2019 ජනවාරි 19 වන සෙනසුරාදා

ටොයිලට් තියෙනවද?

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

මේකත් අපේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් දර්ශන තලයක විවේකීව ඉන්න වෙලාවක කියපු කතාවක්. කිව්වෙනම් ඇහැටම දැක්ක දෙයක් කියලා තමයි, ඒත් ඒකෙ ඇත්ත නැත්ත අපි දන්නෙ නැහැ.

ඔන්න ගම් පළාතකින් කොළඹ රාජකාරියකට ආපු මනුස්සයෙක් එකපාරටම කොළඹ ජනාකීර්ණ වීදියක ඩී.වී.ඩී. කඩේකට හදිසියෙන් රිංගලා ඇහුවලු ටොයිලට් තියෙනවද? කියලා.
අදම අවශ්‍යද? හෙට ලැබුණොත් මදිද? කියලා කඩේ අයිතිකාරයා අර මනුස්සයගෙන් ඇහුවලු.

අනේ බුදු මහත්තයෝ. උදේ කොළඹ කඩේකින් කාපු කෑම අප්සෙට් වෙලාද කොහෙද, මට දැන්ම ඕනෙ. විහිළුනම් කරන්න එපා, අර අහිංසක මනුස්සයා කිව්වලු.
බැලින්නම් අර වී.වී.ඩී. කඩේ අයිති කෙනා හිතලා තියෙන්නෙ අර ටොයිලට් කියලා ආපු හින්දී ඩී.වී.ඩී. චිත්‍රපටය හොයාගෙන ඇවිත් කියලා.

 

ඇණේ හලපු හැටි

ෂූටිං ඉවරවෙලා බණ්ඩාරගම නගරෙ ඉඳලා මේ නළුවා කොළඹට එන්න පිටත් වුණේ තමන්ගෙම වෑන් එකේ. වෙලාව රෑ 12ත් පහුවෙලා. සෙට් එකේ හිටපු මේක් අප් ආටිස්ට්ගෙ ගෝලයෙකුත් මෙයත් එක්ක කොළඹට එන්න වෑන් එකට නැග්ගා.
කිලෝමීටර් පහක්වත් එන්න ලැබුණෙ නැහැ, මැදිවියේ මනුස්සයෙක් වාහනේට අත දැම්මලු.

අනේ මහත්තයෝ මාව පිළියන්දල හන්දියෙන් දානවද? පින් සිද්ධ වෙයි.
නළුවත් මේ අහිංසක මිනිහව දාගත්තලු වෑන් එකට. 

ඔන්න බැගෑපත්වෙලා වෑන් එකට නැග්ග අර මිනිහා ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තලු.
මොකද්ද අයිසෙ මෙහෙමද එලවන්නෙ? පාර හිස්වෙලා තියෙද්දිත් පාගන්න ලජ්ජද? බයද?
මිනිහගෙ නෝණ්ඩි ටෝක්ස්වලට දැන් නළුවට මළ පැනලලු. අර ගෝලයා කියනවා මගින් බස්සලා යමු කියලා. බැලින්නම් මිනිහා කට ගොන්නක් බීලා.
ලොකු උන්නැහෙ පාටියකට ගිහින් එන ගමන් වගේ.

තමුසෙට ඒකෙන් වැඩක් නැහැනෙ. මාව පිළියන්දල ටවුමෙන් බස්සනවා.
දැන් නළුවගෙ රතු කට්ට පැනලා. එකපාරටම ක්රාස්..ස්* ගාලා බ්රේක් එකක් ගැහුවලු. අර මනුස්සයා හොල්මන් වෙලා.
ලොකු උන්නැහෙ විනාඩියක් දෙන්න මට සුළුදිය පහකරන්න ඕනෙ. ඉක්මනින් එන්නම්, කියලා නළුවා වාහනෙන් බැස්සලු.
අනේ මටත් බරක් තියෙනවා, මාත් එනවා, කියලා අර මනුස්සයත් වාහනෙන් බැස්සලු.
නළුවා ඉක්මනින්ම වාහනේට නැඟලා දොර වහගත්තලු.

ලොකු උන්නැහෙ ඔය පරණ සින්දුවක් කිය කියා පිළියන්දලට පයින්ම එන්නකො, කියලා අර නළුවා කිව්වලු.

 

කොහොමද මගෙ වැඩ?

කොළඹින් ඈත පුංචි ටවුමක චිත්‍රපටයක් රූපගත කරමින් තිබුණා. මැර කණ්ඩායමක් පසුබිම් කරගෙන ගෙතුණු මේ කතාවෙ දර්ශන විශාල ගණනාවක් තිබුණේ බීම හලක්, ඒ කියන්නෙ බාර් එකක් ඇතුළෙ.
වෙනම බාර් එකක් ප්‍රතිනිර්මාණය කරනවාට වඩා ටවුමෙ තිබුණු බාර් එකක් මේ වැඩේට තෝරාගත්තා. ඒත් බාර්වලට එන එක එක අයියලගෙ සයිස් නිසා ෂූටිං වැඩේ බකල් නොවී තියන්න ඒ ගමේම හැඩිදැඩි මනුස්සයෙක් බාර් එකේ සිකුරිටි හැටියට යොදවාගත්තලු දවස් 5කට.

මේ මනුස්සයාගෙ වැඩ ගැන පැහැදීමක් නැති වුණත් සහාය අධ්‍යක්ෂකවරයා මෙයාට කිව්වලු පැය හතරක් පහක් බාර් එකේ ඉඳලා බලන්න කියලා.
ඔන්න එකපාරටම මේ හැඩිදැඩි මනුස්සයා බාර් එකේ හිටිය මිනිහෙක්ව බෙල්ලෙන් ඇදලා එළියට දැම්මලු.
සහාය අධ්‍යක්ෂකට හීන් දහඩිය දැම්මලු.

තමුසෙ මොනවද ඒ කළේ..?

නෑ සර් මේ මිනිහා වටපිට බල බල ඔත්තු බලාගෙන හිටියෙ, කොහොමද මගෙ වැඩ?
වැඩ? වැඩ නෙවෙයි තමුසෙට තමයි වැඩ නැතිවෙන්නෙ. තමුසෙ එළියට ඇදලා දැම්මේ මේ චිත්‍රපටයෙ ඩිරෙක්ටර්...

 

► Text - Mithra