි ඒ දෙවියන්.. ඔබ දෙවියන්ට ආදරය කරනවානම් සොබාදහමට ආදරය කරන්න. සොබාදහම තමයි ඒ දෙවියන්.. ඔබ දෙවියන්ට නමස්කාර කරනවානම් ඔබ සොබාදහමට නමස්කාර කරන්න. සොබාදහම තමයි ඒ දෙවියන්.. ඔබ සොබාදහමට ගරු කරනවානම් ප්‍රකෘතියට ඉඩ දෙන්න.
ප්‍රකෘතිය තමයි ඒ දෙවියන්...