අංජලී.. මතකද ඉෂාන්ව මුණගැහුණු කාලය..?
ඉෂාන්ව මට මුණගැහිලා දැන් ලොකු කාලයක් වෙනවා. අපි මුලින්ම මුණගැහුණේ එක්තරා ටෙලිනාට්‍යයකින්. ඒ ටෙලිනාට්‍යයේදීනම් අපි එච්චර ලොකුවට කතාබහ කළේ නැහැ. හැබැයි ඊටපස්සෙ අපි හොඳ යාළුවෝ වුණා.
ඉෂාන් මොනවගේ යාළුවෙක්ද..?
ඉෂාන් කියන්නෙ ඇත්තටම හොඳ යාළුවෙක්. හරිම නිහතමානීයි. ඉස්සරනම් කට ටිකක් අඩුයි. හැබැයි දැන්නම් කට ටිකක් වැඩියි. ඉස්සර අහිංසකව, තැන්පත්ව හිටපු ළමයෙක්. නමුත් දැන් ටිකක් කට වැඩිවෙලා තියෙනවා. (අංජලී එහෙම කිව්වෙනම් විහිළුවටයි) මට මේ ක්ෂේත්‍රයේ වැඩිය පිරිමි යාළුවෝ නැහැ. ඉෂාන් තමයි ඉන්න හොඳම පිරිමි යාළුවා. ඉෂාන් ඕනෑවටත් වඩා හරිම හොඳ යාළුවෙක්. අද කාලේ පිරිමි යාළුවෙක් ළඟින්ම ආශ්‍රය කරන එක හරිම අමාරු දෙයක්නෙ. හැබැයි ඉෂාන් කියන්නෙ ඇත්තටම හොඳ කෙනෙක්. අපිට ඕන දෙයක් කතා කරන්න පුළුවන්.
ඇයි අංජලීට බටුඇටේ කියන්නෙ..?
අනේ.. ඒක ඉතින් මගේ පෙනුමට කියන දෙයක්. හැබැයි ඉතින් ඉෂාන්ට කියන නම් එහෙම ප්‍රසිද්ධියේ කියන්න බැහැ. ඒ නිසා ඒ නම් මම නොකියා ඉන්නම්. (එහෙම කියලා අංජලී මහ හඬින් හිනා වුණා. හැබැයි ඒ හිනාව ඇතුළේනම් ඉෂාන්ට ලොකු නමක් තියෙන බවයි අපිට තේරුණේ.) බටුඇටේ කියන නම මට දැම්මේ කැළුම් අයියා. (කැළුම් පාලිත මහීරත්න) ඉතින්.. දැන් ක්ෂේත්‍රයේ අයත් මට ඒ නම කියනවා. ඉෂාන් නාට්‍ය කිහිපයකම මගේ ප්‍රේමවන්තයා විදිහට රඟපාලා තියෙනවා. දැන් ඉතින් සමහර වෙලාවට ඉෂාන් කියන්නෙත් ඒ නම තමයි. මොනවා කරන්නද..? ඒ අය මට වඩා ටිකක් උස වැඩියිනෙ. ඒ නිසා මට එක එක නම් හදාගෙන කියනවා.
ඉෂාන්ගේ විලාසිතා ගැන ඔබ මොකද හිතන්නෙ..?
ඉෂාන් විලාසිතා කරනවා. සමහර වෙලාවට මම ඉෂාන්ට අනේ.. බං උඹ හරියට දෙමළ නළුවෙක් වගේ කියලත් කියනවා. ඇත්තටම ඉෂාන්ට තියෙන්නෙ එහෙම පෙනුමක්. මම හිතන විදිහට දෙමළ සිනමාවට ඉෂාන් හොඳ නළුවෙක්. ඉෂාන් එක එක කාලෙට එක එක කෝලම් කරනවා.
රඟපාන අතරතුරේදී ලැබෙන විවේක වෙලාවෙදී මොනවද කරන්නෙ..?
ෂූටින් කරද්දී ලැබෙන විවේක කාලෙදී සමහර වෙලාවට ඉෂාන් පේන්නත් නැහැ. අපිට ඉතින් ඉෂාන්ව හොයාගන්න තමයි වෙන්නෙ. සමහර වෙලාවට මොකක් හරි මුල්ලකට වෙලා හොඳටම නිදි. හැබැයි රඟපාද්දීනම් ඒක උපරිම කැපවීමෙන් කරනවා. සමහර වෙලාවට මම පැත්තක වාඩිවෙලා හිටියත් ළඟට දුවගෙන ඇවිත් මචං.. බලමු ඊළඟ සීන් එක.. කියලා මට ලොකු සහයෝගයක් දෙනවා. එයාට දෙබස් හොඳටම OK වෙලා තියෙන වෙලාවට මම ළඟට ගිහින් අපි ආයේ ටිකක් දෙබස් බලමුද? කියලා ඇහුවොත් ඉෂාන් කිසිම පැකිලීමක් නැතිව හරි මචං.. හරි බලමු කියලා මට උදව් කරනවා. ඒ වගේ ලොකු සපෝර්ට් එකක් දෙන නළුවෙක් තමයි ඉෂාන් කියන්නෙ.
රඟපෑමට අමතරව ඉෂාන්ට සින්දු කියන්නත් පුළුවන්ද..?
ඔව්.. ඉෂාන්ට හොඳට සින්දු කියන්න පුළුවන්. මටනම් ඉතින් රඟපාන්න විතරයිනෙ පුළුවන්. ඒකත් ඉතින් තවම හරියට බැහැ. හැබැයි ඉෂාන් එහෙම නෙමේ. ඉෂාන්ට රඟපාන්න වගේම ගීත ගැයීමේ හැකියාවකුත් තිබෙනවා. මම හිතන විදිහට ඉෂාන්ගේ දක්ෂතාවයෙන් එයා තවම හරියට ප්‍රයෝජනයක් ගත්තෙ නැහැ. එයාට රඟපාන්න හොඳ චරිත තවම ලැබුණේ නැහැ කියලයි මම හිතන්නෙ. ඔහු හොඳ චරිතාංග නළුවෙක්. මේ මමයි ටෙලිනාට්‍යයේ මගේ ආදරවන්තයා වුණේ ඉෂාන්. ඊටපස්සෙ අපි දෙන්නා අහස ටෙලිනාට්‍යයෙත් එකට රඟපෑවා. ඒ වගේ ටෙලිනාට්‍ය තුන හතරකම අපි එකට රඟපාලා තියෙනවා.
එයාට කේන්ති යනවද..?
ඉෂාන්ට එහෙම ලොකුවට කේන්ති යනවා මම දැකලා නැහැ. අපි අනන්තවත් ඉෂාන්ට විහිළු කරනවනෙ. ඒ කවදාවත් ඉෂාන්ට කේන්ති යන්නෙ නැහැ.
මේ මිතුරුකමේ අමතක නොවන සිදුවීම් වෙලා නැද්ද..?
කැළුම් අයියා අධ්‍යක්ෂණය කරපු නිර්මාණයකට අපි දෙන්නම සම්බන්ධ වුණා. කැළුම් අයියා හරිම සුන්දර මනුස්සයෙක්නෙ. රූපගත කරද්දී වුණත් කැළුම් අයියා (කැළුම් පාලිත මහීරත්න) විහිළු කරමින් තමයි රූපගත කිරීම් කරන්නෙ. ඉතින් මහන්සියක් දැනෙන්නෙ නැහැ. ඒ වගේ වෙලාවට කැළුම් අයියාට ඉෂානුත් එකතුවෙලා මාව බයිට් කරනවා. ඉතින් ඒ රූපගත කිරීම් අමතක වෙන්නෙ නැහැ.
නිර්මාණ කටයුතුවලදී හැර ඉෂානුයි අංජලීයි උත්සවවලට යන්න, ට්‍රිප් යන්න එහෙම උනන්දුවක් නැද්ද..?
අපි යාළුවෝ වෙද්දී බොහෝ වෙලාවට තෝරාගන්නෙ අපිට සමාන ගතිගුණ තියෙන අයවනෙ. අපි එහෙම ලොකුවට පාටිවලට යන කට්ටිය නෙමේ. අපි පිළිකා රෝහලේ උත්සවයකට යද්දී ඉෂාන්ටත් කතා කළා. එයා වැඩක හිටියත් හරිම කැමැත්තෙන් ඒ වගේ දේවල්වලට එනවා. මගේ බර්ත් ඩේ එකත් එකපාරක් සැමරුවා. ඒකටත් ඉෂාන් ආවා. හිතවත්ම අයගේ උත්සවයකදීනම් අපි අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා.
එදා උපන්දිනයට ඉෂාන් ඔයාට දුන්නෙ මොනවද..?
මම පර්ෆියුම්වලට හරි ආසයි. ඒක ඉෂාන් දන්නවා. මගේ බෑග් එකෙත් පර්ෆියුම් දෙක තුනක් තියෙනවාම තමයි. ඉතින් එදා බර්ත් ඩේ එකට ඉෂාන් මට පර්ෆියුම් එකක් දුන්නා. ඒ වගේම හරි ලස්සන ඔරලෝසුවකුත් දුන්නා. ෂූටින්වලදී වුණත් මම ඉෂාන්ට මේ.. මම ගහන්නෙ ඔයාගෙ පර්ෆියුම් එක කියලා විහිළුත් කළා. හැබැයි දැන්නම් ඒක ඉවරවෙලා.
ඉෂාන් වගේ යාළුවෙක් ජීවිතේ මුණගැහුණු එක ගැන අංජලීට මොකද හිතෙන්නෙ..?
ඇත්තටම සතුටුයි. අපිට අපි නියැලෙන ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන පිරිමි යාළුවෙකුත් ඉන්න ඕනෙ. ඉෂාන් කියන්නෙ හොඳම හොඳ යාළුවෙක්. පොළොවේ පය ගහලා ජීවත්වෙන යාළුවෙක්. රඟපාද්දී විතරයි ඔහු නළුවෙක් වෙන්නෙ. සාමාන්‍ය ජීවිතේදී ඔහු බොහෝම සරල සාමාන්‍ය චරිතයක් විදිහට ජීවත්වෙන කෙනෙක්. දුකකදී වුණත් කෝල් කරලා ඉෂාන්.. මට ප්‍රශ්නයක් කියද්දී දුක අහගෙන ඉඳලා ඒ දුකට පිහිටවෙන, අඩුම තරමේ ඒ දුකේදී හිතින් හරි අපි ළඟින් ඉන්න හරිම හොඳ යාළුවෙක්.
ඉතින් ඔන්න ඔහොම තමයි අංජලී එයාගේ හොඳම යාළුවෙක් වන ඉෂාන් ගැන කිව්වේ. දැන් බලමුද ඉෂාන් මේ බටුඇටේ ගැන කියන්නෙ මොනවද කියලා.
ඉෂාන්.. අංජලීව මුලින්ම මුණගැහුණේ කොයි කාලෙද..?
අංජලී මට මුලින්ම මුණගැහුණේ 2008දී විතර. කුලියාපිටියේ තමයි ඒ රූපගත කිරීම් තිබුණේ. හැබැයි අපි අතරේ එහෙම ලොකු හිතවත්කමක් ගොඩනැගුණේ නැහැ. ඊටපස්සෙ අපි fb හරහා ටිකක් හිතවත් වුණා. ඔය හිතවත්කමත් එක්ක කැළුම් පාලිත මහීරත්න මහතා කරපු ස්නේහා ටෙලිනාට්‍යයට අංජලී මාව යෝජනා කරලා තිබුණා. ඊටපස්සෙ ඒ ටෙලිනාට්‍යයේ රඟපාන්න මටත් අවස්ථාව ලැබුණා. ඊටපස්සෙ තමයි අපි දෙන්නගේ යාළුකම ඇරඹුණේ.
අංජලී කියන්නෙ මොනවගේ යාළුවෙක්ද..?
අංජලී කියන්නෙ ඉතාමත් අවංක යාළුවෙක්. ඉරිසියාව, කුහකකම නැති යාළුවෙක්. තව කෙනෙක් තමන් පරයා ඉදිරියට යනවානම් ඒකට ඉරිසියා නොකරන හොඳ යාළුවෙක්. අලුතින් එන අයට සපෝර්ට් කරන අපූරු යාළුවෙක්.
එයාට කේන්ති යනවද..?
එහෙම කේන්ති යන්නෙ නැහැ. රඟපාන චරිත බලද්දී අංජලී දඟ චරිතයක් කියලනෙ හිතෙන්නෙ. හැබැයි අංජලී කියන්නෙ හරි අහිංසක චරිතයක්. මොකක් හරි ප්‍රශ්නයක් හිතේ තිබුණත් ඒක වැඩිය පෙන්නන්නෙ නැතිව හිනාවෙලා ඉන්න උත්සාහ කරන චරිතයක්. හොඳම යාළුවෙක් කියන්නෙ හැමදෙයක්ම කියන්න පුළුවන් විශ්වාසවන්ත යාළුවෙක්ටනෙ. අංජලී කියන්නෙත් එහෙම විශ්වාසවන්ත යාළුවෙක්. අංජි කියන්නෙ රහසක් බය නැතිව කියන්න පුළුවන් කෙනෙක්. එයා ඒ රහස හැමදාමත් රකින බව මම දන්නවා.
අංජලීට බටුඇටේ කියලද කියන්නෙ..?
ඔව්.. එයාට අපි බටුඇටේ කියලා තමයි කියන්නෙ. එයා ඉතින් කොට ඩයල් එකනෙ. රංගනයේදී වුණත් අංජලී දක්ෂයි. ඒ වගේම එයා කට්ටිය එක්ක හිතවත් නිසා වැඩ කරන්න හරි පහසුයි. කරදර නැහැ. කවුරැ එක්කවත් වලි දාගන්නෙ නැහැ. තමන්ගේ වැඩේට ඇවිත් කට්ටිය එක්ක සුහදව කතාබහ කරලා වැඩේ ඉවර වුණාට පස්සෙ එයා යනවා. එයා කාටවත් වාතයක් වෙන්නෙ නැහැ.
එයාගේ බර්ත් ඩේ එකට ඉෂාන් තෑගිත් උස්සගෙන ගියා කියලයි ආරංචිය..?
අනේ.. එහෙම ලොකු තෑග්ගක් අරගෙන ගියේ නැහැ. එයාගේ එක බර්ත් ඩේ එකකදී එයා අපිට පොඩි පාටියක් දුන්නා. ඒ මම හිතන විදිහට පාටියක් දුන්නාමද කොහෙද.. ඉතින් මමත් එදා ඒකට ගියා.
අංජලීට රහට උයන්න පුළුවන්ද..?
ඒකනම් හරියට දන්නෙ නැහැ. හොඳ වෙලාවට එදා පාටියට කේටරින් එකකින් තමයි කෑම ගෙනල්ලා තිබුණේ. නැත්නම් ඉතින් අංජලී උයන කෑමනෙ කන්න වෙන්නෙ.
ඇය කරන විලාසිතා ගැන ඔබ මොකද හිතන්නෙ..?
අංජලී එක එක විලාසිතා කරන්න සෑහෙන්න ට්‍රයි කරනවා. හැබැයි කොට නිසා කොච්චර ට්‍රයි කළත් හරියන්නෙ නැහැ. (ඉෂාන් එහෙම කිව්වෙනම් විහිළුටයි) අංජලී කියන්නෙ ඇත්තටම හරිම ලස්සන කෙනෙක්.
අංජලීට සින්දු කියන්න පුළුවන්ද..?
ගායනා කරන එක කෙසේ වෙතත් අංජලීට සින්දු කියන්න පුළුවන්. මොකද, සමහර වෙලාවට ෂූටින්වලදී ලැබෙන පොඩි කාලසීමාවකදී වුණත් අපි එකතුවෙලා සින්දු කියද්දී අංජලී අත්වැල් ගායනයෙන් අපිට උදව් වෙනවා. අංජලී තනියමනම් අපි ඉන්න තැන ගායනා කරලා නැහැ. අපි හයියෙන් සින්දු කියද්දී අංජලී කොත් අල්ලනවා.
ඇය වගේ යාළුවෙක් ජීවිතේ මුණගැහුණු එක ගැන ඔබට මොකද හිතෙන්නෙ..?
අංජලී වගේ යාළුවෙක් ජීවිතේ මුණගැහීම ගැන අවංකවම මම සතුටු වෙනවා. ෆීල්ඩ් එකේ කාන්තා පාර්ශ්වය අතරේ මට සමීපම යාළුවා විදිහට මම අංජලීව දකිනවා. පෞද්ගලික ජීවිතේ දෙයක් වුණත් මට අංජලී එක්ක කියන්න පුළුවන්. කිසිමදාක අංජලීයි මමයි තරහවෙලා නැහැ. හැබැයි සමහර වෙලාවට මාස ගාණක් අපි එකදිගට කෝල් නොකරන, හමුනොවන වෙලාවල් තිබුණා. Fb එකේ ෆොටෝ එකකට like එකක් විතරක් දාන වෙලාවලුත් තියෙනවා. හැබැයි එහෙම වුණා කියලා ඔයා කෝල් කළේ නැහැ.. ඔයා බර්ත් ඩේ එකට විෂ් කළේ නැහැ.. කියලා කවදාවත් පැමිණිලි කරන්නෙනම් නැහැ. අපි කොච්චර ඈතින් හිටියත් අපේ ඒ යාළුකම හැමදාටම එක වගේ තියෙනවා. ඉදිරියේදීත් ඒ යාළුකම ඒ විදිහටම තියෙන බව මට විශ්වාසයි.
► Text - Dishani / Pic- Internet