2019 ජනවාරි 19 වන සෙනසුරාදා

මම මාර පිම්මක් පැන්නා

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:31 256

සජිත්... අපිට මුලින්ම ඔයාගේ විස්තර ටිකක් කියන්න...?
මගේ නම ජුලියස් සජිත් පෙරේරායි. මම ඉපදුණේ කොළඹ. හැබැයි දැන් මම පදිංචි වෙලා ඉන්නේ වත්තල. මගේ තාත්තා අද ජීවතුන් අතරේ නැහැ. මම තමයි පවුලේ වැඩිමලා. මට වැඩිමහල් සහෝදරියන් තුන්දෙනෙක් ඉන්නවා. නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ මට අමතර ආදායමක් ගෙන එන රැකියාව හා විනෝදාංශයයි. මම අද වනවිට පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා. කලාවට මම ගොඩාක් ආදරෙයි.

සජිත් ඉගෙන ගත්තේ මොන පාසලේද...?
මම පාසල් තුනකින් අධ්‍යාපනය හැදෑරුවා. මුලින්ම මම ඉගෙන ගන්නේ කොළඹ ශාන්ත ලුසියා මහ විද්‍යාලයටයි. ඊට පස්සේ වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලෙනුත් අවසානයේදී කොළඹ ශාන්ත බෙනඩික් පාසලෙනුත් අධ්‍යාපනය හැදෑරුවා.

පුංචි කාලේ හීනය වෙලා තිබුණේ කවුරු වෙන්නද...?
ඇත්තටම එහෙම ලොකු හීනයක් මගේ හිතේ තිබුණේ නැහැ. හැබැයි පාසලේදී පාපන්දු ක්‍රීඩාවේ නිරත වුණු නිසාම මම පාපන්දුවලට ගොඩාක් ඇලුම් කළා. ඒ ක්‍රීඩාවේ දක්ෂතා පෙන්නුවා. ඒ නිසාම ජාතික පාපන්දු කණ්ඩායමටත් මාව තේරුණා. ඊට පස්සේ පාපන්දු ක්‍රීඩකයෙක් විදිහට මම බොහෝ දක්ෂකම් දැක්වූවා.

පාපන්දු ක්‍රීඩාවේ නියාලුණු සජිත් නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණේ කොයි කාලේදීද...?
නිරූපණ ක්ෂේත්‍රයට මම ඇවිත් දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා. ඒ අවුරුදු එකහාමාර ඇතුළත ජයග්‍රහණයන් කිහිපයක්ම ලබාගන්නත් මට පුළුවන් වුණා. මුලින්ම 2017 අගෝස්තු මාසේදී තමයි මම නිරූපණ ශිල්පියෙක් විදිහට මේ ක්ෂේත්‍රයට එකතුවුණේ. ඒ ඒමත් හරිම අහම්බයක්. මට රමණි ප්‍රනාන්දු සැලෝන් එකේදී ඉන්ජිතව මුණගැහුණා. ඔහු තමයි මට කිව්වේ “ඔයාට මොඩ්ලින් ලුක් එකක් තියෙනවා. ට්‍රයි කරලා බලන්න කියලා. ඒ වෙලාවේදීත් මම එයාට කිව්වේ මම මුලින්ම ඒ සම්බන්ධව හදාරන්න ඕනේ. කියලා. කිසිම දෙයක් නොදැන කිසිම ක්ෂේත්‍රයකට මම සම්බන්ධ වෙන්න මම කැමති වුණේ නැහැ. ඊට පස්සේ මම මේ සම්බන්ධව අධ්‍යයනය කළා. ඊට පස්සේ “Mr. Youth” ජාතික තරගයට මම සහභාගි වෙලා අනුශූරතාවය දිනාගන්න පුළුවන් වුණා.

ඉන්පසුවත් ඔබ තරග කිහිපයකටම දායක වුණා නේද...?
ඔව්... මම ඊට පස්සේ “Mr. World” ජාතික මට්ටමේ තිබෙන තරගයට සහභාගී වෙලා තරග ඉසව් කිහිපයක්ම ජයග්‍රහණය කළා. ඒකෙන් පස්සේ තරග කිහිපයකටම දායක වෙලා ජයග්‍රහණ ලබාගන්න මට පුළුවන් වුණා.

විදෙස් තරගකරුවන් එක්ක තරග කරන්නත් සජිත්ට අවස්ථාව ලැබුණා නේද...?
ඔව්... ඇත්තටම ඒක තමයි මම ලබපු ලොකුම ජයග්‍රහණය වෙන්නේ. ලංකාව කියන්නේ පොඩි රටක්. ඒ රටේ කොඩිය වෙනත් රටවල් එක්ක තරග කරලා ඔසවන්න ලැබීමත් මගේ භාග්‍යයක්. අවුරුදු එකහාමාරක විතර මම ලබපු පොඩි අත්දැකීම් එකතුවක් එක්ක තමයි මට මේ රට නියෝජනය කරන්න අවස්ථාව ලැබුණේ. “Mr. Model World” තරගය පැවැත්වුණේ ඉන්දියාවේ. දැන් ඒ තරගයට ඉදිරිපත් වෙලා මාසයක් විතර වෙනවා. 2018 දෙසැම්බර් මාසේ 15 වැනිදා තමයි ඒක තිබුණේ. ඒ වෙද්දී මට අන්තර් ජාතික අත්දැකීමක් තිබුණේ නැහැ. ඉතින් මේ ගමන මට ලොකු අත්දැකීමක් වුණා. මම යන්නේ රටක් නියෝජනය කරන්නනේ. ඉතින් මට තරුණයෙක් විදිහට ලොකු වගකීමක් තිබුණා. නිරූපණ ශිල්පින් කියන්නේ පෙනුම ගැන විතරක් සැළකිලිමත් වියයුතු අය නෙමේ. රටක් නියෝජනය කරද්දී පෙනුම වගේම තමන්ගේ පෞර්ෂත්වය ගැන හිතන්න ඕනේ. ඒ වගේම වෙනත් රටක තම රට නියෝජනය කරද්දී ඔවුන් අපෙන් රට නියෝජනය කිරීමක් බලාපොරොත්තු වෙනවා. එයින් මට ලොකු වගකීමක් පැවරෙනවා. පළවෙනි වතාවට යද්දී ඒක මට ලොකු අභියෝගයක් වුණා. හැබැයි ඒකෙදි මට කිසිම බයක් දැනුණේ නැහැ. 2011දී මම පාපන්දු ක්‍රීඩකයෙක් විදිහට රට නියෝජනය කිරීමෙන් ලබපු අත්දැකීම ඒකට ප්‍රධාන හේතුවක් වුණා. ඒ තරගයේදී මට ජයග්‍රහණ තුනක් හිමි වුණා.

ඉතා පොඩි කාලසීමාවක් තුළදී ඔබට ජයග්‍රහණයන් කිහිපයක්ම ලැබුණා. මොකද හිතෙන්නේ...?
ඔව්... ඇත්තටම... අවුරුදු එකාහාමාරකදී මට ජයග්‍රහණ කිහිපයක්ම මට හිමිවුණා. අන්තර් ජාත්‍යන්තර ජයග්‍රහණ තුනක් සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ හතරක් මම මේ වෙද්දී ලබාගෙන තියෙනවා. ඒ හැමදෙයක්ම මේ ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වෙනවා.

නිරූපණ ශිල්පියා නිසා සජිත් තුළ සිටි පාපන්දු ක්‍රීඩකයාට මොකද වුණේ...?
ඇත්තටම මම පාපන්දු ක්‍රීඩාවට හරි ආදරෙයි. ඒ වගේම මම නිරූපණ ක්ෂේත්‍රයටත් හරි කැමතියි. පාපන්දු ක්‍රීඩාවයි, නිරූපණ ක්ෂේත්‍රයයි ගත්තොත් ඒක ඇත්තටම පැති දෙකක්. අපේ කාලගුණයත් අව්වට බරයි. ඉතින් මම නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිද්දී මගේ ශරීර වර්ණය ගැන හිතන්න ඕනේ. පෞර්ෂත්වය තිබ්බත් නිරූපණ ක්ෂේත්‍රයේදී මුලින්ම දකින්නේ අපේ පෙනුමයි. ඉතින් ඒ දේ පාපන්දු ක්‍රීඩාවත් එක්ක කරන්න අමාරුයි. හැබැයි මම පාපන්දු ක්‍රීඩාව අතහැරලා නැහැ. මම ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය පාපන්දු කණ්ඩායමේ නායකයා විදිහට 2012 වසරේදී කටයුතු කළා. මම ක්‍රීඩාවට ආදරෙයි. අද ලංකාව පාපන්දු ක්‍රීඩාව එතරම් ගණන් ගන්නේ නැහැ. නමුත් ලෝකය මුලින්ම පිළිගත්තු ක්‍රීඩාව බවට පාපන්දු ක්‍රීඩාව පත්වෙලා තියෙනවා. පිටරට ගිහින් “මම පාපන්දු ක්‍රීඩකයෙක්* කියලා කියද්දී මට ලොකු පිළිගැනීමක් ලැබුණා.

මේ වෙනකොට ඔබ පෞද්ගලික ආයතනයක සේවය කරනවා... එහෙම නේද...?
ඔව්... දැන් මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා. මුලින්ම මම බැංකු ක්ෂේත්‍රයේ තමයි රැකියාව කළේ.

සජිත් අද ඉන්න තැනට එන්න දුක් වින්දද...?
ඔව්... මම ගොඩාක් දුක් වින්දා. මම පොඩි කාලේ ඉඳන් හැදුණේ වැඩුණේ මගේ ලොකු අක්කා එක්කයි. මගේ තාත්තා වියෝවද්දීත් මට ලොකු රැකියාවක් තිබුණේ නැහැ. මම මුලින්ම බැංකු ක්ෂේත්‍රයේ ඉතා අඩුම වැටුපකට තමයි සේවයට ගියේ. තාත්තාගේ මරණයෙන් පස්සේ මට ගෙදර වගකීම් වැඩි වුණා. පාපන්දු ක්‍රීඩාවේ නියැලෙද්දී අවශ්‍ය කරන ආහාර පානත් එක්ක ඒ පොඩි රැකියාවෙන් ලැබෙන වැටුප මට මදිවුණා. ඒ නිසා රැකියාවේ වෙනසක් දකින්න මට ඕන වුණා. මම තවත් බැංකුවක ඊට වඩා වැඩි මුදලකට රැකියාවකට ගියා. ඒකට ප්‍රධාන හේතුව වුණේ මම පාපන්දු ක්‍රීඩකයෙක් වීමයි. අවුරුදු දෙකක් විතර එතන වැඩ කළා. එතනදී තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණේ. දැන් මම වෙනත් පෞද්ගලික ආයතනයක රුකියාව කරනවා. ජීවිතේ ලොකු පිම්මක් පැන්නා කියලයි අද මට හිතෙන්නේ.

රංගනයට ආරාධනා ලැබිලා නැද්ද...?
තාම නම් ආරාධනා ලැබිලා නැහ. මගේ උස 6 -4යි. හැමදේටම මට අවුරුදු එකාහමාරක් තරම් පොඩි කාලයක් තමයි තිබුණේ. රංගනයට ආරාධනා ලැබුණත් මම මුලින්ම ඒ සම්බන්ධව හදාරන්න ඕනේ. හිතුමතේට හැම වැඩක්ම බාරඅරගෙන හැම දෙයක්ම පටලවාගන්න මම කැමති නැහැ.

 

► Text - Dishani   /   Pic - Sumudu